පරිකල්පනය පෞරාණිකය

 ඡායාරූපය:

පරිකල්පනය පෞරාණිකය

පරිකල්පනය අපගේ පැවැත්ම සමඟ නෛසර්ගිකව බැඳී පවතී. සැබවින්ම එය අප අත්දකින විශ්වයට පරිබාහිරව ද්වීතීයික විශ්වයක් අප මනස තුළ සැකසීමට සමත්ය. එමඟින් අප කිසිදා නොදුටු දේ ඒ තුළ නිමවයි. අප ආදිතම මානවයින් සැකසූ පළමු මෙවලමේ සහ ඔවුන් ඇඳි ප්‍රථම ගිරි සිත්තමේ සිට නූතනය දක්වා මානවයා විසින් නිමවනු ලැබූ සෑම නිර්මාණයක් තුළම ඇත්තේ එකී පරිකල්පන ශක්‍යතාවයයි. නූතනය වනවිට පරිකල්පනය සඳහා වඩාත් නම් දරා සිටින්නේ හොලිවුඩය තුළ සිටින වොල්ට් ඩිස්නි හෝ පික්සාර් වැනි ත්‍රිමාණ සජීවීකරණ සමාගම්ය. එහෙත් ඔවුන්ද ප්‍රතිනිෂ්පාදනය කරන්නේ අප මෙතෙක් දුටු ලෝකයේම තවත් එක් මායවී ස්වරූපයක් මිසක නවමු අත්දැකීමක් නොවේ. එහෙත් පස් වියැති දරුවකු කළ අප මනස තුළ මැවෙන ලෝකය සහ එම පරිකල්පනයේ පරිමාණය සමග සැසඳීමේදී එකී සජීවීකරණ තාක්ෂණිකයන් ළදරුවන් ගණයට වැටෙනු ඇත.

පරිකල්පනය පිළිබඳ දාර්ශනිකයන්, මනෝවිද්‍යාඥයන් හෝ ඒ හා සම්බන්ධ අනෙකුත් විද්‍යාඥයින් අතින් ප්‍රමාණික අධ්‍යනයක් සිදුවී නොමැති වීම අසත්‍යක් නොවේ. මේ සම්බන්ධව ඇරිස්ටෝටල් සහ එමානුවෙල් කාන්ට් හැරෙන්නට අන් කිසිඳු දාර්ශනිකයෙක් ප්‍රමාණික අවධාරණයක් යොමු කර නොමැත. එහෙත් ඔවුන් දෙදෙනාගේ අදහස්ද ‘ පරිකල්පනික‘ නැතිනම් ‘නිර්මාණාත්මක‘ යනුවෙන් හඳුන්වන සංකල්ප නිර්වචනය කිරීමට තරම් ප්‍රමාණවත් නැත. ඇරිස්ටෝටල් පරිකල්පනය හඳුනාගත්තේ ශරීරයේ තවත් ඉන්ද්‍රියක් වශයෙනි. එමඟින් විවිධ මානසික ක්‍රියාකාරකම්වලදී භාවිත මනෝ රූප ගබඩා කිරීම සහ නැවත භාවිත කිරීම සිදුකරන බව ඔහු විසින් අවධාරණය කෙරිණි. අපගේ නින්දද අනිච්ඡානුග පරිකල්පනික සිහින මඟින් බලගන්වන බව ඔහු විසින් දක්වන ලද්දේය. කාන්ට් විසින් පරිකල්පනය හඳුනාගත්තේ අවිඥානිකව සමෝදානය වන ශාරීරික ඉන්ද්‍රියක් ලෙසය. මෙම දාර්ශනිකයන් දෙදෙනාටම අනුව පරිකල්පනය යනු යම් ප්‍රජානනාත්මක ප්‍රපංචයකි එසේත් නැතිනම් ප්‍රජානනයට පෙර ඒ සඳහා පදනම සකස් කරන ක්‍රියාවලියකි. එහි ක්‍රියාකාරීත්වය අවිඥානික වන අතරම එය දැනුම සඳහා පදනමක් සකස් කරයි. එහෙත් සත්‍ය දැනුම ලෙස ක්‍රියාකිරීමට තරම් එය අමූර්ත හෝ භාෂාත්මක ශක්‍යතාවයකින් තොර බව ඔවුන්ගේ අවධාරණයයි.

පරිකල්පනය පිළිබඳ ඉදිරිපත් කර ඇති මෙම විග්‍රහයන් යාන්ත්‍රික දෘඩ නිර්වචන ලෙස හඳුනාගත හැකිය . මනස යනු පරිගණකයකි, නැතිනම් මානව චින්තනය ක්‍රියාත්මක වන්නේ පරිගණකයක ප්‍රොසෙසර් (processor) එකක් පරිදිය යන මනස පිළිබඳ නූතන සදොස් නිර්චවන ද එම නිර්වචනවලම එක්තරා දිගුවකි. මෙම විග්‍රහය ඔස්සේම ගොස් ඩෙනිස් ඩටන් නමැති ඇමරිකානු දාර්ශනිකයා The Art Instinct (2009) නම් කෘතිය හරහා භූමිදර්ශන සිතුවම් සඳහා මෙතරම් මහජන කැමැත්තක් ඇත්තේ ඇයිද යන්න පැහැදිලි කරයි. අපගේ ආදි මුතුන් මිත්තෝ අතීතයේදී ආහාර සොයා කළ සංචාරය අතරතුර දී නවාතැන් ගැනීම සඳහා අවධානම් සහගත නොවන සම්පත් බහුල වඩාත් යෝග්‍ය භූමි දර්ශනයක් තෝරා ගැනීම කෙරෙහි මහත්සේ උනන්දු වූහ. නූතනයේදී භූදර්ශන සිතුවම් කෙරෙහි අප ආශක්ත වන්නේද එම අභ්‍යන්තරිකව පැන නඟින සහජාශමය කැමැත්ත නිසාය. නූතන පරිණාමයීය මානව විද්‍යාව මඟින් දක්වා ඇති මෙවැනි නිර්වචනද ඇතැම් විටක නිර්මාණාත්මක පරිකල්පනය මනාව විග්‍රහ කරගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ.

පරිකල්පනය පිළබඳ පරිණාමයීය විග්‍රහයන් මෙකී ව්‍යාකූලතාව මඟ හැරීමට පිටිවහලක් වෙයි. මානව මනසේ අන් පරිණාමයීය පාර්ශ්වයන් මෙන්ම පරිකල්පනය සඳහාද පරිණාමයීය ඉතිහාසයක් ඇත. සැබවින්ම පුරාවිද්‍යාඥයකු යම් පුරාවිද්‍යාත්මක ස්ථරයක් පිළිබඳ ක්‍රියාකරන්ෙන් කෙලෙසද එකී ක්‍රියාවලිය හා අනුයා පරිකල්පනය යනු කුමක්ද යන්නද අවබෝධ කරගත හැකිය. එකිනෙක මත තැන්පත්ව ඇති පස් ස්ථරයන් ක්‍රමානුකූලව කැන ඉවත් කරන්නා සේ මනසද එහි විවිධ ස්ථර සතු ධාරිතා ක්‍රමක්‍රමයෙන් විදාරණය කරයි. අප තිරිසන් සත්ත්ව ගණයාගෙන් වෙන් වුවත් ඔවුන් සමඟ බෙදා හදාගත් පරිණාමයීය උරුමය යටපත් කරමින් වඩාත් මානවීය ලක්ෂණ දරමින් චර්යාත්මකව නූතන මානව ස්වරූපය දක්වා ගමන් කළ මඟ එහි දී පියවරෙන් පියවර අපට මුණගැසෙනු ඇත. එහෙයින් එය වඩාත් නිරවුල්ව අවබෝධ කරගැනීමට මනසේ එකී ස්ථර ක්‍රමයෙන් කැන බැලිය යුතුය.

එහෙයින් පරිකල්පනය යනු මානවයා අතීතය තුළදී අත්පත් පත්කරගත් මුල්ම ශක්‍යතාවලින් එකක් බව අවබෝධ වනු ඇත. සිතීම සහ සංනිවේදනය, භාෂාව මඟින් වඩාත් ශීඝ්‍රව වර්ධනය වූ කුසලතා වීම සත්‍යයක් වුවද සංකල්ප රූප අනුසාරයෙන් සිතීම මෙන්ම ශරීරය අනුසාරයෙන් සිතීම භාෂා හැකියාවට බොහෝ කලකට පෙර, ඇතැම් විට වසර ලක්ෂ ගණනකට පෙර සිට මානවයා විසින් අත්පත් කර ගනු ලැබූ ශක්‍යතාය. සැබවින්ම එය ලෝකය පිළිබඳ ඇතිකරගත් චිත්තවේගී කේත සහිත ප්‍රතිනිරූපණ කියවා ගැනීමට, ගබඩා කර තබා ගැනීමට සහ නැවත අවශ්‍ය වෙලාවට සිහියට නඟා ගැනීම කළ හැකිව පැවති අපගේ ක්ෂීරපායි පූර්වජයින් සතු උරුමයේම දිගුවකි. එහෙයින් පරිකල්පනය යනු අප ඇතැමෙක් මත පමණක් පතිතවන හෝ උරුමවන මායාවී හෝ අභූත ශක්‍යතාවයක් නොව, පරිණාමයීය මූලයක් සහිත ප්‍රපංචයකි. එනයින් එය පෞරාණිකය.

 

[දිනේෂ් දේවගේ]

මාතෘකා