ආගන්තුක මගියා

 ඡායාරූපය:

ආගන්තුක මගියා

පන්තිය පටන් ගැනීමට ආසන්න වී තිබූ නිසා ඉතා වේගයෙන් නගරය දෙසට වාහනය පදවාගෙන එමින් සිටියෙමි. පාරේ එක් තැනක මිනිසුන් පොදි ගැසී සිටි බැවින් මඳකට වාහනය නතර කළෙමි. රිය අනතුරක් සිදු වී ඇත. කරුණු විචාරීමට කාලයක් නැත. එහෙත් හිතේ ඇති කුහුළ නිසාම වීදුරුව පහත් කළෙමි.

“මොකද වෙලා තියෙන්නේ.”

“මිනිහෙක් හැප්පිලා”

“අර ගිය වෑන් එකේ ඉසිපිරිතාලෙට ගෙනිච්චා. වැඩක් වෙනකක් නෑ.”

“මොකකද හැප්පිලා තියෙන්නේ!?”

“කැබ් එකකට. ඒක නවත්තන්නේවත් නැතුව ගිහිල්ලා. පව් දර කපන මනුස්සයෙක්. දර මිටියත් බැඳන් බයිසිකලේ පැදන් එද්දි කැබ් එක පාලම උඩදි වාහනේකට ඉස්සර කරළා. එකකොට බයිසිකලේ වැදිලා මිනිහා අර ඇළේ .”

“ගොඩක් අමාරුද? ”

“ඔළුව ගලක වැදිලා ගෙනියද්දිත් මොළේ එළියේ තිබුණේ.”

එලෙස සංවාදයේ යෙදී සිටින අතරතුර අනෙක් පස කව්ළුව අසලට පැමිණි අයෙක් වීදුරුවට තට්ටු කරයි. පෙනුමේ හැටියට ඔහු වයස අවුරුදු 15-16ක දරුවෙකි. මම සෙමින් වීදුරුව පහත් කරමි.

“මහඔයට යන්න පුළුවන්ද?”

“මම එච්චර දුරට යන්නේ නෑනේ.”

“කමක් නෑ මඟට හරි. අයියා යන තැනින් මාව දාන්න, මේ වෙලාවට බස් නෑ.”

“හරි , නඟින්න.”

ඉදිරි දොර හැරගනිමින් ඔහු අසුන් ගනී. කල්වේලා ඉක්ම ගොස් ඇති බව යළි සිහිපත් වීමෙන් මම නැවත ත්වරණකය මත යොදන බලය වැඩි කරමි. “අම්මා බලන්න ආවා” මගේ විමසීමකින් තොරව ආගන්තුකයා කතා කරයි. දෙවන වරටත් ඔහු එයම පවසන විට මම තොරතුරු විමසුවෙමි.

“අම්මා මොකද කරන්නේ!?”

“අම්මා මෙහේ ගල් කොරියක ගල් කඩනවා. අපි ආච්චිත්තෙක්ක ඉන්නේ. ආච්චි කිව්වා අම්මා බලන්න ගිහිල්ලා සල්ලි ටිකක් ඉල්ලගෙන එන්න කියලා. ඒත් වැඩ බලන මාමා කිව්වා සල්ලි දෙන්න බෑ කියලා. අම්මට ඇඬුනත්තෙක්ක, ඒත් සල්ලි ලැබුණේ නෑ.”

“ඉස්කෝලෙ යන්නේ නැද්ද?”

“යනවා 9 වසරේ ඉන්නේ.”

“කොයි ඉස්කෝලෙද?”

“මහඔය කැප්පැටිපොළට. ඊයේ රෑ ඉඳලා කෑමක් නෑ. අද උදේ ආච්චි හූසල් කැඳ හදලා දුන්නා. අද එන්නවත් සල්ලි තිබුණෙ නෑ. මහඔය පොලිසියේ මාමලාට කියලා ලොරියක නැඟලයි ආවේ. දැන් අයියා හම්බවුණ නිසා යන්න පුළුවන්.”

“තාත්තා කොහේද ඉන්නේ?”

“තාත්තා නෑ. තාත්තා නැති වුණා ගල් කඩලා හතිය හැදිලා. නැතිවෙද්දි තාත්තට පනස්පහයි. දැන් අම්මටත් හතිය.”

මට මගේ අම්මත් තාත්තත් සිහිවේ. එකල ගිනි අව්වේ මහපොලව සමඟ පොර බැද පැමිණ රාත්‍රියට ඇඟේ වේදනා යන්නට ගාන්නට සිද්ධාලේප කුප්පියක් හෝ මිලදී ගන්න බැරි තරමේ ආර්ථික පීඩනයකින් සිටි නිසාම ලාම්පු පත්තු කරන්නට සමුපකාරයෙන් ගෙන එන භූමිතෙල් අතේ, පයේ, පපුවේ ගාගන්නා තාත්තා සිහිවේ

ගමනාන්තයේදී ආගන්තුක මගියාට කෙටි දේශනයක් දුනිමි.

“ඔයා කියපු කතා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. මම ඒ දේවල් විශ්වාස කරන්නෙත් නෑ. අවිශ්වාස කරන්නෙත් නෑ. මමත් ඔය වයසෙදි ගොඩක් දුක් විඳපු මනුස්සයෙක්. ඒත් මම කාටවත් දුක කියන්න ගිහින් නෑ. දුක හඳුනගෙන ඒක ශක්තියක් කරගෙන ඒ දුකෙන් ගොඩඑන්න මහන්සි වෙන්න. මේ රුපියල් දාහ ආච්චිට දීල ගෙදරට ඕන මොනව හරි ගන්න. මේ රුපියල් දෙසීය ඔයාගේ මඟ වියදමට තියා ගන්න.” මට ස්තූති කරමින් ඔහු බැස ගියේය. පන්තියට පැමිණි පසු මම මේ අපූරු අමුත්තා ගැන, දුක් විඳින කොල්ලා ගැන කතාව කීවේ උඹලට තියෙන ප්‍රශන් මොනවද? දැයි, ළමයින්ගෙන්ද අසමිනි. ගැහුනු ළමෝ විස්සෝප වූහ. පිරිමි ළමුන් අතරින් කසුකුසුවක් මතු විය.

“සර් ඔය වගේ එකෙක් ඉන්නවා මේ පැත්තේ බොරුවට දුක කියලා සල්ලි ඉල්ලනවා.”

“සර්රුත් ඇම කාලා වගේ.”

ඔවුන් කියන හැඩරුව මගේ ආගන්තුකයාට සමානය. අපේ පන්ති සංවිධායක මිතුරාටද මම සිදුවීම විස්තර කළෙමි. ඔහු මගේ මගියා ගැන නියම විස්තරයක් ක‍ළේය. එහි තෝරා ගත් තැන් කිහිපයක් මෙසේය.

“සර් එක දවසක් ඕකා වී මිටියක් විකුණන්න බයිසිකලේ තියලා තල්ලු කරගෙන ඇවිත්, ඒක කිරලා සල්ලිත් අරන් ඒ වී මිටිය ආයෙත් බයිසිකලේ තියාගෙන ගෙදර ගෙනියපු එකෙක්, ඒකත් හොරෙන් ගත්ත එකක්ද දන්නේ නෑ.

“තාත්තා මැරිලා නෑ සර්. තාත්තා උන්ව දාලා ගිහිල්ලා. අම්මා රට ඉන්නේ. සල්ලි තියෙනවා. වයසට නෙවෙයි වැඩ. ගංජා ගහනවා, බොනවා.” පන්තිය අවසන් කර ආපසු ඒමටපිටත් වූවෙමි. මම අවුරුදු 15ක කොලුවෙකුට රැවටී ඇත. තරහද, කනස්සල්ලද, පසුතැවීමද මිශ්‍ර වූ හැඟීමකින් සිත පිරී ඇත. ජංගම දුරකථනය නාද වේ. ඇමතුම අපේ පන්ති සංවිධායකවරයාගෙනි.

“සර් කොහේද ඉන්නේ?”

“මං ආපහු යන් ගමන්”

“මං අර පුද්ගලයව අල්ල ගත්තා පුළුවන් නම් ඉක්මනට අපේ කඩේ ළඟට එන්න.” මම ආපසු ඉගිළුණෙමි. ඒ වන විටත් විසිපහක තිහක පිරිසක් කොලුවා වටකරගෙනය.

“උඹ නිසා අපේ ගමත් චාටර් වෙනවා”

ආරක්ෂක අංශයක රැකියාව කරන්නේ යයි පැවසූ සිවිල් ඇඳුමෙන් සිටි බීමත් ස්වභාවයක් පෙන්වූ තරුණයෙක් කොලුවාට කම්මුල් පහර කිහිපයක් දෙනු දුටු මම ඔහු වළක්වාලීමි.

“සර් මූ පොලිසියට භාර දෙන්න. තව ලොකු වෙන කොට මේකා මොනව කරයිද දන්නෑ.” රැස්ව සිටියවුන් විවිධ අදහස් දක්වයි. මම මීට මැදිහත් වන්නේ කෙසේද? මේ කොල්ලාට බණ කීමෙන් වැඩක් නැත ඒත් එයම සිදු කළෙමි. බිම හැපෙමින්, හඬමින් සිටි ඔහු නිදහස් කළෙමි. අවට සිටින්නවුන්ගේ පරිභව මැද ඔහු පළා ගියේය. පැවති කනස්සලු මානසික ස්වභාවය තවත් තීව්‍ර කරගනිමින් මම ආපසු පැමිණියෙමි. මේ කොල්ලා පසුවන්නේ “ සමයං” ලාගේ කළල අවධියේ යයි මට සිතේ. අරුණ දමිත් උදයංග ලෙස උප්පැන්නයට නම් ලැබූ දරුවාට සමයං නමින් දෙවන උපත දුන් සමාජ ගර්භාශය තුළ තව තවත් එවැනි කළල විකසනය වෙමින් පවතී.

[කමල් නෙත්මිණි]

මාතෘකා