අපිටත් ඉඩක් දුන්න ‘රැස’ට වසරයි

 ඡායාරූපය:

අපිටත් ඉඩක් දුන්න ‘රැස’ට වසරයි

ලංකා සමාජයෙහි කාලයෙන් කාලයට විවිධ ප්‍රශ්න ඉස්මතු වේ. එම ප්‍රශ්න සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ ස්වභාවය මුල් කරගෙනය. සැබෑ වශයෙන්ම අප රටෙහි ප්‍රශ්නවලට වටිනාකමක් ලබාදී ඇත්තේ මාධ්‍ය විසිනි. මෙහි පවතින එකම ආකාරයේ ගැටලුවලට මෙන්ම කිසිදු වටිනාකමක්, සමාජයට ගැටලුකාරී නොවන තත්ත්වයන් පවා සමාජගතවන්නේ මාධ්‍ය තුළ ඒවා නිතර නිතර කතාබහට ලක් කිරීම හේතුවෙනි.

එය එසේ වුවද ඉන් සිදු වී ඇත්තේ අප කතා කළ යුතු ගැටලුකාරී තත්ත්වයන් මඟහැරීමය. සමාජය දැනුවත් විය යුතු කාරණා පිළිබඳව සමාජය දැනුවත් නොවීමය. විශේෂයෙන් වැඩිදෙනෙක් දේශපාලඥයන් පසුපස යාම තුළ සමාජයේ වෙසෙන තවත් බොහෝ පිරිසක් මඟහැරී ගොස් ඇත. එය හිතකර තත්ත්වයක් නම් නොවේ.

ලංකාව තුළ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ද මුහුණ දී ඇත්තේ ඉහත කී තත්ත්වයටයි. ඔවුනට බොහෝ ගැටලු පවතී. ඔවුහු පිළිබඳව සමාජයේ අවධානය, අවබෝධය හීනය. එබැවින් ඔවුන් පිළිබඳව හා ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සමාජය දැනුවත් කළ යුතු තත්ත්වයක් සැබෑ වශයෙන්ම පවතී. මෙම ගැටලුවලට මුහුණ දෙන තවත් පිරිසක් සමාජයේ සිටිති. එහෙත් එවැනි පුද්ගලයන්ට සමාජයේ අවධානය අඩුය. එයට මාධ්‍ය සෘජු හවුල්කාරයකි.

සාමාන්‍යයෙන් මාධ්‍ය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන්නේ වසරේ ඔවුන්ට වෙන් වූ දිනයන්හි හෝ විශේෂිත අවස්ථා, සිදුවීම්වලදී පමණි. නමුත් එය එසේ නොවී ඔවුන් හා ගැටී පවතින තත්ත්වයන් ගැඹුරින් අවධානයට ලක් කළ යුතුව ඇත.

මෙතෙක් කිසිදු මාධ්‍ය ආයතනයක් ඒ පිළිබඳව නොසිතූ අතර වෙනස්ම ගමනක් පියමනින ‘‘රැස’’ ඊට වඩා වෙනස් විය. වසරක් වැනි කාලයකදී පුවත්පත් කලාව තුළ වෙනස් මානයක් ඇති කළ ‘රැස’ මෙතෙක් මාධ්‍යයන්වල අඩුම අවධානයක් යොමුවූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල පිරිස වෙනුවෙන් සතිපතා තීරුවක් වෙන් කිරීමට ඔවුහු සමත් වූහ. ඒ ඔස්සේ එවැනි පුද්ගලයන්ට පවතින ගැටලු, සමාජ දැනුවත් කිරීම් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබිණි. එය අකුරු කිරීමේ භාග්‍යය හිමි වීම පිළිබඳව මටද ඇත්තේ නිරාමිස සතුටකි.

අද වන විට තාක්ෂණය ඔස්සේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉදිරියට ගොස් ඇතත් ඔවුන්ට ඒ තාක්ෂණය හවුල් කරගෙන තනිවම යමක් කිරීමට, නැඟිට සිටීමට අත්වැල ලැබීම ඉතා අවමය. එසේම කෙතරම් ධනාත්මක අදහස් ඉදිරිපත් කළද ඔවුන්ටද කළ හැකි යැයි සිතන පිරිස් වගේම ඔවුන්ට අවස්ථාවක් ලබාදෙන පුද්ගලයන්ද අවමය. නමුත් ‘රැස’ ඊට වඩා වෙනස් විය. මෙම තීරුව ඔස්සේ ලියැවෙනා දෑ මෙන්ම තීරුවට නමක් යෙදීම පවා තීරණය කිරීමේ අවස්ථාව ‘රැස’ කර්තෘ මණ්ඩලය මා හට ලබාදුනි. පසුගිය මැයි මස සිට මේ දක්වා කළු අකුරු දිගහැරෙන්නේ එසේය. අප මේ ඔස්සේ කතාබහට ලක්කරන තත්ත්වයන් ප්‍රායෝගිකකරණයක් මින් සිදුව ඇත.

ලංකාව තුළ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෝ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ වගේම ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සමාජ ක්‍රියාකරුවෝ මේ පිළිබඳව අතිශය සතුටට පත්වූහ. මන්ද මෙතෙක් කිසිදු මාධ්‍ය ආයතනයක් ඇති නොකළ තත්ත්වයක් උදා කළ ‘රැස’ ඔවුන් පිළිබඳ කථිකාවක් ඇති කිරීමට මේ ඔස්සේ සමත් වීමයි.

වෙනත් මාධ්‍යවල නම් සිදුවන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධ කරගෙන, ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ලියා ඵල කිරීමය. එහෙත් ඒ අවස්ථාවද ‘රැස’ මා වෙතම ලබාදුනි. එබැවින් පුවත්පතක බාහිර ලේඛිකාවක් වශයෙන් ක්‍රියාකරන ලංකාවේ පළමු දෘෂ්‍යාබාධිත ලේඛිකාව වීමේ අවස්ථාව මට හිමි විය. ඒ ‘රැස’ කර්තෘ මණ්ඩලයෙහි වූ අවබෝධය, ධනාත්මක ආකල්ප වගේම වෙනස් මාවතක් පැහැදිලි කිරීම තුළ වූ වර්ධනීය තත්ත්වයක් විය හැකිය. කළු අකුරු කියවනා පාඨක පිරිසගේ ප්‍රතිචාර ඉතාම යහපත් මට්ටමක පවතී. මෙතෙක් වෙනස් ඇසකින් ඔවුහු දෙස බැලූ සමාජය සාමන්‍ය ආකාරයෙන් ඔවුහු දැකීමට දිරිගැන්වීමක් සිදුව ඇති බැව් පසක්වන්නේ පාඨක අදහස් තුළිනි. එය සත්‍ය වශයෙන්ම ඇස පෑදීමකි.

සමාජයේ වෙනත් අංශයන්ගේ අවධානය අවම වුවද තවත් ඔවුන් පිළිබඳව කතා කළ යුතු අකුරු කළ යුතු දෑ බොහෝ වෙති. ඒ පිළිබඳව ඉදිරියටත් කළු අකුරු ඔස්සේ අකුරුවනු ඇත. ඉන් රජය හා සමාජය දැනුවත් කිරීමේ අවස්ථාව අපට හිමිවනු ඇත.

ඉදින් මෙතෙක් කල් වැඩි අවධානයකට ලක්නොවුණු ඔබ වෙනුවෙන් කතා කිරීමට හා අකුරු කිරීමට ‘රැස’ ඔබ හා ඉදිරියටත් අත්වැල්බැඳ සිටී.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා