සමුගැනීම

 ඡායාරූපය:

සමුගැනීම

මගේ කාර්යාල කාමරයේ ජනේලයෙන් පිටත බැලූ විට පෙනෙන්නේ බෝධීන් වහන්සේ නමක්. බෝධීන් වහන්සේගේ සිසිල් සුළඟ මගේ කාමරයටත් එනවා. ඒවගේම පුංචි පුංචි බෝ කොළත් කවුළුවෙන් කාමරයට වැටෙනවා. සිසිල් සුළඟ සමඟ එන ආලෝකයෙන් දවසම ප්‍රමුදිත වෙනවා නේද කියලා මට සිතුණේ මෙහි වැඩ කරන්න ආ මුල් දවසේමයි. මේ මොහොතේ මගේ සිතුවිලි දැහැන බිඳ වැටුණේ හුරු පුරුදු කටහඬකින්.

“ගුඩ් මෝර්නින් මිස්! උදෙන්ම වැඩකද?”

ඒ, කටහඬ අපේ වසම භාර පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියගේ බව මම දැනගත්තේ දොර දෙස බැලූ විටයි. රජයේ පත්වීමකට නවකයෙකු වූ ඇය බොහෝ ක්‍රියාශීලී තරුණියක්.

“ගුඩ් මෝර්නින් කියන්න තරම් ලොකු වැඩක් නම් නැහැ. මොකද මේ පැත්තේ?”

“මිස්, අද අපේ කෘපනිස මිස් - කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිතුමිය - මෙහෙ එන අන්තිම දවසනේ. අද පොඩි උත්සවයක් තියෙන බව ආරංචි වුණා. ඇත්තටම කීයටද ඒක තියෙන්නේ?”

පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය එහෙම ඇහුවාම මට අමතක වී තිබූ, දවසේ ලොකුම වැඩේ මතකයට ආවා.

“උදේ එකොළහටනේ. මිස් ඉන්නවා නේද?”

“ඔව්. අනිවාර්යෙන් ඉන්නවා. අද මට පොඩ්ඩක් එළියට යන්නත් තියෙනවා. අලුත උපන් බබෙක් බලන්න. ඒ වුණාට මම හවස් වරුවේ බබා බලන්න යන්නම්. දැන් මේ වැඩ ටික ඉවර කරනවා.”

“ඒක හොඳයි. අපි ටිකක් එළියට ගිහින් බලමු. එතන වෙන්නේ මොනවාද කියලා.”

එහෙම කියූ මම මගේ පුටුවෙන් නැගිට්ටා. මම මේ ග්‍රාම සේවා වසමේ වැඩ භාර ගන්නා විටත් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුරේ වැඩ කළේ අද මේ වසමෙන් වෙනත් වසමකට මාරු වී යන නිලධාරීතුමියම නේද කියලා මට හිතුණා. එදා රාජ්‍ය සේවයට අමුත්තෙකූ වූ මට අවශ්‍ය තොරතුරු ගන්න ඇය ළඟ නතර වූ වාර ගණන අපමණයි. කිසි විටෙක අකමැත්තෙන් රාජකාරි ගැටලු දෙස නොබැලූ ඇය අසාධාරණයට එරෙහි වෙන්න හැම වෙලේම උත්සාහ කළා. ඇගේ මේ ඝෘජු ප්‍රතිපත්තිය නිසා වසමේ අන් රාජ්‍ය සේවකයන් වූ අපටත් ගැටලු ඇති නොවුණා යැයි කියන්න බැහැ. කොහොම වුණත් ඇය අද අප වසම හැර වෙනත් වසමක සේවයට යනවා. මගේ මතකය ඈතට දිව යනකොට එය බිඳ දැම්මේ මගේ වසමේ හොඳ ගෙවිලියක වූ මාලනී.

“නෝනා, මම නෝනා ඉන්නවාද කියල බලන්න ආවේ.”

ඒ, මාලනීගේ හඬ.

“ඇයි මාලනී? මම මේ ඒ පැත්තට එන්නයි හදන්නේ. මොකක්ද මගෙන් කෙරෙන්න තියෙන්නේ?”

“අද අපේ මිස් යනවානේ. අපට හරියට හිතට අමාරුයි. අපේ ගොවි සමිතියට කොච්චර උදව් කරලා තියෙනවාද? මම වුණත් මෙච්චර ගොවිතැන් කළේ නැහැ ඉස්සර. අපේ නෝනා ආවාම මට ගොවිතැන් කරන හැටි හරියට කියලා දුන්නා. ඒක නිසා මට හම්බවෙච්ච ලාභ අනන්තයි නෝනා.”

මාලනීගේ හඬේ ඇත්තේ වේදනාකාරී බවක්. වසමේ රාජකාරි කරන්න පැමිණි මුල් කාලයේ පටන් එහි ගෙවතු බලන්න යන්න මා සහාය පැතුවේ අපේ කෘෂිකර්ම නිලධාරිතුමියගෙන්. එදා එක් අවස්ථාවක එතුමිය පැවසු දෙයක් අද සත්‍ය වී ඇති බව මට සිහියට නැඟුණා. ඇය වසමේ හොඳම ගොවිපළ ලෙස මට හඳුන්වා දුන්නේ මා හට දැන් කතා කරන මාලනීගේ ගොවිපළයි. මාලිනී අක්කරයක් පමණ වූ ඇගේ ගෙවත්තේ ඒ වන විට බුලත්, බටු, කෙසෙල්, බෝංචි ආදියත්, ගොටුකොළ, නිවිති, සාරණ වැනි පලා වර්ගත් වගා කොට තිබුණා. පසෙකින් ඉදිකර තිබුණේ එළදෙනුන්ගේ ගවමඬුව. ඇයට ඒ වන විට එළුවන් දෙදෙනෙක් ලබා ගැනීමටත් උවමනාව තිබුණා. හොඳින් අධ්‍යාපනය ලබන නගරයේ ජනප්‍රිය පාසල් කිහිපයක ඉගෙනුම ලබන දියණියන් තිදෙනෙකු ඇයට සිටි බවත් මට මතකයි. මා දන්නා තරමින් මාලනීගේ ගෙවත්ත ගොඩනඟා ගැනීමටත්, වසමේ ගෙවතු හා පුරන් කුඹුරු අස්වද්දා ගැනීමටත්, ගොවීන් ඒකරාශී කර ගැනීමේ මහා භාරදුර කාර්යයටත් රජයේ නිලධාරිනියක වූ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරිතුමිය අතගසා තිබුණා.

රාජ්‍ය නිලධාරියෙකු ලෙස තමන්ගෙන් අන් අයට ඉටු විය යුතු යුතුකම් මැනවින් හඳුනාගෙන සිටි ඇය සියලු දෙනාටම යහපතක් මිස අයහපතක් කළ අයෙක් නොවේ. ඇගේ නිවැරදි මඟපෙන්වීම් හමුවේ දිවි මඟ ජයගත් මිනිසුන් දෙස බැලූ විට මට හැඟුණේ රාජ්‍ය සේවය නිවැරදිව ඉටු කරන්නේ නම් ඒ ක්ෂේත්‍රය කෙතරම් පිං රැස් කරගත හැකි තැනක්ද කියායි.

“මිස්, බොන්න!” මා පියවි සිහියට පැමිණියේ මාලිනීගේ කටහඬින්. ඇය මා වෙත අැස්ස කැපූ තැඹිලි ගෙඩියක් පානවා. ඈ තැඹිලි ගත්තේ කොහෙන්දැයි මට පැහැදිලි නොවුණත් තිබහින් සිටි මා තැඹිලි ගෙඩිය අතට ගත්තා.

“අද අපෙන් අයින් වෙලා යන කෘපනිස මිස්ට මං එනකොට එළවළු ටිකක් ගෙනාවා. මිස්ලා කට්ටියට බොන්න තැඹිලි වල්ලක් කපන් ආවා.”

මාලිනී කී දෙය මා තුළ නොයෙක් කල්පනා ඇති කළා. අද ඈ කුළුබඩු විතරක් කඩෙන් ගන්නා වී ඇතුළු අනෙක් සියලු එළවළු, පලතුරු තම වත්තේම වගා කරන ස්වයංපෝෂිත ගැහැනියක්. අද වැනි සියල්ල විදෙස් වෙළෙඳපොළට සින්න වූ සමාජයක එය ඉමහත් ඇගයිය යුතු කරුණක්. ඒත් ඊටත් වඩා ඇගයිය යුතු දේ ඇය තමාට නැඟීමට උදව් වූ ඉණිමඟට පයින් නොගැසීමයි. ඇගේ මුල අමතක නොකිරීමයි.

මාතෘකා