තාක්ෂණය සහ මිනිසා

 ඡායාරූපය:

තාක්ෂණය සහ මිනිසා

චර්යාත්මකව දියුණු නූතන මානවයින් හැඳින්වීම සඳහා නූතන කතිකාව තුළ මේ වන විට වඩාත් භාවිත කරන්නේ හෝමෝ සේපියනස් හෙවත් ප්‍රබුද්ධ මිනිසා අර්ථයට වඩා ‘තනන මිනිසා‘ යන අර්ථ ගෙනෙන හෝමෝ ෆේබර් යන නාමකරණයයි. හානා ඇරෙන්ඩ්ට් (ඩ්චදදචඩ ඒපඥදඤබ) නැමැති චින්තිකාව විසින් තම ඩ්භථචද ජධදඤඪබඪධද නැමැති කෘතිය මඟින් මේ පිළිබඳ වඩාත් විස්තෘත විග්‍රහයක යෙදේ. තාක්ෂණය පරිනාමීය ගමන් මඟ තුළ මිනිසා තමන්ට අවශ්‍ය පරිදි පරිසරය වෙනස් කිරීමට දැරූ ප්‍රයත්නයේ සිට ශිලා, ලෝකඩ මෙන්ම යකඩ ආදි මුලද්‍රව්‍ය මත පදනම් අවධි පසුකොට අභ්‍යකාශ යුගය වන නූතනය දක්වා තාක්ෂණය මානව විෂය තුළ කේන්ද්‍රීයව ඒ සමඟ ආබද්ධව පැවතියේය. ප්‍රොමිතියස් මිත්‍යා කතාව පෙන්වා දෙන පරිදි ගින්න සහ ලෝහය මත පදනම් තාක්ෂණය මානව ශිෂ්ටචාරවල වර්ධනය සඳහා අවශ්‍ය වුවද එයට ඇත්තේ විරුද්ධභාසී පැවැත්මකි. එයට මවන්නා වන බ්‍රහ්මද විනාශකරන්නා වන ඊශ්වරද සතු බලපරාක්‍රමයන් සතුය. එය මානවයාට පරිසරය ජය ගැනීමට දෙවියන් ඉක්මවූ බලයක් අත්කර දීමට සමත් වුවද මෙම බලය මානවයින් විසින් ප්‍රබුද්ධ ලෙසින් භාවිතා නොකිරීම පාලනය කිරීමට එයට හැකියාවක් නොමැත.

මානවයා සුවපත් කිරීමට සකසන ඖෂධ මාත්‍රාව වෙනස් කළ විට එයට පුද්ගලයෙකු මරණයට පත් කළ හැකිය, ඖෂධය සහ විස අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. මානවයා ඥානනය කිරීම සඳහා ඉදිකළ මාධ්‍ය ආයතන පුද්ගල ආත්මයම යටපත්කරණ සහ මොළ ශෝදන ප්‍රචාරක මෙවලම් බවට පත් කළ හැකිය. අපගේ දැනුම පුලුල් කරණ සහ ජීවිතය වඩාත් පහසු කරන පරිඝනක පද්ධතිවලට පුද්ගල පෞද්ගලිකත්වය නැති කර පුද්ගල ජීවිතය සහ සමස්තයක් ලෙස සමාජය වියවුලට පත් කළ හැකිය. සැබවින්ම මානවයා උදෙසා නිම වූ සෑම සුවපහසු සහ වඩාත් ආරක්ෂිත යැයි පවසන ඕනෑම තක්ෂණික මෙවලමක් තුළ මානව සමාජය සඳහා අයහපතක් සඟවාගෙන සිටී.

පසුගිය ශතවර්ශය තිස්සේම, සහතික වශයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ තාක්ෂණික වර්ධනය මඟින් මිනිසා විසින් දීර්ඝ කාලයක් තිස්සේ අත්විඳි ගැහැට සඳහා දීර්ඝකාලීන විසඳුම් ලබාදුන්නේය. විශේෂයෙන්ම ළදරු වියේ ඇති වන රෝගී තත්ත්ව පාලනයට සහ දුරුකිරීම සඳහා විද්‍යාත්මක දැනුම සහ ඒ හා සමාන්තරව දියුණුවට පත් තාක්ෂණික වර්ධනය මඟින් සිදුකළ හපන්කම් පිළිබඳ අපට ඇත්තේ ස්තූති පුර්වක ප්‍රහර්ශයකි. එපමණක් නොව දුරස්ථ ගමනාගමනය සහ සංනිවේදන කටයුතු සඳහා එමඟින් අත්කර දුන් විසඳුම් කෙරෙහිද අප ට කෘතගුණ පුර්වක දැක්මක් ඇත. අනෙක් අතට නූතනය විසින් අත්පත් කරගත් තාක්ෂණික වර්ධනය පිළිබඳ ආලෝලනයට පත් බහුතරයක් මිනිසුන් එහි ගමන් මඟ දෙස වඩාත් සුබවාදී ලෙස බලා සිටින බව පෙනේ.

සැබවින්ම මෙහි විරුද්ධභාසය වන්නේ මිනිසා විසින්ම නිමවූ තාක්ෂණය ඉදිරියේ මිනිසා වහලෙකු සහ විපරීතයෙකු බවට පත්ව පරල වීමයි. තවද තාක්ෂණය භාවිතා කොට පරිසරය ජය ගැනීමට දරණ තැත මායාවක් බවට පත්ව ඇති අතරම මානවයා විසින් මුදාහරින ලද තාක්ෂණය නැමැති දඩ බල්ලා හීලෑ කරගැනීමද මේ වන විට සිහිනයක් බවට පත් වී ඇත. තාක්ෂණික නිර්මාණ සහ දැනුම මානව ප්‍රජානනය සහ අභිප්‍රාය අභිබවමින් පවතී. ඔහු විසින් නිමවූ තාක්ෂණික ඥානයේ විපරීත තත්ත්වය අවබෝධකරගැනීමට විරාමයක් නොතබාම එම තාක්ෂණික ඥානය මානව අභිප්‍රායන් සියල්ලක්ම පාවා දීමට සමත්ය. දෙවන ලෝක යුද සමය තුළ ලෝක ප්‍රජාව අත් දුටුවේ එකී තත්ත්වය වන අතර නූතනය එයට වඩා දහස් ගුණයක විපරීත විභවයක් සඟවාගෙන ඇත.

තාක්ෂණය මිනිසාගේ නිමවුමක් වුවද එය එයටම අනන්‍ය, මානව පාලනයෙන් තොර දිශානතියක් කරා ගමනක යෙදමින් සිටී. තාක්ෂණික දැනුම විසින් ගැටලු නිරාකරණය කරනවාට වඩා පාලනය කළ නොහැකි ගැටලු ගණනාවක් එමඟින් නිර්මාණය කර ඇත. උදාහරණයක් වශයෙන් අප පසුගිය කාලය තුළ ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය පසුබිම්ව අත්විඳිමින් පවතින රජරට වකුගඩු රෝගය සහ මෑත කාලීන ‘සේනා දළඹුවා‘ වැනි කෘෂි උවදුරු පාලනය කිරීමේ නොහැකියාව සඳහාද වක්‍රාකාරව මෙකී තාක්ෂණික වර්ධන මතම යැපීමට හුරු වීම හේතුවක් වශයෙන් ගත හැකිය.

වගා වර්ධනය සඳහා සංවර්ධිත රටවලින් හඳුන්වාඳුන් කෘමිනාශක සහ වල්නාශක මත ම යැපීම හරහා එමඟින් ඇති කරණ ලද අහිතකර ප්‍රතිඵල කෙරෙහි අප ලබාදුන්නේ අඩු අවධානයකි. එමඟින් ඇතිකරණ ලද රසායනික දුෂණය සහ රෝගී තත්ත්වයන් සහ ව්‍යාකූලතා බහුතරයක් ජනතාව අතර ඔඩුදුවන තෙක් අප ඒ කෙරිහි වැසු දෙනෙතින් පසුවිය. අවසානයේදී රසායනික වල් සහ කෘමි නාශක භාවිතය මඟින් ගොවීන් රෝගීන් බවට පත් කළා පමණක් නොව පරිසරයටද එමඟින් ප්‍රතිපුරණය කළ නොහැකි හානියක් අත් කර දුන්නේය. එපමණක් නොව වගා හානි සහ කෘමි උවදුරු මැඩ පැවැත්වීම සඳහා යොදන රාසායනික විසඳුම් හරහා එකී රසායන මතම යැපෙන බෝග වගාව ප්‍රචලිත වූ අතරම නව රෝගයක් සඳහා සෑමිවිටම නව රාසායනික විසඳුමක් හඳුන්වා දිය යුතු විය. ඒ සඳහා වෙළඳ පොළ මාෆියාවක් නිර්මාණය වූවා පමණක් නොව පෙර පැවති අහිතකර තත්ත්ව වඩාත් වර්ධනය වීමද සිදු විය.

ගදිනේෂ් දේවගේඝ

 

මාතෘකා