ජනතාවගේ දේශපාලන සංස්කෘතිය

 ඡායාරූපය:

ජනතාවගේ දේශපාලන සංස්කෘතිය

පසුගිය සතියේ සදාචාරවත් දේශපාලනය ගැන කථා කළෙමි. එබඳු දේශපාලනයක් ඇති වීමට ජනතාව විසින් සිදු කරන මැදිහත්වීමද අවශ්‍ය වෙයි. ජනතාවගේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව කරන සලකා බැලීම එම දේශපාලන මැදිහත්වීමට බලපාන සාධක හඳුනා ගැනීමය.

රටක දේශපාලන ක්‍රමය සහ පාලන ආයතන සම්බන්ධයෙන් ජනතාව විසින් ගොඩනඟාගෙන ඇති ආකල්ප, ඇගයුම්, අවබෝධය සහ විශ්වාසය පිළිබිඹු කරන්නාවූ හැඩගැස්මක් සෑම රටකම පවතියි. දේශපාලන ක්‍රමය එහි භූමිකාව සහ දේශපාලන ක්‍රමයේ ඒ ඒ භූමිකා නියෝජනය කරන තැනැත්තන් ගැනත් දේශපාලන ක්‍රමයේ යෙදවුම් සහ නිමැවුම් ගැනත් ජනතාව තුළ පවතින අවබෝධය සහ විශ්වාසය මෙම හැඩගැස්ම මගින් ප්‍රකාශයට පත්වෙයි. අප ජනතාවගේ දේශපාලන සංස්කෘතිය යනුවෙන් හඳුනාගන්නේ එයයි.

දේශපාලන විද්‍යාව හැදෑරීමේදී ජනතාවගේ දේශපාලන සංස්කෘතිය හඳුනා ගැනීමට වැදගත් ස්ථානයක් දෙනු ලැබේ. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා බලගතු කාර්යයක් දේශපාලන සංස්කෘතිය විසින් ඉටු කරන නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ පාලන ක්‍රමයට ව්‍යාකරණයක් සපයයි. එහෙත් එහි අඩංගු පරමාදර්ශයන්ට හිතකර ආකල්ප ජනතාව තුළ ගොඩනැඟී නැති නම් ව්‍යවස්ථාව නිකම්ම නිකම් ලියවිල්ලක් පමණක් බවට පත්වෙයි.

දේශපාලන සංස්කෘතිය පිළිබඳව හැදෑරූ දේශපාලන විද්‍යාඥයන්ට අනුව මෙම දේශපාලන සංස්කෘතිය පිළිබිඹු කරන හැඩගැස්ම තුන් ආකාරයකින් ජනතාව තුළ ගොඩනැඟෙයි. එනම් ඥානාත්මක හැඩගැස්ම (cognitive orientation), සංවේදනාත්මක හැඩගැස්ම (effective orientation) සහ අගය විනිශ්චයක හැඩගැස්ම (evolutional orientation) යනුවෙනි.

මෙහිදී ඥානාත්මක හැඩ ගැස්ම යනුවෙන් හඳුන්වන්නේ ජනතාව තමන් තුළ තිබෙන අවබෝධයේ සහ දැනුමේ ප්‍රමාණයට ඇති කර ගන්නා වටහා ගැනීමය. සංවේදනාත්මක හැඩගැස්ම යනු ජනතාව තමන් දේශපාලනය ගැන ලබා ගත් අත්දැකීම්වලට අනුව දේශපාලන ක්‍රමය සහ එහි නිරතවන්නන් පිළිබඳව ඇති කරගෙන තිබෙන අවබෝධය සහ පිළිගැනීමය. අගය විනිශ්චයක හැඩගැස්ම යනු ජනතාව විසින් ගොඩනඟා ගෙන තිබෙන සමාජයීය ඇගයුම් පද්ධතිය අනුව දේශපාලන ක්‍රමය සහ එහි නිරතවන්නන් පිළිබඳව ඇති කර ගන්නාවූ අදහස් සහ ආකල්පයන්ය.

ජනතාවගේ දේශපාලන සංස්කෘතිය හැඩගස්වන ක්‍රියාවලියක්ද සෑම සමාජයකම පවතී. මෙය හඳුන්වන්නේ දේශපාලන සමාජානුයෝජනය යනුවෙනි. සමාජයේ සාමාජිකයන් ළදරු අවධියේ සිට දේශපාලන හා සමාජ ක්‍රමයේ සාමාජිකයන් බවට පත් කිරීමට උපතේ සිට විවිධ ආයතන විසින් ඉටුකරන කාර්යභාරය මෙම ක්‍රියාවලියට ඇතුළත් ය. මෙම ආයතනවලට පවුල, ආගම, පාසැල, කලාව, සාහිත්‍යය, ජනමාධ්‍ය, වෙළෙඳපොළ සහ නීතිය යන සියල්ල ඇතුළත්ය. ජනතාව දේශපාලනය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය සකස් කිරීමට මේවායින් විශාල බලපෑමක් ලැබෙයි.

සමහර දේශපාලන විද්‍යාඥයන්ට අනුව සමාජයේ දේශපාලන සංස්කෘතිය ඉතිහාසයේ නිෂ්පාදනයකි. එය පවුල සහ ආගම වැනි සමාජ ආයතන මඟින් එක් පරම්පාරාවකින් තවත් පරම්පරාවකට ගෙන එනු ලබයි. තවත් පිරිසක් පවසන්නේ පාලක පන්තීන් තමන්ගේ පැවත්ම සඳහා යොදා ගන්නා මතවාදයන් ජනතාව තුළට කාවැද්දීම සඳහා ජනමාධ්‍ය සහ අධ්‍යාපනය වැනි විධිමත් පද්ධතීන් යොදා ගෙන ජනතාව මතාරෝපණයට ලක් කිරීමක් සිදුකරන බවය. ඒ අනුව බලයේ සිටින පාලකයෝ මේ සඳහා න්‍යායවාදයන් (ජාතිවාදය සහ ආගම්වාදයද ඇතුළත්ව) යොදා ගනිති.

ලිබරල් දේශපාලන විද්‍යාඥයන්ට අනුව සමාජයක් තුළ දේශපාලන සංස්කෘතීන් තුනක් දැකිය හැකිය. මෙයින් පළමුවැන්න වන්නේ ප්‍රජා සංස්කෘතියයි (Civic Culture). එම සංස්කෘතියට අයත් අය සිදුකරන්නේ දේශපාලනයට මැදිහත් වී එය හැසිරවීමට තමන් සහභාගි විය යුතු යැයි විශ්වාස කරමින් සිවිල් ප්‍රජාවක සාමාජිකයකු ලෙස ක්‍රියාකිරීමය. දෙවැන්න වන්නේ හමුදා බළඇණි සංස්කෘතියයි (Regimental Culture). මෙම කණ්ඩායම සිදුකරන්නේ තම නායකයන් අඬගැසූ විට දේශපාලන ක්‍රියාකාරකම්වලට සහභාගි වී ඔවුන්ගේ මෙහෙයවීම අනුව හමුදා භටයන්ගේ ආකාරයට පෙළපාළි යෑම වැනි ක්‍රියාකාරකම්වල නිරතවීමය. තුන්වැන්න වන්නේ යටත්වැසි සංස්කෘතියයි (Subject Culture). මෙම සංස්කෘතියට අයත් අය කරන්නේ දේශපාලනය අපට කැප දෙයක් නොව එය දේශපපාලන නායකයන්ගේ කාර්යයක් යැයි පවසමින් ඔවුන් තමන්ට ලබා දෙන වාසි ප්‍රයෝජන අනුව දේශපාලන තීරණ ගනිමින් රාජාණ්ඩුවක යටත් වැසියන් හා සමාන හැසිරීමක් පවත්වා ගෙන යෑමය.

ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක කළ හැක්කේ මෙයින් පළමුවන සංස්කෘතිය ප්‍රබල වී අනිත් සංස්කෘතීන් දෙක දෙවන සහ තුන්වන තැන්වලට වැටුණහොත්ය. දෙවැනි සංස්කෘතියට අයත් මහපාරේ පෙළපාළි යන අය දේශපාලනයේ ක්‍රියාකාරී පිරිසක් වන නමුත් ඔවුන් තමන්ගේ ස්වීය අවශ්‍යතාවට වඩා ප්‍රකාශ කරන්නේ නායකයන්ට අවශ්‍ය ක්‍රියාකාරකම්ය. එම නිසා එය දේශපාලනයට ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නොවේ. තුන්වැනි සංස්කෘතියට අයත් අය තමන්ට දේශපාලනය වෙනස් කිරීමට සහභාගි වීමට හැකියාවක් නැතැයි විශ්වාස කරන පිරිසකි. එයට සමාජයේ වැඩි දෙනකු පුරුදුවුවහොත් සිදුවන්නේ දේශපාලකයන්ට හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට ඉඩ දෙන ජනතාවක් පැන නැඟීමය. ඔවුන් සමහර විට හමුදා බළ ඇණි ලෙස පෙළපාළි යමින් ඒවාට සහාය දක්වන්නටද හැකිය. මේ නිසා දෙවැනි සහ තුන්වැනි සංස්කෘතීන් දෙකම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නැත. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක කිරීමට පළමුවන ආකාරය වන ප්‍රජා සංස්කෘතිය දියුණු කිරීම අවශ්‍ය වෙයි.

අපේ රටේ පවතින්නේ මෙම දෙවැනි සහ තුන්වැනි ආකරයන් බලවත් වී ප්‍රජා සංස්කෘතිය දුර්වලවීමය. සදාචාරවත් නොවන දේශපාලනය අප සමාජය ආක්‍රමණය කර තිබෙන්නේ එබැවිනි. ප්‍රජා සංස්කෘතිය බහුතරය බවට තහවුරු වනතුරු මෙරට ජනයාට යුක්තිසහගත පාලනයක් සඳහා අවකාශයක් විවෘත වන්නේ නැත.

මාතෘකා