කිලෝ පහක බබෙක්?

 ඡායාරූපය:

කිලෝ පහක බබෙක්?

එදින උතුරු කොන මහ රෝහලේ ශල්‍යාගාරය බොහෝ සෙයින් කාර්යබහුල වූ දවසක් විය. අපට වාට්ටුවල සැත්කම් සඳහා වෙන්වූ දිනය නිසා මමද එදින ශල්‍යාගාරයේ සැත්කම් සඳහා සහභාගි වෙමින් සිටියෙමි.

යුද්ධය හමාර වූ කාලය නිසා අප උර මත විශාල වැඩ රාජකාරි කන්දරාවක් පැටවී තිබිණි. උතුරු කොන වැසියන්ට ඔවුන්ගේ සියලු කරදරවලට විසඳුම රෝහලම විය. මේ සිදුවීම සිදුවන කාලයේදී බොහෝ අය අවතැන් කඳවුරුවල සිටි අතර නැවත නිවෙස් බලා ගියේ සුළු පිරිසකි.

එදින සැත්කම් අතරතුර වාට්ටුවෙන් අප වෙත ආ දුරකථන ඇමතුමකි. එයින් කියවුණේ මෙන්න මෙහෙම දෙයකි.

“සති තිස් අටක ගැබිනියක් අධික වේදනාවෙන් ඇවිත්. නමුත් කිසිම ක්ලීනික් එකකට ගිහින් නැහැ. ආපු ගමන් පරීක්ෂා කළා. තද ලොකු රවුම් ගෙඩියක් වැනි යමක් මිසක් බිලිඳු ශරීර කොටස් මතුපිටින් අහුවෙන්නෙ නැහැ. ස්කෑන් එකෙත් බිලිඳෙක් හෝ හෘදස්පන්දන ශබ්දයක් ඇසෙන්නේ හෝ පෙනෙන්නේ නෑ. හැබැයි කුසේ විශාලත්වය නම් සති 38ක් වගේ තමයි. සර්ගෙන් අහන්න එවන්නද කියලා? කැක්කුම වැඩී. එයා කියන්නේ දරුවා ලැබෙන්න කියලයි. ඒත් දරු ප්‍රසූතියක ලක්ෂණයක් නෑ"

එවැනි තත්ත්වයක් එවෙලේම පරීක්ෂා කළ යුතු නිසා ඇය එවන්නයැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසූ නිසා එවෙෙල්ම සියලු කටයුතු සූදානම් කර ඇයව ශල්‍යාගාරයට එවා තිබුණා. විශේෂඥ වෛද්‍යවරයා ඇය ගෙනා සැණින්, ශල්‍යාගාරයේ තිබූ ස්කෑන් මැෂින් එක ආධාරයෙන් ඇය ගර්භණී නොවන බවත් ඉතා විශාල යමක් මුළු උදරයම වසාගෙන තිබෙන බවත් පැවසුවා.

නමුත් ඒ අම්මා අප ඇයට පැහැදිලි කළ දේ පිළිගත්තම නැහැ.

" නෑ මට බබෙක් ලැබෙන්න හිටියේ. මම මුත්‍රා පරීක්ෂණ කළා, මම විටමින් බීවා. මට බබා දඟලනවා දැනුණා, මට වමනෙ ගියා. මම ක්ලීනික් ගියා. මම ඇඳුම් මැහුවා, කූඩයක් ලෑස්තිකරලා සේරම අරන් ආවේ" ඇය මහ හඬින් හඬමින් පැවසුවාය.

ඔව්! ඇය කූඩයක් පුරවා අලුත උපන් දරුවට අවශ්‍ය සියලු දෑ රැගෙන විත් තිබුණා.

ඔබම හිතන්න... මේවා ඇහෙද්දී අපේ මනස කොයි තරම් සසල වෙනවාද කියා. හරියට ක්ලීනික් ගියේ නැති හේතුව ඔබ දන්නා පරිදි අවසන් යුද්ධය සහ ඉන් පසුව අවතැන් වීම වැනි හේතූන්ය. එහෙත් ඇය සායනවලට සහභාගි වී තිබුණේ නැත.

ඇයට මේ තත්ත්වය කිහිප විටක් පහදා දී, ඇගේ සැමියා නෑයින් පවා ගෙන්වාගන්නට ඇය සමග ආ අසල්වැසියන්ට උපදෙස් දුන් පසු ඇය එවෙලෙම සැත්කමට භාජන කරනවා හැර වෙනත් විසඳුමක් අපට තිබුණේ නැහැ. ප්‍රසව වේදනාවෙන් මෙන් ඇය කෑ ගසමින් හිටියා. ඇත්තෙන්ම අපිව පුදුම කරමින් එළියට ආවේ බබෙක් නම් නොවේ. මේ කිලෝ පහක අමුත්තා ඇගේම ඩිම්බ කෝෂයක ඇතිවූ පිළිකාවකි. මේ ඩිම්බ කෝෂය පිළිකාව නිසා ඇගේ උදරය එලෙස අධික ලෙස විශාල වී තිබිණි. එය ඉන් පසු පටක පරීක්ෂණ සඳහා ව්‍යාධවේදී විශේෂඥ වෛද්‍යවරයාට යවන ලද අතර උදර කුහරයේ දියර, මේද පටක සහ රුධිරය වැනි සාම්පල ලබාගෙන රෝග මූලය සෙවීම සඳහාද පිළිකා තත්ත්වයන් ගැන වටහා ගැනීම සඳහාද යොමු කෙරිණි .

ඩිම්බ කෝෂ පිළිකා තත්ත්වයන් සුලභ වැඩිහිටි ස්ත්‍රීන් අතරය. එමෙන්ම ජානමය වෙනස්කම් විකෘති සහ පවුල් ඉතිහාසයේ එම තත්ත්වයන් පැවතීමද, ඔසප් වීම අඩු වයස්වලදී ආරම්භ වීමද ආර්තවහරණය සඳහා වැඩි වයසක් ගතවීමද ඒ සඳහා බලපාන සාධක සමහරක් වේ. එමෙන්ම ඊස්ට්‍රජන් නම් හෝර්මෝනය පියයුරු පිළිකා සහ ඩිම්බ කෝෂ පිළිකා තත්ත්වයන් කෙරෙහි බලපෑම් කරන අතර දිගු කාලයක් මේ හෝර්මෝනය කෘත්‍රිමව බාහිරව ලබා ගැනීමට සිදුවන තත්ත්වයන් නිසා වැඩි කාල සීමාවක් තිස්සේ අධි මාත්‍රාවක් ශරීරගත වීමද අහිතකරය. මෙම පිළිකා තත්වය මුල් අවධිවල හඳුනා ගැනීමට අපහසු වෙන්නේ එහි රෝග ලක්ෂණ පහළ වන්නේ බොහෝ පසු අවධිවලදී නිසාය. එය හඳුනා ගනිද්දී පිළිකා සෛල උදර කුහරයේ බොහෝ සෙයින් පැතිරී තිෙබන්නට පුළුවන.

දරුවෙක් පිළිසිඳ ගෙන ඇතැයි මහා විශාල බලාපොරොත්තු කන්දක් හිත දරා සිටි ඇගේ මානසික තත්ත්වය යහපත් අතට ගැනීමට ඇයව මනෝ වෛද්‍ය සායනවලට යොමු කිරීමට පවා සිදුවිය.

ඇගේ කතාවද දරුවන් නැති සොවින් වැලපෙන සෙසු මවුවරුන්ගේ කතාවට සමාන විය. බොහෝ කාලයක් දරුවන් නැති සොවින් තැවුණු ඇය ඇගේ කුසෙහි සිදුවන වෙනස්කම් පිළිගත්තේ රෝගයක් ලෙස නොව බොහෝ සෙනෙහසිනි. දරුවෙක් වැඩෙනවා යැයි සිතමින් කල්ගත කළ ඇගේ මනස පවා එය එලෙසින් පිළිගැනීමට හුරු වී තිබිණි.

උපන් ගමන් දරුවන් මහමඟ කැලෑවල අත හැර යන මවුවරුන්ද, දරුවන් අමතක කර සිටින පියවරුන්ද නිසා අනාථ වන කුඩා සිත් කොපමණද? දරු සුරතල් විඳිනු නොහැකිව සුසුම් හෙලන මවුවරුන් පියවරුන් කෙතරම්ද ? අනවශ්‍යයැයි මඟහැර අමතක කර දැමූ හෙයින් තැන තැන පරව යන කුඩා මල් පොඩිතිද බොහෝය. ඒවා පිපෙන්නේ පිපුණු සැණින් පරව යන්නට නියමිත මඩ ගොහොරුවලය.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා