බලහත්කාරකම අවියක් කරගත් බාලයන්ගේ මාධ්‍ය

 ඡායාරූපය:

බලහත්කාරකම අවියක් කරගත් බාලයන්ගේ මාධ්‍ය

[කපිල එම්. ගමගේ]

යළි යළිත් එකම දේ ලියන්නට සිදුවීම කියන්නේම අපේ සමාජයේම අවුලක්. ″කීව නාහන එකා උඩින් ගියත් එකයි පහළින් ගියත් එකයි″ කියා නිහඬ විය නොහැක්කේ ඒ කීව නාහන බාලයන් විසින් කරන දේ සමස්ත සමාජයම රෝගී කරන කාරණයක් බවට පත්වන නිසා. පසුගිය කාලයේ එක් රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට කැඳවූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිය අදහස් දැක්වීම තුළ මාධ්‍ය නාළිකාවන් මාධ්‍ය භාවිතා කරන වැරදි ස්වභාවය ගැන අදහස් මතු කළා. එහිදී කිපුණු මෙහෙයවන්නන් මන්ත්‍රීවරයාට තර්ජනාත්මකව වාග් ප්‍රහාරයක් එල්ල කළා.

″අපි ඔබ ගැනත් තොරතුරු හෙළිකරන්නම්. ඔබ අපෙන් සහාය ඉල්ලූ ආකාරය හෙළිකරන්නම්″ ආදී වශයෙන් ඔහුව මානසිකව අපහසුතාවට පත් කළේ බාල මාධ්‍යකරුවා යනු ගිනි අවියක් අත දරාගත් පාතාල සාමාජිකයකුගෙන් වෙනස් නොවන බව අපට සනාථ කරමින්. මෙවැනි තර්ජනාත්මක හැසිරීම් යළි යළිත් මාධ්‍යකරුවන් වෙතින් දකින්නේ ඇයි? එක්කෝ ඔවුන් මාධ්‍ය පිළිබඳ කිසිදු හැදෑරීමක් නැති කියවන්නන් නිසා හා ඔවුන් මාධ්‍ය ප්‍රතිරූපයක් ලෙස සමාජය විසින් අධිනිශ්චය කර ඇති නිසා. මේ තර්ජනාත්මක මාධ්‍ය භාවිතාව සමාජයක් ලෙස අප පිළිගත යුතුද? එසේ නැතිනම් අපි ග්‍රාහකයන් ලෙසින් දැනුවත්ව මේ මාධ්‍ය භාවිතාව පෙරළා ප්‍රශ්න කළ යුතුද? එසේත් නැත්නම් මෙවැනි මාධ්‍ය ප්‍රතික්ෂේප කළ යුතුද? නැත්නම් මේ මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ මාධ්‍ය බදා වැළඳගත යුතුද? යන්න මේ මොහොතේ ග්‍රාහක අප ඉදිරියේ ඇති වාරණයන්.

මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පසුගිය දවසක ඔහුගේ මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබුණා. ″කෑ ගසන අතපය විසිකරන මාධ්‍යවේදියෝ පෙන්නුම් කරන්නේ මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතියද? නැත්නම් ‘මං පොර’ කියා පෙන්වීමට ඇති ආසාව ද?″ අපගේ මූලික අදහස නම් මාධ්‍යවේදීන් කියා කොටසක් ලංකාවේ මාධ්‍ය තුළ පොදුවේ නොමැති බව. ලංකාවේ ඉන්නේ මාධ්‍ය කම්කරුවන් පමණයි. සිය ස්වාමියාගේ ඕනෑ එපාකම් මත සිය පෑන හා හඬ අවභාවිතා කරමින් මාසිකව වැටුප් ලබන්නන් පමණයි. මේ අය බහුතරය තමන් කරන රැකියාවේ ඇති සමාජ වගකීම හා අරමුණ පවා නිසියාකාරව නොදත්තන් හෝ දැනගෙන අමතක කර දැමූවන්. තමන් විසින්ම තමන් අධිනිශ්චය කරගත් බාලයන්. මාධ්‍යකරුවෙක් තමන්ගේ භාවිතාවේදී පළමුව සිතිය යුත්තේ ග්‍රාහකයා ගැන. ලියන කියන දෙයින් ග්‍රාහකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය කිනම් ආකාරයකින් තහවුරු වෙනවාද? ග්‍රාහකයා තොරතුරු මඟින් බලාපොරොත්තු වෙන දේ පූරණය කිරීමක් සිදුවෙනවාද යන්න ගැන. සරල වැටහීම අනුව නම් එය සිදුවන්නේ නැහැ. තවදුරටත් මෙවැනි තර්ජනාත්මක මාධ්‍ය භාවිතාවන් විසින් සිදුකරන්නේ ග්‍රාහකයන් මෝඩයන් බවට පත් කිරීම. එසේ කරන්නේම දැනුවත්ව. එයට හේතුව තමයි එවැනි ග්‍රාහක සමාජයක් තුළ පමණයි ඔවුන්ගේ පැවැත්ම ස්ථිර වන්නේ වීම.

එක් අතකට මාධ්‍ය සාකච්ඡාවන්ට පැමිනෙන්නන් මාධ්‍යකරුවන්ගේ මෙවැනි තර්ජන හමුවේ නිහඬව සිටිය යුතු නැහැ. කළ යුත්තේ පෙරළා ඔවුන් ප්‍රශ්න කොට ග්‍රාහකයාට හෙළිදරව් කිරීම. උක්ත උපුටාගත් උදාහරණයේදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා මෙය යම් පමණකට මෙය සිදු කළා. ඔහු එක වෙලාවක අහනවා ″මේක තර්ජනයක්ද″ කියා. සහභාගිවන්නන් ඇත්තෙන්ම එය කළයුතු වෙනවා. එවිට අඩුම තරමින් ග්‍රාහකයාට තමන් වීරයන් යැයි අධිනිශ්චය කර සිටින මෙවැනි මාධ්‍ය බාලයන්ගේ ඇඳිවත කොණකින් නිරාවරණය වී ඔවුන්ගේ යට ඇඳුමේ කිළිටි ස්වරූපය දකින්න පුළුවන් වෙනවා.

විශේෂයෙන් වර්තමාන සංහතික මාධ්‍යයන්ගේ මාධ්‍ය භාවිතාවේ අපට දැක ගතහැකි තවත් අගතිගාමී මාධ්‍ය භාවිතාවක් වන්නේ තොරතුරු වාර්තා කිරීම්වලදී පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය, ඔවුන්ගේ ජාතිය, කුලය, ආගම, ප්‍රදේශය වැනි දේ හුවා දක්වමින් වාර්තා කිරීම. මෙය වඩාත් සිදුවන්නේ සමාජයේ සුළුතරය නියෝජනය කරන කණ්ඩායම්වලට එරෙහිව. මෙය මාධ්‍ය වාර්තාකරණයේ වැඩවසම් ස්වරූපය විනා අනෙකක් වෙන්නේ නෑ. පසුගිය දවසක පුවත් පතක ක්‍රීඩා පිටුවකට දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳ වාර්තාවක් ලියන මාධ්‍යකරුවෙක් එය ලියන්නේම ප්‍රබන්ධනාත්මක භාෂාවක් භාවිතා කරමින්. ඔහු හෝ ඇය සිය ප්‍රබන්ධනාත්මක වාර්තාවේ එක් තැනක මෙහෙම ලියනවා. ″සත්කාරකයන්ගේ ප්‍රබල පිතිකරුවකු වූ රැවුල්කාර හසීම් අම්ලාට පකිස්තාන විනිසුරුවරයාගේ සහායෙන් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව නොදුන්...″ ආදී වශයෙන්. ඇයි ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව රැවුල්කාර හා පකිස්තාන යන විශේෂණ පද දෙක භාවිතා කරන්නේ? එයින් ජනනය වන අරුත වන්නේ කුමක්ද? රැවුල්කාර හසීම් අම්ලා යනුවෙන් කී සැනින් ග්‍රාහකයාගේ මනසේ නියෝජනය වන්නේ මුස්ලිම් ජාතිකයෙක්. පකිස්ථාන විනිසුරු කී සැනින් යළි ග්‍රාහක මනසේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ මුසල්මානුවා මුසල්මානුවාට සුවිශේෂ සහායක් දැක්වුවා කියන කාරණය. නමුත් එතැන සිටියේ එංගලන්ත විනිසුරු රිචඩ් කෙට්ල්බොරෝ විනිසුරුවා නම් ඔහු එසේ ලියාවිද? මෙවැනි දේ ඇතැම් විට සිදුවන්නේ අවිඥානිකව වෙන්න පුළුවන්. නමුත් එය එසේ සිදුවන්නේ දීර්ඝ කාලයක් පුරා සමාජය විසින් ජාතිය සම්බන්ධව අප තත්වාරෝපණය කර තිබීම නිසා.

නමුත් මාධ්‍යකරුවාට එය නිදහසට කාරණාවක් වෙන්නට බැහැ. මොකද ඔහු නියෝජනය කරන්නේ සියලු ජාතීන්ගෙන්, කුලවලින්, භාෂාවන්ගෙන් සැදුම්ලත් පොදු ග්‍රාහක සමාජයක් වන නිසා. එවැනි සමාජයක මාධ්‍ය වෙනස් ලෙස සැළකීමක් කළහොත් එය සාහසික ක්‍රියාවක්.

මාතෘකා