තාත්තා ගැන මතකය

 ඡායාරූපය:

තාත්තා ගැන මතකය

සීතල පවන් රැල් ගලා එයි

කවුළු දොරින්

ඒ පවන් රැල් අතර

මතකයේ පිටු සැලිණි

නව වසක් පිටුපසට

අතීතය විවර වුණි

වේදනාවෙන් මසිත

රහසින්ම වැලපුණා

හද දැවී අළු වුණා

නුඹව සිහිපත් වී යළිත්

නොමියන මතකයේ

ඉරුණු පිටු අතර රැඳි

නුඹේ සිනා මුවැති

හඬවයි තව තවත්

මගේ සිත හද දෙකම

මගේ ලොවේ දිනිඳු වූ

නුඹ මගේ පියාණන්

තිමිර පටල තුළ වෙලි වෙලී

මගේ සිත නුඹ සොයයි

ලබන්නට සහනයක්

ඒ වප් මහේ රුදුරු හෝරාවේ

හිරු පැහැර ගත්තා ඔවුන්

මුසාවෙන් මගේ සිත රවටලා

පීදෙන්න වෙර දැරූ

මගෙ පැතුම් මල් පොකුරු

වැලපිලා වේදනාවෙන් මිලින විය ශෝකයෙන්

පියාණනි නුඹ ලොවෙන්

වෙන් කළා සදහටම

හඬන්නට කඳුළු බිඳු

නැති නමුත් නෙත් දෙකේ

වේදනාවෙන් මහද

අඬ අඬා සදහටම

මිලින වූ හිරුමඬල

යළි නොපායන නමුත්

අමරණීයයි නුඹෙ සුවඳ

සත් වසක් මා නුඹෙන්

ඒ ලැබූ පිතු සෙනෙහෙ

පාරවයි මගේ හිත ඉකි ගසා හඬවමින්

සදාකල් නොමියනා

මතකයයි නුඹ

හඬන මේ මඳ පවන

මට ගෙනේ

නුඹෙ සුවඳ

අතීතයෙ පිටු අතර

පැන යමින්

පෙනේ මට නුඹ

සිසිර සුළඟේ චංචල වූ

කඳුළු සයුරේ පෙඟී දිය වී

නොමැකෙන ලෙස නුඹේ රුව

ඇත සිත්තම්ව

මගේ සිත හද පුරා

නොමියෙනා මතකය

නුඹය මා සදාදර තාත්තේ

මේ කවිය රචනා කර ඇත්තේ සුපුන් චාගා විජේවීර විසිනි. ඇය මෙය නිර්මාණය කරද්දී ත්‍රිකුණාමලය තිස්ස මහා විදුහලේ 11 වසර සිසුවියකි. මේ කවිය ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාඨශාලාන්තර සාහිත්‍ය තරගයේ කාව්‍ය අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා තිබිණ.

කවිය අප මුලින්ම දුටුවේ 1992 වසරේ ලක්දිව පුවත්පත් කාර්යාලයේදීය. එහි සම කර්තෘ සුනිල් මාධව තැපෑලෙන් ලැබුණු කවිය කියවා කඳුළු සැළූ අයුරු අමතක නොවේ. මාළඟ ඇත්තේ එහි ඡායා පිටපතකි.

මෙය නැවත පළ කිරීමේ නිමිත්ත වූයේ රෝහණ විජේවීරගේ චරිතය ප්‍රස්තුත කරගත් "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටිය නැරඹීමය. එයින් සසල වූ හදවතින් අතීත සැමරුම් අතපත ගාන අතර කවිය හමු විය.

විජේවීර ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ බිරිය සහ දරුවන්ට රැකවරණ ලබා දුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. එය එසේ නොකළේ නම් ඔවුන්ගේ ජීවිත අනතුරට ලක් වීමේ අනතුරක්ද විය. එසේ විය හැකිව තිබුණේ ජේවීපී සන්නද්ධ ව්‍යාපාරයේ ගොදුරු බවට පත් වූ පාර්ශ්වවල ඥාතීන් හා හිතවතුන්ගෙනි.නො එසේ නම් අතුරු හමුදා කල්ලි අතිනි.

දීර්ඝ කලක් ගත වූ පසුවද චිත්‍රාංගනී තම දරුවන් සමඟ නාවික හමුදා බාරයෙන් මිදී නිදහස් දිවියක් ගත කිරීමට අකමැත්ත පළ කළ බව දැනගන්නට ලැබුණේ ඇගේ සමිප ඥාතිවරියක වූ සුසිලා දොඩන්ගොඩගෙනි. ජනතා විමුක්ති පෙරමුණ මේ දරු පවුලට නිදහස් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් කළාද යන්නද සැක සහිතය. කෙසේ නමුත් අතීතය හාරා අවුස්සා චිත්‍රාංගනී සහ ඇගේ දරුවන් අසීරුතාවට ලක් කිරීමට මම නොකැමැත්තෙමි.

89 දියත් වූ බිහිසුණු සන්නද්ධ ව්‍යාපාරයෙහි ප්‍රතිපල ලෙස විජේවීර ඇතුළු බොහෝ පියවරුන් මිය යෑම නිසා අසරණ බවට පත්වූ දරුවන්ගේ අනුවේදනීය කතා රැසකට සවන් දී ඇත්තෙමි. ප්‍රභාකරන්ගේ සන්නද්ධ ව්‍යාපාරය නිසා අසරණ වූ දෙමළ හා සිංහල දරුවන්ගේ කතා අපමණවත් අසා ඇත්තෙමි.

මේ සියලු දෙනාටම පිය සෙනෙහස අහිමි විය. ඔවුන්ට එය මහා වේදනාවකි. සුපුන් චාගා ඇතුළු විජේවීරගේ දරුවන්ට ලැබුණු ජීවිත දානය ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ට නොලැබීම ගැන මම අදත් දුක්වෙමි. බංකරයක විස්කෝතු කමින් සිටින ඔහුගේ ඡායාරූපයත් පුපුවේ සිදුරු සහිතව වැටී සිටින ඡායාරූපයත් දකින මට මහත් සංවේගයක් ඇති වේ.

"තෝ සිංහලයෙක්ද?"

මෙවැනි දෑ ලියනු දකින ඇතැම්හු අසති.

"මම පියෙක්. දරුදුක දැනෙන"

මම ඔවුන්ට කියමි.

මාතෘකා