වර්ධනය

 ඡායාරූපය:

වර්ධනය

ශකීලන් අපට මුණගැසෙද්දී යුද්ධය හමාර වී දෑවුරුද්දකිනි. එකල එහි ගුරුභවතුන් මනෝ වෛද්‍ය ඒකකය වෙත ඉගෙනුමේ දුර්වලතා සහ පෞරුෂය වර්ධනයේ වෙනස්කම් ඇති පාසල් ළමුන් පිළිබඳව දැනුවත් කරයි. මෙහිදී එසේ අප වෙත යොමු කරන දරුවන් බොහෝ දෙනකු යුද්ධයෙන් පසු පණගැන්වූ පාසල්වලින් පැමිණි අයවලුන් වීම විශේෂත්වයකි.

ශකීලන් ඒ වනවිටත් ගෙදරින් නිතර නිතර අතුරුදන් වන “නාහෙට අහන්නේ නැති'' දරුවෙකි. ඔහු කෙසේ හෝ පාසලට ගෙන්වාගෙන තිබුණේ මවත් සමඟය. මෙහි එන බොහෝ අම්මලා මෙන්ම මේ අම්මාද තනිව දරු පවුලක බර කරට ගත් ඉතා අහිංසක තැනැත්තියකි. තාත්තා ආගිය අතක් නැත. ඇය කියන්නේ මොහු කුඩා කල සිට මෙසේ බොහෝ කෝප ගන්නා දරුවකුව සිටි බවය.

“කොහෙද ශකීලන් යන්නේ ?” අපි ඇසුවෙමු.

“ඔහේ ඇවිදලා ඇවිදලා ගහක් උඩ හරි ඉන්නවා ගෙදර එන්නේ නෑ” ඔහු තමාට පවා පහරදෙන බවද ඔහුගේ මව අප සමඟ පැවසුවාය.

පාසල් නොයා කට්ටි පනින මේ දොළොස් වියැති දරුවා පාසල් වැඩ කෙරෙහි කිසිදු උනන්දුවක් නැත්තෙකි.

බොහෝ විට මෙවැනි දරුවෝ උත්පත්තියේ සිට වර්ධනයේ ගැටලුකාරී තත්ත්වයන්ට (cognitive development) මුහුණ දෙති. ඔවුහු ජානමය සැකැස්මෙන් ප්‍රවේණිගත රෝගාබාධ ඇතිවූ අයවලුන්ය. මානසික රෝගාබාධයන්ගෙන් පීඩා විඳින්නන්ය.

පාඩම් වැඩවලදී පවා දුර්වලතාවක් පෙන්වන ඔහු වෙනුවෙන් මනෝ වෛද්‍ය අංශයේ සියලුදෙනාට විශාල මහන්සියක් දරන්නට සිදුවිය. උතුරු කොන සිට දකුණට පැමිණි පසු වුවද දරුවන්ගේ හැසිරීම් රටාවල ලොකු වෙනස්කමක් මම දුටුවේ නැත.

"දුවලා ලෙඩ වැඩි වුණොත් පුතේ ගෙදර යන්න බැරිවෙයි..." වාට්ටුව පුරා දුවන දරුවකු හට මා සුපුරුදු දේශනය දුන්නේ ඇතැමුන් එයට බිය වන නිසාය.

" කමක් නෑ මං මෙහෙ ඉන්නවා" පැංචා දුන් ඒ උත්තරය මා නිරුත්තර කරවීය.

තවත් දිනක වාට්ටුවේදී මා දුටුවේ ඇදුම වැඩි වී පැමිණි කුඩා දරුවකු අධික වේගයෙන් වාට්ටුව පුරා දුවන අයුරුය.

" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ, යවන්නේ නෑ ගෙදර... "

මම කීවෙමි.

" ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආසයි" ඔහුගේ පිළිතුර විය.

ඒත් මේ ඔවුන්ගේ “ඉස්පිරිතාලේ ඉඳීමේ” කැමැත්ත පිටුපස ඇත්තේ මහා ඛේදවාචකයන් ගොඩකි. ඔවුන්ගේ ගේදොර පරිසරය, සමාජ වටපිටාව විපරම් කළ විට මේ සිදුවීම් වටහා ගත හැකිවේ. මේ දරුවාට නිදාගන්න ඇඳක් ලැබී ඇත්තේ ඉස්පිරිතාලයේදීය. කුඩා ලෑලි ගෙවල්වල පැදුරු කඩමාලුවල වැතිර නිදන මේ දරුවන්ට ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් හෝ නැත. ඔවුහු ඔහේ තැන තැන නිදති. වැස්සට සමහර නිවෙස් ඇතුළටම වතුර පැමිණේ.

කෑම බීම අගහිඟ වූ විට දෙන්නාදෙමහල්ලෝ රණ්ඩු සරුවල් වූ විට දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්නට එන අම්මලාද අඩු නැත.

ඔවුන්ගේ නිවෙස් ඇති පරිසර තුළදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය. දරුවන්ට දකින්නට ලැබෙන්නේ ආදර්ශයට ගැනීමට නුසුදුසු දේවල්ය.

"එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මම යළිත් දිනකදී එවැනි කුඩා පැංචකුට කීවෙමි.

" අපෝ දෙන්න දෙන්න මං බයවෙයි ඕවට" ඔහු අත පෑවේ නිර්භීත ලෙසටය.

"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම. ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ?" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවෙමි.

"අහන්නෙම නෑ කියන දේ ඩොක්ට" ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරවරයකද යන්න කතාබහෙන්ම වැටහේ.

"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් මිතුරුකම් පාමින් එසේ අසමි. එවිට මඳක් හෝ ඔවුන් සන්සුන් කරගත හැකිය.

"අනේ මේ වැඩක් බලාගෙන යන්න" එහෙත් ඒ පැංචා මට එසේ කියයි.

" මේ දන්නවද?... මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් එසේ පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කළ විට ඇගේ අම්මා කීවේ, "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.

ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාසය වන්නට පුළුවන. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනය. ඔවුන්ගේ කුඩා මනස හරියට අඹන්නට පෙර තියෙන මැටි පිඬක් වගේය.

ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවකු නොදැකිය යුතු, නෑසිය යුතු දේය.

වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිට පොඩි දරුවෝ පෙළ ගැසෙන විට නම් අපි ඉතා කල්පනාකාරී වෙමු. ඇතැම් වෙළෙඳ දැන්වීම් පවා දරුවන්ට සුදුසු නැති බවක් පෙනේ. සමහර ඒවා ඉතා බාල වර්ගයේ ඒවාය. සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැති තරම්ය.

අවාසනාවකට මෙන් මේ දරුවන්ගේ නිවෙස්වලදී ඔවුන් වැඩිහිටියන්ට සුදුසු රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම පුරුදු වී ඇති බවක් දකින්න ලැබේ. රාත්‍රී 8න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමඟ රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය. වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්තකාලයක් පැවතියද කිසිවකු එය භාවිත කරන්නේ අපි කිසිවකු හෝ මතක් කළොත් පමණි.

පාසල්වල ගුරු භවතුන් හට මෙවැනි අඩු ආදායම්ලාභී දුෂ්කර පරිසරවල ඇති දැඩි වන දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන්නට සිදුවේ. එමෙන්ම ඔවුන්ට ආමන්ත්‍රණය කරන ක්‍රමය පවා වෙනස් විය යුතු යැයි මට සිතේ. බොහෝ අය ඉතා කර්කෂ වදන් භාවිත කරති. එහෙත් අප කොතෙක් උත්සාහ කළද මෙම සමාජ ක්‍රමයේ වෙනසක් නොකර උතුරු කොනේ ශකීලන්ට හෝ දකුණු කොන කුඩා දරුවන්ට ඉන්න හිතෙන රටක් නිර්මාණය කිරීම කළ නොහැක්කකි.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා