සංස්කෘතික විවිධත්වය සහ සදාචාර දේශපාලනය

 ඡායාරූපය:

සංස්කෘතික විවිධත්වය සහ සදාචාර දේශපාලනය

සංස්කෘතික විවිධත්වය තර්ජනයක් ලෙස දකින පිරිසක් ලෝක සමාජයේ සිටින බව පසුගිය සතියේ සඳහන් කළෙමි. සංස්කෘතික විවිධත්වය යනුවෙන් අප අදහස් කරන්නේ භාෂාව ඇදහීම සහ සංස්කෘතික භාවිතාවන් මඟින් තමන් එක් ප්‍රජාවක් යැයි පිළිගන්නා විවිධ ප්‍රජාවන්ගෙන් සමන්විත වන මානව පරිසරයයි.

සංස්කෘතික විවිධත්වය තුළ දක්නට ලැබෙන භාෂාව, ඇදහීම සහ සංස්කෘතික චර්යාවන් මානව වර්ගයාගේ සංවර්ධනයේදී ක්‍රමයෙන් විකාශනය වූ ඒවාය. සමාජ විද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ “ආදිතම බැඳීම්” (Primordial Attachments) වශයෙනි. මෙම බැඳීම් මඟින් තමන් අන්‍යන්ගෙන් වෙන් කර ගැනීමට ප්‍රජාවන් විශේෂයෙන් යොමුවන්නේ ජාතික රාජ්‍ය ක්‍රමය බිහිවීම සමඟය.

ජාතික රාජ්‍යය සංස්කෘතික විවිධත්වය නොතකා හරිමින් සියලු දෙනා පුරවැසිභාවය මුල් කර ගෙන එක් ජාතියක් ගොඩනැඟීමට අවධානය යොමු කළ රාජ්‍ය ක්‍රමයක් විය. මධ්‍යගතකරණය, ප්‍රමිතිකරණය සහ සජාතීයභාවය ජාතික රාජ්‍ය පවත්වා ගැනීමට යොදා ගත් මාධ්‍යයන් විය. එහෙත් ප්‍රායෝගික භාවිතාවේදී ජාතික රාජ්‍යය ප්‍රධාන ජාතිකත්වයකට අයත් භාෂාව, ආගම සහ සංස්කෘතිය සමඟ බැඳී සිටියේය. එය කුඩා සහ ප්‍රාදේශික ජාතිකත්වයන් ප්‍රධාන ජාතිකත්වයට අවශෝෂණය කර ගැනීම අපේක්ෂා කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ තම ප්‍රජා අනන්‍යතාවන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ජනතාව අතර ව්‍යාප්ත වන්නට පටන් ගැනීමය. මේ අන්දමට සංස්කෘතික විවිධත්වය දේශපාලන නිදහස පිළිබඳ ව්‍යාපාරවලට පදනම දැමීය. මෙය යටත් විජිතවාදය විසින් අපේ කලාපයටද ගෙන එන ලදි.

19 වැනි සියවස වන විට ජාතික රාජ්‍යයේ දේශපාලන ක්‍රමය හැසිරවීමට පටන් ගත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය තුළ මෙසේ සංවිධිත වන්නට පටන් ගත් සංස්කෘතික විවිධත්වය තර්ජනයක් ලෙස දකින සාකච්ඡාවක් ඇරඹිණි. නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ සංවර්ධනයට කැපී පෙනුණු දායකත්වයක් සිදුකළ ජෝන් ස්ටුවර්ට් මිල් 1860දී මේ සංවාදයට මුල පිරුවේය. ඔහු නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය පිළිබඳ කෘතියක් පළ කරමින් “නිදහස් ආයතනවල සාර්ථකත්වයට සමාජය එක් ජාතියකින් සමන්විත වන්නේ නම් යහපත්ය” යන මතය ඉදිරිපත් කළේය. “බහුජාතික සමාජයකදී එක් ජාතිකත්වයකට අයත් පාලක කණ්ඩායමක් බලයට පත්වී අනිත් ජාතීන් පීඩනයට ලක් කිරීමට ඉඩ තිබෙන බවත් එහි ප්‍රතිඵල ලෙස ගැටුම් ඇති වීමට පටන් ගෙන ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී ඒකාධිපතිත්වයන් ඇතිවීමේ අනතුරක් පවතින බවත්” ඔහු පෙන්වා දුන්නේය.

සමකාලීන දේශපාලන චින්තකයකු වූ අර්නස්ට් බේකර් එම අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ “බහුජාතික ප්‍රජාතන්ත්‍රවාදයන් කුඩා රාජ්‍යයන්ට කැඩී වෙන්වී යෑමේ අනතුරට” මුහුණ දෙන බවය. මේ නිසා අනාගතයේදී ජාතික රාජ්‍යයන් විසින් ලෝකය පුරාම විවිධ සංස්කෘතීන් එක් ජාතියකට අවශෝෂණය කරගන්නා දේශපාලන ක්‍රියාදාමයක් ඇති කරනු ඇතැ’යි ඔහු පුරෝකථනය කළේය. ඔහුගේ තර්කය වූයේ “එක් රාජ්‍යයක් එක් ජාතියක් - එක් ජාතියක් එක් රාජ්‍යයක්” (A State a Nation – A Nation a State) යන තත්ත්වය එමඟින් පිළිගැනීමක් බවට පත් කරන බවය.

මෙම අදහස කුඩා ජාතීන්ගේ සංස්කෘතීන් මකා දැමීම අපේක්ෂා කරන කෲර තත්ත්වයන් ඇති කරන්නට ආරාධනා කරන බව මෙයට එරෙහි තර්ක කළ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ඇක්ටන් සාමිවරයා පෙන්වා දුන්නේය. ඔහුගේ අදහස වූයේ සමාජ විද්‍යාඥයන්ගේ වගකීම වන්නේ විවිධත්වය පවත්වා ගනිමින් එය තුලනය කරගත හැකි පාලන ක්‍රම සංවර්ධනය කරන්නට මඟපෙන්වීම බවය. සංස්කෘතික විවිධත්වය තර්ජනයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට අවශ්‍ය වන විවිධත්වය සම්පාදනය කරන මූලයක් වශයෙන් ඔහු හඳුන්වා දුන්නේය.

ඇක්ටන් සාමිවරයා එදා ඉදිරිපත් කළ මෙම අදහස බොහෝ ජාතික රාජ්‍යයන් සහ ජාත්‍යන්තර ක්‍රමය විසින් පසුව පිළිගැනීමට ලක් කරන ලදි. මෙහි ප්‍රතිඵල වශයෙන් විවිධත්වය තර්ජනයක් නොව ආශිර්වාදයක් ලෙස පිළිගැනීමට මගපෙන්වන ජාත්‍යන්තර සාකච්ඡාවන් ඇතිවිය. විවිධත්වය මඟහැර යා නොහැකි යථාර්ථයක් ලෙස පිළිගෙන එය සමඟ ක්‍රියාකරන ආකාරය රාජ්‍යයන් විසින් හඳුනාගත යුතු බව පොදු පිළිගැනීමක් බවට පත්විය. මානව වර්ගයා ශිෂ්ටත්වය වෙතට ගෙන එනු ලැබුවේ සංස්කෘතික විවිධත්වය විසින් බවත් මානව ශිෂ්ටාචාරයේ ඉදිරි පැවැත්ම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් එමඟින් අවධාරණය කරන ලදි.

සමාජ විද්‍යාඥයන්ගේ අදහස වන්නේ මෙය මනුෂ්‍යයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය පරිසර විවිධත්වය ආරක්ෂා කර ගැනීම සමඟ සම්බන්ධ කාරණයක් බවය. ඔවුන්ට අනුව අපගේ අනන්‍යතාව අප විසින් විශේෂ කොට හඳුනා ගන්නේ සමාජයේ පවතින අන්‍ය සංස්කෘතීන්ට සාපේක්ෂවය. අපගේ සංස්කෘතිය පමණක් පවතින්නේ නම් අපට එය විශේෂයෙන් හඳුනා ගැනීමක් අවශ්‍ය වන්නේ නැත. මෙයින් පෙන්වන්නේ එක් සංස්කෘතියක පැවැත්මට අනිත් සංස්කෘතීන්ද එම පරිසරයේ සිටිය යුතු බවය. මේ නිසා ජෛව විවිධත්වය සහිත ස්වභාවික පරිසරය මෙන්ම මනුෂ්‍යා විසින් ගොඩනැඟූ සංස්කෘතික විවිධත්වය සහිත පරිසරයද ආරක්ෂා කර ගත යුතුය. අවාසනාව වන්නේ අද සිටින මිනිසා තමන්ගේ සංස්කෘතියේ පැවැත්මට අවශ්‍ය අනිකා සතුරකු ලෙස දකින්නටත් එමඟින් සංස්කෘතික විවිධත්වය තර්ජනයක් ලෙස දැකීමටත් යොමුකර තිබීමය. දේශපාලන සහ ආර්ථික බලය හඹා යන බලවේග විසින් මේ තත්ත්වය ඇති කර තිබේ. ලෝකය වශයෙන් පමණක් නොව ජාතික වශයෙන්ද සංස්කෘතික විවිධත්වය තර්ජනයක් ලෙස ‍සලකන්නේ නැති සදාචාර සම්පන්න දේශපාලනයක් අවශ්‍යව තිබෙන බව සඳහන් කළ යුතුය.

මාතෘකා