නොපිදිය යුත්තන් පිදීම

 ඡායාරූපය:

නොපිදිය යුත්තන් පිදීම

“පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං.” යනුවෙන් මංගල සූත්‍රයෙහි සඳහන් වේ. පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක් ලෙස එහිදී බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සමාජයක ජීවත් වන සියලු පුද්ගලයන් දැන උගත් වන්නේ නැත. කරුණු නිවැරදිව තේරුම් කර ගැනීමට නොහැකි බුද්ධිහීන පුද්ගලයෝද සමාජයේ ජීවත් වෙති. සමාජය තුළ එබඳු බුද්ධිහීන අයටද අර්බුදයකින් තොරව පැවතිය හැකි ක්‍රමවේදයක් සැකසී තිබීම වැදගත්ම සාධකයකි. එබඳු සමාජ පරිණාමයක් සඳහා අවැසි දිසානතිය නිශ්චය කර ගැනීමෙහිලා උගත් බුද්ධිමත් ශීලාචාර පුද්ගලයන්ගේ මඟපෙන්වීම අත්‍යවශ්‍ය කරුණකි. දියුණු සෑම සමාජයකම එම තත්ත්වය ආරක්ෂා වී ඇත. සමාජ ප්‍රගමනයට මඟපෙන්වා දෙන එබඳු නැණවත් පුද්ගන්ද පිදිය යුත්තන් ලෙස පිළිගැනේ.

සමාජයේ ශීලාචාරභාවය පිණිස බුද්ධිමතුන්ගේ මඟපෙන්වීම අවැසිම සාධකයක් බව ඒ අනුව මොනවට ප්‍රකට වේ. එසේම දියුණු ජන සමාජයකදී සිදුවන වැදගත් කරුණක් ඇත. ඒ තම සමාජයේම වේවා අන් සමාජයක වේවා ජීවත් වූ හෝ ජීවත් වන දියුණු මිනිසුන්ගේ ඉගැන්වීම් පිළිබඳ අවධානය යොමු කර භාවිතයට ගැනීමයි.

සොක්‍රටීස්, ප්ලේටෝ, ජේසුස් වහන්සේ වැනි උදාර පුද්ගලයන්ගේ ඉගැන්වීම්ද එලෙසම භාවිතයට ගත් නරපතියන් ඉතිහාසයේදී හමුවේ. මෙහි සඳහන් කළ දියුණු දාර්ශනිකයන්ට අතිරේකව සමාජයේ ඒ ඒ කාලවල වාසය කරන සබුද්ධික පුද්ගලයන්ට කන්දීමද සමාජ ප්‍රගමනයට තීරණාත්මක ලෙස බලපාන කරුණකි.

ඉහත තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී නූතන ලාංකික සමාජය පිදිය යුත්තන් නොපිදූ සමාජයක් ලෙස පහසුවෙන්ම හඳුනාගත හැකිය. මෑත කාලීන ඉතිහාසය දෙස බැලීමේදී ලාංකික සමාජය පිදිය යුත්තන් ලෙස සලකා ඇත්තේ ජාතිය, ආගම විෂයයෙහි වැඩි බරක් තබා ක්‍රියාකළ පුද්ගලයන්ට පමණි. ජාති, ආගම්, කුල භේද ඉක්මවා මානව දියුණුව වෙනුවෙන් පෙනී සිටි උදාර පුද්ගලයෙන් විශාල ප්‍රමාණයක් ලංකා සමාජය අතහැර දමා ඇත.

එබඳු පුද්ගල‍ෙන් අතහැර සමාජයකට ඉදිරියට යා නොහැකි බව වර්තමානයේදී ඔප්පු වී ඇත. එහෙත් එම තත්ත්වය පිළිබඳ ලාංකික සමාජය කම්පා වන බවක් වර්තමානයේද දක්නට නැත. එයින් ප්‍රකට වන්නේ ‘පිදිය යුත්තන් පුදන්න.’ යන බුදු වදන ලංකා සමාජය තවමත් නොපිළිගන්නා බවම නොවේද?

ආනන්ද කුමාරස්වාමි පසුගිය සියවසේ ලංකාව බිහිකළ විශිෂ්ටතම බුද්ධිමතා බව පිළිගැනීමයි. එතුමාණෝ විශිෂ්ට පොත් සහ ලේඛන පන්සියයකට ආසන්න ප්‍රමාණයක් රචනා කළහ. ඒ අතරෙහි ලංකාවේ ඉපැරණි කලා ශිල්ප, බෞද්ධ දර්ශනය පිළිබඳ ලියැවුණු පොත පත රටට විශ්ව කීර්තියක් අත්කර දීමට හේතු වූ බව සඳහන් කළ යුතුය. සෑම මහාද්වීපයකම සමාජ තතු සහ දාර්ශනික චින්තාවන් පිළිබඳව සොයා බැලූ එතුමාණෝ ඉන්දු නිම්නය පිළිබඳව, එහි සමාජ ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වූහ. එහෙත් ජීවත්ව සිටියදී ලංකාව ඔවුනට නිසි ගෞරව පුදකර නැත. මෙරටෙහි ඔවුන් රඳවා එම බුද්ධි මහිමයේ රැස් මාලාවෙන් ප්‍රබෝධයක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් රට තුළ සැකසී නැත. ඔවුන්ට රට අතහැර යෑමට අවැසි වැඩපිළිවෙළක් පමණක්ම සැකසී තිබී ඇත.

ලංකාව චිත්‍ර කලාව විෂයෙහි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන රටකි. සීගිරි චිත්‍ර, පොළොන්නරු තිවංක පිළිමගෙයි චිත්‍ර ඒ බව මොනවට පෙන්වා දෙයි. එම සම්භාව්‍ය චිත්‍ර කලාව ඉදිරියට ගෙන යා හැකිව තිබූ අති විශිෂ්ට ශිල්පියකු ලෙස පසුගිය සියවසේ ලක්දිව ජීවත් වූ ඩේවිඩ් ප්ලේන්ටර් ශ්‍රීමතාණන් සඳහන් කළ හැකිය. ඔහුගේ කලා දිවිය අතරමඟ නතර කිරීමට සිදු වූයේත්, ඩේවිඩ් ප්ලේන්ටර් චිත්‍ර කලාව වෙනුවට ලංකාවේදී ගොවිතැන තෝරා ගත්තේ බුද්ධිමතුන්ට ගරු කිරීම බහුතර ලාංකිකයා ප්‍රතික්ෂේප කළ බැවිණි.

පසුගිය සියවස තුළ ථේරවාදී බුදුසමය ලෝකයට ගෙනගිය ලාංකික භික්ෂුව වල්පොළ රාහුල හිමියන් බව අවිවාදිත කරුණකි. තව කොතෙකුත් භික්ෂුන් වහන්සේ ධර්ම ප්‍රචාර සඳහා ලෝකයට වැඩම කළද විදේශිකයන් විෂයෙහි වැඩිපුරම බලපෑවේ රාහුල හිමියන්ය. උන්වහන්සේ පැරීසියේ සෝර්බෝන් සරසවියේ කීර්තිමත් පර්යේෂකයකුද, ආචාර්යවරයකුද වූහ. රාහුල හිමියන් විසින් රචනා කරන ලද “බුදුන් වදාළ ධර්මය” කෘතිය භාෂා පහළොවකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. ලාංකික ගිහි පැවිදි සමාජය තුළ උන්වහන්සේට නිසි ගෞරවයක් නොතිබිණ. උන්වහන්සේ ගිය මඟ ගැනීමට කිසිවකුවත් ඉදිරිපත් නොවූයේ පිදිය යුත්තන් පිදීමට ඇති මැළි බව නිසාම නොවේද?

ලාංකික නර්තන කලාව ලෝකයට ගෙනගිය අතිවිශිෂ්ටයකු ලෙස නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ දැක්විය හැකිය. ඔහු විසි වැනි සියවසේ වඩාත් ප්‍රසිද්ධියට පත් නර්තන ශිල්පියෙකි. 1948 නිදහස් උලෙළේදී හෙතෙම කේවල නැටුම් සංදර්ශනයක්ද ඉදිරිපත් කළේය. රටවල් පනහකට ආසන්නව සංචාරය කළ ගුණයා ගුරුන්නාන්සේට රට තුළ නිසි පිළිගැනීමක් නොතිබිණි. ඔහු ඔසවා තැබූ තැන සිට නර්තන කලාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් නොවිණ.

මෙහි සඳහන් කළේ කීප දෙනකු පමණි. ආර්ථික විශේෂඥයන්, ඉංජිනේරුවන්, අධ්‍යාපන ඇදුරන් කෙතරම් ප්‍රමාණයක් නිශ්ක්‍රිය කොට තිබුණේද? සුචරිත ගම්ලත් ගුරු උතුමන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉවත් කර තැබීම දැරිය නොහැකි ඛේදවාචකයක් විය. විමලසුරේන්ද්‍ර වැනි ඉංජිනේරුවන්ගෙන් නිසි ඵල නෙළා ගත්තේද, සුනිල් ශාන්ත වැනි මඟහැර දැමුණු විශිෂ්ට කලාකරුවන්ගේ සංඛ්‍යාවද ගිණිය නොහැක.

ලංකාව පිදිය යුත්තන් නොපුදා අත්හැර දමනවාට අතිරේකව ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි හිස් පුද්ගලයන් මතුකර හුවා දක්වා ඇත. ලෝකයේ පවතින දියුණු හර පද්ධතීන් හඳුනා ගන්නා උසස් පුද්ගලයන් අධ්‍යාපනය මගින්, කලා නිර්මාණයක් මගින්, තාක්ෂණික මෙවලමක් මගින් සමාජයේ අන් අයටද ඒවා ඥානනය කරයි. එබඳු පුද්ගලයන් පිදිය යුත්තන් ලෙසට සලකා රැක බලා ගත යුතුය. ඔවුන් විෂයෙහි දක්වන උදාරතම උපහාරය එම දැනුම අනෙකා උකහා ගැනීමයි. එම දැනුම නොසලකා හැරීම ඔවුන් විෂයෙහි දක්වන දරුණුතම ප්‍රහාරයයි. මෙම තත්ත්වය ලාංකිකයා තේරුම් ගන්නාතාක් සමාජ පරිහානියද පවතිනු ඇත. ලාංකික සමාජය එය තේරුම් ගන්නාතුරු ඉදිරි ගමනක් නැත.

මාතෘකා