හූනු සාස්තරය

 ඡායාරූපය:

හූනු සාස්තරය

"ආයේ කතා දෙකක් නෑ. හූනා කිව්වා වගේ තමයි." පොඩිකාලේ අම්මා, අප්පච්චිගේ කටින් මෙවැනි කතාවක් පිටවෙනවා හැමෝම වගේ අසා තියෙනවා. 'හූනා' කියන සතා ගැන ළමයෙක් හිතන්න පටන් ගන්නේ මේ කතාවෙන්. එදා ඉඳන් ගෙදර ඉන්න සාස්තරකාරයා වගේ හඳුනාගන්න 'හූනා' ගෙදර ඉන්න අද්භූත හැකියාවන් තියෙන සතෙක්. ඇත්තටම හූනෙකුට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ද?

ඈත කාලයේ එක් එක් හේතු කාරණා නිසා පිළිගත්තු මත බොහෝ කාලයක් ගත වීම නිසා වෙනස් වෙලා තිබෙනවා. ඇත්තක් වුණත් විද්‍යාත්මකව පැහැදිලි කරනවාට වඩා ඒ ඇත්ත ඇතුළට අද්භූත දෙයක් කාන්දු කළොත් ඒ දේ කාලයක් පවතිනවා. විද්‍යාව ගැන මිනිසාගේ උනන්දුව නිසා විද්‍යාව හැමදාම නවීකරණය වෙනවා. ඒ නිසා සමහර කරුණු වෙනස් වෙන්න පුළුවන්. ඒත් හේතුවක් නැති මතවාද වෙනස් වෙන්න කිසිම බලපෑමක් නැහැ. මිනිස්සු ඒ ගැන හොයන්න යන්නේ නැතිකම ඒකට ප්‍රධාන හේතුවක්. ඒ නිසා හේතුවක් නැති මත අද ලෝකය පුරා විහිදිලා තියෙනවා.

එක් සතෙක් තව සතෙකුගේ ඇඟේ වැදීම නිසා වාසනාව, අවාසනාව ළං වෙනවා කිව්වොත් හැමෝම හිනා වෙන තරම්. ඒත් 'හූනා' සාස්තරකාරයෙක් කියලා හංවඩු ගහන 'හූනූ සාස්තරය' ඒ වගේ දෙයක්. හූනා කියන සතා බිත්තිවල, වහළයේ ගමන් කරනවා හැමෝම වාගේ දැක ඇත. හූනා උඩ වහළයේ බිමට වැටෙන්නේ නැතුව ගමන් කරන්නේ කෙසේද කීම හැමෝටම වාගේ ගැටලුවකි. එහෙත් විද්‍යාත්මකව බලන විට හූනා එසේ ගමන් කරන්නේ පාදවල ඇති සියුම් කෙඳි විශේෂයක් නිසාවෙනි. නැනෝ තාක්ෂණය පිළිබඳව දන්නා විද්‍යාඥයකු සමඟ ඔබ කතා කළොත් ඔබට එය හොඳින්ම වටහාගත හැකිවනු ඇත. සමහර විට හදිසියේම සතාගේ දෝෂයක් මත සතා බිම වැටෙද්දී ඇඟට වැටුණහොත් ඇඟේ වැටෙන තැන් අනුව ඇතැම්හූ විසින් සුරංගනා කතා කියා පලාඵල කියති. හූනෙක් මිනිසෙකුගේ ඇඟේ එක් එක් තැන්වලට වැටුණාම විවිධ වාසනාවන්ත වගේම අවාසනාවන්ත සිද්ධි සිද්ධ වෙනවා කියන කාරණය තමයි හූනු සාස්තරයේ ප්‍රධානම දේ. හූනු සාස්තරයට තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා තීරණය කරන්නට ඉඩදෙමින් සමහර මිනිස්සුන් කටයුතු කරනවා. තවත් මිනිසුන් හූනු සාස්තරය වැඩිදුර හිතට ගැනීම නිසා ලෙඩවීම වගේ කරදරවලට මුහුණදෙන අවස්ථාත් තිබෙනවා.

හූනු සාස්තරයේ තිබෙන ඇත්ත, බොරු මත නිසා යට යාම වෙලා තිබෙනවා. හූනා කියන සත්ත්වයා විෂ සහිත සතුන් ගොඩ නොවැටුණත් හූනාගේ හමේ විෂ ස්වභාවය නිසා මිනිස්සුන්ට හෝ වෙන සතුන්ට කරදර වෙනවා. කැසීම්, පලු දැමීම වගේ දේවල් මිනිස්සුන්ට වෙනවා. හූනෙක් ඇඟේ වැටුණු විට බෙහෙතක් හොයනවා වෙනුවට ලිතක් හොයාගෙන යාමට මිනිසුන් අද පෙලඹිලා තියෙනවා. සමහර අවස්ථාවලදී හූනාගේ ඇඟේ තියෙන මඳ විෂ දරාගැනීමට අපහසු විට මිනිසුන් මියයන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා හූනු සාස්තරය බරපතළ දෙයක් විදිහට හැමෝම වාගේ පිළිගන්නවා. හූනු සාස්තරයත් හිතට වදයක් වෙමින් බලපාන දෙයක්. හූනු සාස්තරය අනුව යම් කරදරයක් වෙනවා කියලා අනාවැකියක් ලැබූ විට ඒ ගැන සිතීම නිසා දුක, කලකිරීම, එපාවීම, තරහයාම, අමතක වීම, සතුට නොදැනීම, බිය වගේ දේ ඇති වෙනවා. ඒවායේ අනිත් පැත්ත ලෙස ගැස්ට්‍රයිටීස්, පීඩනය දහවල් කාලයේ නිදිමත ගතිය, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්ත්ව එනම්, බඩ පිපීම, බඩගින්න නැති වීම, ආහාර අප්‍රියතාව, බඩේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස්, මලබද්ධය වගේ රෝග සෑදීම හූනාගේ ගිණුමට යාම නිසා අද හූනු සාස්තරය ලෝක ධර්මයක් සමානව පිළිගෙන තියෙනවා.

රෙප්ටීලියා හෙවත් උරගයන්ගේ ලැයිස්තුවට වැටෙන හූනා මිනිසාට සමීපම උරගයෙක්. අපිට එදිනෙදා වැදගත්කමක් නැති වුණත් ලෝකයට ලොකු සේවාවක් කරන 'හූනා' ලංකාවේ නීතිය යටතේ ඇල්ලීම, ප්‍රවාහනය කළොත් දඬුවම් කරන්නත් පුළුවන්.

මාගේ මතය නම් මිනිසෙකු තරම්වත් මොළයක් නැති චූටි සතෙකුට විශාල වගකීමක් පවරලා ඒ සතාගෙන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවාට වඩා මිනිසෙකුගේ මොළයෙන් දෙයක් හිතන්නට පුළුවන් බවයි. පරම්පරාවෙන් දෙයක් ආ නිසා හිතනවා වෙනුවට හේතුවක් නිසා මේ දෙය වෙනවා කියා හිතන පරපුරක් මේ රටට බරක් නොවී සිටින බවයි.

[තමල් මන්ජිත වීරසිංහ]

මාතෘකා