ලෝ, ලෝ දහම,ලෙවන් හා ලෙව්හි

 ඡායාරූපය:

ලෝ, ලෝ දහම,ලෙවන් හා ලෙව්හි

'ලෝක' යන පදය සංස්කෘත හා පාලි භාෂාවලින් සිංහලයට එක් වුණු තත්සම පදයකි. එය සිංහල පද්‍යයට පිවිසුණේ 'ලෝ' යනුවෙනි. එයින් සැදෙන නියත නාම පදය 'ලොව' යන්න යි. අනියත නාම පදය 'ලොවක්' යන්න යි. මේ පද සමහරක් සිංහලයෙහි යෙදෙන සැටි මේ ලිපියෙහි දැක්වේ.

ලෝ දහම

'ලෝ දහම' යන ලෝකයාගේ පැවැත්ම යි.

"ලෝ දහමින් වැදෙනා රළු පහරින්

ගත සිත රිදෙනා කල නිතියෙන්

නැත ලොවේ අන් රසඳුනා

ආදරේ සේ සුව දෙනා" .

යන වදන් මහාචාර්ය සරච්චන්ද්‍ර වගු රට නරනිඳුන්ගේ මුවට නංවයි.

අට ලෝ දහම

ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ 'අෂ්ට ලෝක ධර්මය' හෙවත් 'අට ලෝ දහම' මත ය. ලෝ වැසි කාටත් අනිවාර්යයෙන් ම විඳින්නට සිදු වන අද්දැකීම් අටක් මෙයින් අදහස් කෙරේ. එනම් ලාභ-අලාභ, අයස-යසස, නින්දා-ප්‍රශංසා, සුඛ-දුක්ඛ යන අට යි.

ලෝ ඇජර : ලෝ නා

බුදුන් වහන්සේ හැඳින්වීමට යෙදෙන විරුද නාම අතුරෙහි 'ලෝ ඇජර', 'ලෝ නා', 'ලෝ පියා' යන්න මෙන් ම 'ති ලෝ නා' යන්න ද හමු වේ. 'ලෝ ඇජර' යනු ලෝකයෙහි ආචාර්යවරයා යි. 'ලෝ නා' යන්න 'ලෝක නායක' යනුවෙන් හෝ 'ලෝක නාථ' යනුවෙන් ලෙව් ලැකියට නැංවිය හැකි ය. 'ලෝ පියා' යනු ලෝකයෙහි පිතෘවරයා යි.

ලෝ වැඩ සඟරාව

'ලෝ වැඩ' යනු ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කෙරෙන කටයුතු යි. මේ වැඩ කවරේ දැයි දැක්වෙන උපදේශ කාව්‍යයක් 'ලෝ වැඩ සඟරාව' යනුවෙන් මහනෙත් පාමුල වීදාගම හිමියන් විසින් කෝට්ටේ යුගයෙහිදී ලියවිණ.

ලෝ සසුන්

සිංහල රජවරුන්ගේ එක ම අරමුණ වූයේ 'ලෝ සසුන්' බැබළවීමට අවශ්‍ය හැම පියවරක් ම ගැනීමට යි. 'ලෝ' යන්නෙන් ලෞකික ජීවිතයට අවශ්‍ය කරුණු ද 'සසුන්' යන්නෙන් ආගමික ජීවිතයට අවශ්‍ය කරුණු ද ගැනිණ.

නර ලොව

මිනිසුන් ජීවත් වන ලෝකය 'නර ලොව' යි. මනුෂ්‍යයාට 'නරයා' යන නමත් යෙදෙන බැවිනි. ගැහැනිය 'නරඟන' යි. ඔවුන්ගේ රජතුමා 'නර දේවයා', 'නර පති' හෝ 'නරනිඳු' ය. මිනිසුන් කරන විකාර වැඩ 'නර ලොව හොල්මන්' සේ සැලකේ. මිනිසෙකුට අවමන් කරන්නේ ඔහුට 'නර පණුවා' යැයි කීමෙනි.

දෙව් ලොව

දෙවියන් සිටින්නේ 'දෙව් ලොව' යි.

සුර ලොව

දෙවියන්ට 'සුර' යන නමත් යෙදෙන බැවින් දෙව් ලොවට 'සුර ලොව' යන නමත් යෙදේ.

පර ලොව

'පර ලොව' යනු මරණින් මතු උපදින ලොව යි. කෙනෙකු මැරුණු විට ඔහු 'පර ලෝ සැපත් වුණු' බව කියන්නේ එහෙයිනි.

ලෙවන්

'ලෝකවාසීන්' හැඳින්වීමට 'ලෙවන්' යන පදය ද කව් ලැකියෙහි යෙදේ. මයුර සන්දේශයෙහි එන කාන්තා නැටුමක ඒ නැටුම් කොතරම් මනස්කාන්ත ද යත් අනංගයා පවා ඔවුන්ට ගැති වුණු බව ලෝකයා කියන බව කවියා කියයි:

"වයන් නන් පෙදෙයි පා තබා ගී රව න්නේ

ඇඟින් නන් රඟන්නන් ළඳුන් වන් සුර න්නේ

"එවන් රූ නුවන් වන් ලෙවන් කුම් කිය න්නේ

මලින් දුන්න ගත්තේ ද ගැත්තේය උ න්නේ" (127)

ලෙව්හි

'ලෝකයෙහි' යන අරුත් දීමට 'ලෙව්හි' යන පදය ද කලාතුරකින් යෙදේ:

"බුදු සසුන ලෙව්හි බැබළේවා"

යන වැකිය අපට නිතර දෙවේලේ දක්නට ලැබෙන්නකි.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි