රජ්ජුරුවන්නෙ පුහුල් මාළුවයි අපේ පතුරු බොංචියි

 ඡායාරූපය:

රජ්ජුරුවන්නෙ පුහුල් මාළුවයි අපේ පතුරු බොංචියි

ඉවිලි කලාවේ හැඩ නිල දැන අඳුනා ගන්ඩ නං ඉස්පාසුවක් ලැබිච්ච හැටියෙ ඒ ඒ දේසෙ ඒ ඒ වරිගෙ මිනිස්සුන්නෙ කැවිලි පෙවිලි ගැනත් ඩිංගිත්තක් හොයා බැලුවට කාරි නෑ. ඕං හැබැයි අපිට පිට දීපංකරවල හක්කලං කරන්ඩ වුවමනා වෙන්නෙ නෑ අපේ ඇත්තන්නෙ බඩ ගෙඩි පිරෙන සොබාවෙ ගැන කියලා අහක වෙනකම්. පහුගිය දොහක හසිත අබේවර්ධන උන්නැහේ මොනරාගලදී මුණ ගැහුණ වේලෙත් ආ ගිය කතා විස්තර බෙදා ගනිද්දි මේ ලිවිල්ල ගැනත් වට පළල කතා කෙරුවා. උන්නැහේත් එව්වා මෙව්වා ගැන උනන්දුවක් තියෙන දිග පළල ඇති මනුස්සයෙක් නෙව. ඒ හින්දා ඔයි කයි කතන්දර අස්සෙ අපේ කෑම කලාවේ බොරු පුරාජේරු කඩතිරවලින් වසංගාලා මුවා කරලා තියෙන පංගුව ගැනත් අපි කතා කෙරුවා.

දැන් ඉතිං මේ සමහර වහන්සේලයි ගිහි පණ්ඩිතයොයි නිර්මාංශ වෙන්ඩ කියලා බෑඟිරි ගාද්දි අපේ උන්දැලා අර මහා වැව් දාගැබ් බඳින්ඩ හයිය හත්තිය ගත්තෙ මොනා කාලාද කියලා කවුරුත් කතා නොකරන වගත් අපිට මතක් වුණා. හැබැයි කරිජ්ජ තරණය කරල ප්‍රතිකාල් මිනිස්සු මෙහා පය ඔබනකම්ම හරක් මස කාපු විත්තියක් කියවෙන්නෙ නැහැ. ඊට කලියෙං මෙතෙර වෙලා තිබ්බ අරාබි මිනිස්සු කෑව වෙන්ඩත් පුළුවන්. හැබැයි කෑව නම් රහසින් වෙන්ඩ ඇති. ඔං කතාව අස්සට රිංගනවා අපේ රිල්වාන්. මස් කනවා නම් කොස් තියෙන්ඩත් ඕන කියාගෙන.

ලංකාවෙ මුස්ලිම් මිනිස්සුන්ගෙ වට්ටෝරු අරාබි කෑම නෙවෙයි. දේසේ හැටියට හැදිච්ච වට්ටෝරු. ඒ හින්දා මසුයි කොසුයි එකට මුහු කරලා උයන වට්ටෝරුවක් තියෙනවා. හැබැයි රිල්වාන් කියාපු හැටියට එයිට වඩා රහ හරක් මසුයි දෙලුයි එකට මුහු කරලා මිරිස් පහේ අනෙක් අඩුම කුඩුම සේරම එක්කහු කරල ඉව්වම. පමණක් උදවිය මේකටම හාලුත් එක්කාසු කරලා අමුතු පහේ බතකුත් උයාගත්තලු. මට හිතෙන විදිහට නම් මේ වාගේ කෑමක් රහ නැති වෙන්ඩ හේතුවක් නෑ. ලොකුම දේ වෙලාවයි දර ගින්දරයි ඉතුරු වෙනවා. දවසක් අපේ රිස්වානා කියනවා හරක් මොළ කරියක රහ ගැන. මට මතකයි කාලෙකට කලිං තම්බාපු හරක් මොළ අඹරලා ගොටුකොළ එහෙම දාලා හදාපු අමුතු පහේ කෑමක් නැගෙනහිර ඉසව්වකදි මුණ ගැහිච්ච. දැන් ඉතිං මෙව්වා කියව්වම අනේ මුං මහ අසමජ්ජාති වගේ හිතුවිල්ලක් හිතට එනවා නම් ඔය ඇත්තන්ට අනෙක් උන්දැලාගෙ සංස්කෘතිය ඉවසන්ඩ බැරි දරුණු ලෙඩේ තියෙනවා. මතක තියාගන්ඩ අපි කන ජාඩියි, බොම්බිලි පුසුඹයි අප්පිරියා වෙන සුද්දො එමට ඉන්ඩ පුලුවන් විත්තිය. හා ඉතිං මේ අපේ මුස්ලිම් මිනිස්සුන්ගෙ කෑම වට්ටෝරු ගැන කියන්ඩ කතා හුඟක් තියෙන හින්දා වෙනිං දවසක කියන්නම්.

කාලෙකට පස්සෙ මං දැක්කා පතුරු බොංචි බලංගොඩ පොළේදි. පින්තූරයක් ඇරං ඇවිත් වත්පොතේ පෙන්නුවම සමහරු ඇහුවෙ මේ අවර නේද කියලා. පතුරු බොංචි කියන්නෙ අවර නෙවෙයි බොංචි වරිගෙ බෝගයක්. අවර කියන්නෙ දඹල වර්ගයක්නෙ. පතුරු බොංචි බොහොම රහයි. අර කැප්පෙටිපොල නිල් වර්ගෙ අන්තිම අස්සැන්නෙ නිලි බොංචි වාගෙ දුරු මිරිස් යංතම් දාලා වතුරෙන් තැම්බෙන්න ඇරලා එළඟිතෙලෙන් තෙම්පරාදු කළා නම් රහ පංකාදුයි. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ඉන්න ප්‍රභානි සහෝදරී දන්නලා තිබ්බා කිරි රහ මතු වෙන්ඩ ඒගොල්ල ෆ්‍රයිඩ් රයිස් හදද්දිත් පතුරු බොංචි එක්කාසු කරනවා කියලා. හැමදාම අල පරිප්පු අටංපහුරුම කන්නෙ නැතිව පොළක කඩපිලක ඔය වාගෙ අමුතු මොනව හරි දැක්කම වග විස්තර අහලා උයාගන්ඩ බලනව නම් හොඳයි ඉතිං.

ඔයාකාර හිතුවිලි හින්දම මං නම් ඒ වායෙ දේවල් දැක්කම ගෙනිහිං උයනවාම තමයි. අර දවසක් කිව්වෙ අහම්බෙන් ඇහැ ගැටිලා අලු පුහුල් ඇන්න ගිහිං උයාපු විදිය ගැනත්. ඒ ඉව්වෙ හීනිවට කපාලා කහ මිරිස් තුනපහ එක්ක වතුරෙන් තැම්බෙන්ඩ ඇරලා ඔය අතරෙ පොල්, සුදු ලූනු, අබ, කරපිංචා අඹරලා හදාගත්ත වයිති මුහු කරලා උයාගත්ත පැහියක් ගැනනෙ. මේ අද කියන්නෙ රජ්ජුරුවො පුහුල් කාපු විදිහ ගැන.

ලුණු ඉඟුරු කොතඹුරු එක්ව වට මින

පුසුල් ඉරා දෙව ඒ වයිති ලා ගෙන

තලතෙල හෝ නොහොත් ගිතෙල මලවාගෙන

දඩමස් සකුරු දෙළුම් ඇඹුලේ අනාගෙන

ඔන්න ඔහොමයි ඒ කාලේ පුහුල් ඉව්වෙ. තේරෙන විදියට කියන්ඩද? මුලිම්ම පුහුල් කටු පොත්ත ඇරලා හීනිවට කපාගෙන නැත්තං ගාලා ඇරගෙන කෑලි මිරිකලා වතුර අහක් කරනවා. පුහුල්වල දිය බොහොමයිනෙ. ඊට පස්සෙ ලුණුයි, ඉඟුරුයි, කොත්තමල්ලියි එකට අඹරලා හදාගත්ත වයිති එක්කහු කරනවා. අද කාලේ මේ කාරිය කරද්දි උයන පුහුලු පරිමාවෙ හැටියට වයිති යොදා ගන්ඩ ඕං. ඊට පස්සෙ කිතුල් හකුරු ඩිංගිත්තක් එක්ක දෙළුම් ඉස්මත් මුහු කරලා දඩමසුත් හීනිවට කපලා දමාලා තල තෙලින් නැත්නම් ගිතෙලින් මලවා ගන්නවා. මුලින් මස් ටික බැදෙන්ඩ අරින එක හොඳ වෙයි. හරිම හුට්ටප්පරේ අද කොහෙද දඩමස්. එහෙම හිතන්ඩ කාරි නෑ තියෙන මසක් දාමු. දෙළුම් ඉස්ම නැත්නම් දෙහි ඇඹුල් බිංදු දෙක තුනක්වත්. නැත්තං ඉතිං උම්බලකඩ කුඩුයි අර කියාපු ඉඟුරු, ලුණු, කොත්තමල්ලි ඇඹරුමයි කළවම් කරගත්ත දිය මිරිකාපු පුහුලු මලවගන්ඩ බැරියෑ අදට පාසු විදියට. හැදුවොත් අපටත් කියන්ඩ.

මාතෘකා