කව්පි මුං ඇට ලෙඩට දෙයි බැට

 ඡායාරූපය:

කව්පි මුං ඇට ලෙඩට දෙයි බැට

ඇට ජාති ගැන කතා කියද්දි මුං ඇට ගැන වෙනම හරි කතා කරන්ඩ තරම් වටිනවා. දැන් හුඟක් වෙලාවට ලේසි පාසුවට රට පරිප්පු කන අපිට අපේම මුං ඇට කන්ඩ මීට වැඩිය හුරුවක් ඇති වෙනවනම් නරකයෑ. ඇට පිටින් හරි, පියලි විදියට හරි පැළවෙන්ඩ ඇරලා හරි මුං ඇට මාළුව කනකොට මුං ඇට ආනමක් එක්ක කාපු කුරහන් තලපයක් ගැන කිව්වෙ චම්ලි ඒකනායක කියලා නොදුටු හිතවතෙක්. වැල්ලවායේ කුමාරසිංහ වෙද මහත්තයා නම් කියන්නෙම කහපාට හීං වෙද මුං වැඩිය ගුණයි කියලා. එව්වා ඉතිං නිතර හොයන්නෙ කොහෙං කියලද?

ඉස්සර බක්මාසේ ළංවෙනකොට අපිට අවුරුදු පුසුඹ දැනුණෙ ගෙවල්වල හැදෙන කැවිලිවලින්. එව්වයෙනුත් මුලට එන්නෙ කැවුම් ජාතිනේ. හැබැයි මටනම් විශ්වාස කොයි කැවුමටත් වැඩියෙං මුං කැවුම සුවඳයි කියලා. අම්මලා කැවුම් හදන්ඩ මුං ඇට බැදලා පිටි කරන්ඩ ඉස්සරවෙලා ඕකෙන් අහුරක් අල්ලට මිටි කරගන්ඩ පුරුද්දක් කොයි එකාලටත් තිබ්බා. මුං දැම්මෙ කැවුමට විතරක්යැ. පියලි මුං දමාපු පොල්ගුලි නැත්නම් නාරං කැවුමුත් එහෙම නැත්තං පත අල බොන්ඩා වගේ හදාපු මුං ගුලිත් කවුරුත් කන්ඩ මනාප කෑම. අපි ටවුමෙ තේ බොන්ඩ ගියපු කඩවල ලොකු මුං ගුලි විකුණන්ඩ තිබ්බා ෂෝකේස්වල දාලා. කැවුමට මුං ගත්තට කව්පි නිතර ගත්තෙ නෑ. හැබැයි කව්පි කැවුමත් බොහෝම රසයි.

මං වතාවක් ගියා අතරමැදි කන්නෙ කව්පි වගාවක් බලන්ඩ. නාගදීප ව්‍යාපාරෙ ගොයියන්ගෙ කුඹුරුවලට. යාල්පානමේ නෙමෙයි ආයිබෝවන්ඩ මේ කියන්නෙ මහියංගණෙ නාගදීපෙ ගැන. එදා ඉතිං උන්දැලාගෙ කව්පි කරල් කඩාලා හරිම සන්තෝෂෙන් හිටියෙ. සන්තෝෂෙ වැඩිකමට කව්පි දමාපු කිරිබත් උයලා කව්පි කැවුමුත් හදලා තිබ්බා. ඊළඟ වතාවෙ මුං කැවුම් හදන්නැහේ කව්පි කැවුම් හදලා බලන්ඩකෝ. හැබැයි මේ කාරියට වැඩිය හොඳ සුදු කව්පි කියලයි මට හිතෙන්නේ.

උණුවෙන් කන්ඩ හොඳ කටගැස්මක්නෙ වඩේ. වඩේ කිව්වම මතක් වෙන්නෙම පරිප්පු වඩේ නැත්නම් උළුඳු වඩේ. හැපෙන විදිය, රහ, පෙනුම, හදන්ඩ ගන්නෙ පරිප්පු නැත්තං උඳු වීම ඔය දෙජාතිය වෙනස් කරනවා. හැබැයි ඉතිං මේ දෙවගෙම වඩේ කව්පිවලින් හදාගන්ඩ පුළුවන්. පරිප්පු වඩේ වාගෙ කව්පි වඩේ හදනවානම් අපි ගන්න කව්පි ප්‍රමාණය පැය පහ හයක් පොඟන්ඩ ඇරලා තුන් කොට්ඨාශෙකට බෙදාගන්ඩ මුලිම්ම. ඔයින් එක කොටහක් තුනී වෙන්ඩම අඹරගන්නවා. අනික් කොටහ කෑලි වෙන්ඩ අඹර ගන්නවා. ඉතුරු හරිය ඇට තියෙන නොතියෙන ගාණට තියා ගන්නවා. දැන් සේරම එකට දාලා කොචිචි මිරිස්, රතු ලූනු, කරපිංච ලියලා දාලා අනලා බෝල ගන්නලා පැතලි කරලා ගැඹුරු තෙලේ බැද ගන්නවා. ආං කව්පි වඩේ.

මේ විදියටම කව්පි තුනී වෙන්ඩ අඹරලා මනාපනම් උඳු පිටි ඩිංගකුත් එක්කාසු කරලා උළුඳු වඩෙත් හදාගන්ඩ බලන්ඩ. ඕං ඉතිං නොරට දේවල්වලට රට ළං කරන හැටි. නිකම්ම කව්පි, මුං හොදි උයලා එපා වාහෙට බෙදන්නා වාගෙ බෙදුවට පොඩි උන් කන්නෙ නැති එක අරුමයක්යැ. මේං මෙහෙම හදාලා දෙන්ඩ එපායැ. මුං හරි කව්පි හරි පැලවෙන්ඩ තියලා අංකුර ඇදුණම හුමාලෙන් තම්බලා ඇරං කරපිංච, සුදු ලූනු, ලොකු ලූනු කෑලි මිරිස් එක්ක තෙම්පරාදු කරලා ගත්තමත් වෙනස් රසයක් දැනෙයි ඕං.

මෙව්වා මෙහෙම ලියද්දි මට මතක් වෙනවා රාමසාන් කාලේ මුසල්මානුවො නෝම්බි අරිද්දි බොන මුං කැඳ ගැනත්. බදුල්ලෙ මුස්ලිම් පල්ලිය ගාවත් ඒ වාගේ කැඳකාරයෙක් හිටියා. මුං කැඳ ඇඟට දෙන්නෙ හරි හයියක් නෙව. අනික අපේ අම්මලා නම් කිව්වෙ මුං සිසිල් කියලා. මුං ඇට කව්පි ඇට බැදලා පිටි වෙන්ඩ අඹරලා තවත් කාරියක් කරගන්ඩ පුළුවන්. අපි කෝන් පිටි කියලා උජාරුවට කඩෙන් ගෙනැල්ල එක එක කෑම ජාතිවලට කළවම් කරන ඉරිඟු පිටි වෙනුවට මුං හරි කව්පි හරි පිටි ටිකක් එක්කහු කරලා බලන්ඩකෝ. අඩුම තරමේ දරු බාලයන්ඩ කන්ඩ හදන රොටී ගෙඩියට හරි බදින බිත්තර ගෙඩියට හරි කව්පි නැත්තං මුං පිටි ටිකක් එක්කාසු කෙරුවම මක් වෙනවද? ඔය කියාපු කාරියට කඩල පිටිත් නරක නෑ. මේව ආයේ අපේ උන්දැලා නොදැන හිටියා නෙවෙයි දැන් නෙකෙරුවට.

ගොඩක් ඉස්සර අපිට තිබ්බ තවත් ඇට භෝගයක් වෙච්ච කොල්ලු ගැන ලිව්වා නෙව. හැබැයි අපේ අම්මා කියනවා කොල්ලු දාලත් කැවුං හදන්ඩ පුළුවන් එව්වත් හරිම රහයි කියාලා. ඊළඟ සිංහල අවුරුද්දට හදලා බලමුද කොල්ලු කැවුම්. ආයෙමත් වංගියක් මට ආස හිතුණා අනුරාධපුරේ මනුලයියලා ගෙදරදි කාපු උඳු හොද්ද කන්ඩත්. ඒකට උඳු ඇට බැදලා පිටි කරලා ගන්ඩ ඕන.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා