පාසල් දරුවන් කඳු නඟින සර්පාවරු නොවෙත්

 ඡායාරූපය:

පාසල් දරුවන් කඳු නඟින සර්පාවරු නොවෙත්

විදුහල්පතිතුමා මේ දෙය දුටුවේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන විටය. 8 වසරේ ජනිත් විශාල බෑගයක් පිටේ එල්ලා ගෙන කාර්යාලය ඉදිරියෙන් ගමන් කළේ එවිටමය. ඔහු කොන්ද නමා ගෙන ඉතා අපහසඅවෙන් ගමන් කරන බව ඔහු දකියි. පසුදාත් ඔහු එයම දකියි. ජනිතට ඒ උසුලා ගෙන යා නොහැකි බව විදුහල්පතිතුමාට වැටහෙයි.

ඉන් දින කිහිපයකට පසු විදුහල්පතිතුමා හමුවීමට එන්නේ ජනිත්ගේ පියාය.

“මගේ දරුවා අසනීපයෙන්”

ඔහු වෛද්‍ය වාර්තාවක් විදුහල්පතිතුමාට පෙන්වයි. ඔහු හර්නියා රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාව කියයි. ජනිත් ඉතා බර පාසල් බෑගය ඔසවා ගෙන යන රුව විදුහල්පතිතුමාගේ සිතේ මැවෙයි. ඔහු එදාට අවශ්‍යම පොත් පමනක් ගෙන එන්නැයි සිසුන් දැනුවත්කරන මෙන් ගුරුවරුන්ට උපදෙස් දෙයි.

එහෙත් 7 - 8 පන්තිවල පෙළ පොත් නැතිව ඉගෙනීම් කටයුතු කළ නොහැකි යයි ඇතැම් ගුරුවරුන්ගේ අදහසය.

සතියේ දිනක ඔබ පාරට බැස්සොත් බෑගයක් පිටේ එල්ල ග‍ෙන කොන්ද නමාගෙන පාසලට දිවයන මෙවැනි ළමයි පේළි ගණන් ඔබ දකින්නට ඇත.

මේ දර්ශනය අපට සිහිපත් කරන්නේ හිමාලය තරණය කරන්නන්ගේ ආම්පන්න පොදි ඔසවා ගෙනයන ටිබෙට් ජාතික සර්පාවරුන්ය. එසේත් නැත්නම් අපේ රටේ ඇවිදින විදෙස් සංචාරකයන්ය.

කෙසේ වෙතත් මේ යන ගමන දරුවන්ගේ සිරුරට ඔ‍රොත්තු නොදෙන තරම්ය. අනික් අතට ඔවුන්ගේ කොඳු නාරටියට කරන මේ නැමිල්ලෙන් එය කලක දී නැමී තිබෙන්නටද බැරි නැත.

එමෙන්ම මේ ජරමරය පිටේ බැඳගෙන බසයට හෝ දුම්රියට නගින සිසුවාට තද බද වී ගමන් යන මගීන් ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා අප්‍රසන්නය.

බසයේ ටිකට් කඩන ලොකු ළමයා ගෙන්ද ඔවුන්ට අනුකම්පාවක් නැත. සියල්ල විඳ දරා ගැනීමට අසරණ සිසුවාට සිදුවෙයි.

ඔවුන්ට දස වදයක් වූයේ පාස්කු පිපිරීම් කාලයේදී තම බෑගය අවුස්සා සොයා බැලීම් කළ අවධියේය. දෙනෝදාහක් ඉදිරියේ එසේ සෙවීම ඔවුන්ට හැඟී ගියේ තම පුද්ගලිත්වයට කරන බලහත්කාර එබී බැලීමක් ලෙසටය.

ඇතැම් විට සිසුන්ගේ බෑග් එක ගොඩක නොසැළකිල්ලෙන් ඇද දමා තිබෙන අයුරු දැක ඔවුන් ගේ සිත් කම්පා වෙන්නට ඇත. එහි ඡායාරූප පුවත්පත්වල පළ වී තිබුණි. ඇතමුන් කියා සිටියේ සිසුන් විනිවිද පෙනෙන බෑග් ගෙනෙන ලෙසය. සිසුන්ට හා ඔවුන්ගේ දුප්පත් දෙමාපියනට කොහොම වෙතත් කඩකාරයන්ට නම් එය වාසිදායකය.

දරුවෙක් පාසල් යවන්ට දෙමාපියන් දරන සමාජමය හා දැඩි ආර්ථික දුෂ්කරතාවලට එය තවත් යමක් එකතු කිරීම පමණක් විය. එය ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇනීමක්ම විය.

මේ කරදරය මට සිහි කළේ අප පාසල් ගිය කාලයයි. එදා මේතරම් ලොකු බෑගයක් කරේ එල්ලාගෙන ගිය වගක් නම් මට මතක නැත. දවසේ වැඩට අවශ්‍ය පොත් ටික අතෙහි ගෙන යා හැකි තරම් කුඩාය. අපි පාසල් ගියේ බෑග් බරින් තොරව හරි සැහැල්ලුවෙනි.

සැර පරුෂ ඇතැම් ගුරුවරයෙකු දෙන්නෙකු නැත්නම් අපේ පාසල අපට සුරම්‍ය භූමියක් විය. විභාග බයෙන් බිරාන්තව අප ටියුෂන් පන්ති ගානේ රස්තියාදු වුණේ ද නැත. ඒ වගෙම අපි කිසිම විභාගයකින් ‍අසමත් වුණෙත් නැත.

අද අපේ දරුවන්ට පිටේ එල්ලාගෙන යන මේ බෑගය බරවීමට මේ බෑගයේ ඇත්තේ මොනවාදැයි විමසා බැලීමවටී.

8 වැනි වසරේ දරුවෙකු වන ජනිත් තමාගේ පොත් බෑගය ඇර පෙන්වූයේ කැමැත්තෙනි. ඔහුගේ අධ්‍යයන විෂයන් සිංහල, බුද්ධාගම, ගණිතය, ඉංග්‍රීසි, භූගෝලය, ඉතිහාසය, දෙමළ, විද්‍යාව, පුරවවැසි අධ්‍යාපනය,‍‍ සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, තක්ෂණ හා කුසලතා වැඩ පොත ඒ හැර ඉංගීසි, විද්‍යාව හා ගණිතය සඳහා වැඩ පොත්ද ඇත. මේ සෑම පොතකම පිටු සංඛ්‍යාව 100 ඉක්මවයි.

සෞඛ්‍ය පෙළ පොතට පිටු 200ක්. සිංහල පෙළ පොතට පිටු195කි. ගණිතයට165කි. මේ අන්දමින් පිටු සංඛ්‍යාව ඉහළ අංකයක පවතින අතර මේ සමඟ ගෙන යන අභ්‍යාස පොත් පිටු 120 පොත් 14ක් සෑම විෂයක් සඳහාම වෙයි. මේ හැර වතුර බෝතලය, කෑම පෙට්ටිය හා පැන්සල් පෑන් දැමූ කවරයද වෙයි.

මේ පොත් සියල්ල එක විට සෑම දවසකම ගෙන යා යුතු වේද?මෙය අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා පාසල් විදුහල්පතිවරුන් ගුරුවරුන් එක්ව විසිඳිය යුතු කාලීන ගැටලුවක් බව කිව යුතුය.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහමුලින්ම මානසිකව ක්‍රියාත්මත වන්නක් බව රහසක් නොවෙයි. උදයේ පාසලට එන දරුවාගේ මනස වඩාත් සුවදායක වූ තරමට එහි සාර්ථක වීමේ සම්භාවිතාව වැඩිය.

කොහේ හෝ බාධාවක්, හෙළා දැකීමක්, පරිහාසයක්, අවමානයක්, ශාරීරික පීඩාවක් වේ නම් මූලික අරමුණු ගින්නට වැටුණු දිය බිඳුවක් සේ සිඳී යනු නියතය.

ඒ නිසා අපේ පාසල් දරුවන් බර උසුලන සර්පාවරුන්ගේ ස්වභාවයෙන් වහා ගලවා ගැනීම කළ යුතුම කාර්යයක් වෙයි.

එසේ නොතේරෙන්නේ නම් අපේ පාසල් ළමයි ජනිත් මෙන් විවිධ ආධවලට ගොදුරු නොවේයැයි කාට කිව හැකිද?

මේ සටහන අවසන් කිරීමට හොඳම සුදුස්සා ජනිත් බැවින් මේ තරම් බර බෑගයක් එල්ලා ගෙන යන විට සිතෙන්නේ කුමක් දැයි අප ඔහුගෙන් ඇසූ විට ඔහු සිනාසෙමින් මෙසේ පැවසීය “මාව කොයි වේලේ මැරී වැටේ දැයි දන්නෙ නෑ.”

මාතෘකා