කැඳ බොනවද ගුටි කනවද?

 ඡායාරූපය:

කැඳ බොනවද ගුටි කනවද?

ඉස්සර අපේ ගම්වල ඇත්තො බඩසයින් මිදෙන්ඩ තමනුත් කාලා දරුපොඩිත්තොත් කව්වාන යාන්තම් බැරි අහේනිකම්වලින් මිදිච්චිකොට පිහිටවුණු මහපොළවට ගහට කොළට දෙයියන්ට වාගෙ සැලකුවා. ඒ කාලෙ උන්දැලගෙන් සැලකුම් ලබාපු බවභෝග ජාති අද හොයහොයා කන්ඩ කියලා දොස්තරගොල්ලත් කියන්නෙ එව්වයෙ ගුණානිශංස උඩ ආකාසේ දාන ගමන්. පහුගිය දොහක ඕලු මෙනේරි බත් කැවිල්ල ලිව්වාම ඒ සාවියේම මහනාන්නේරිය ඉස්කෝලෙන් ඕලු බත් සංග්‍රහ විඳල ආපු ජයසිරියි, තිඹිරියාගම බණ්ඩයියයි ඒ ගැන වරුණෙ කිව්වා. තරංගා රණසිංහ කථිකාචාර්ය නෝනණ්ඩිත් කතා කරලා මේ ලිවිල්ලයි ඉවිල්ලයි අපේ උන්දැලාගෙ කැවිල්ලයි වරුණා කරව්වා. අනේ ඉතිං අපේ කටට බඩට හුරු එව්වා කොටාබාන්නා වාගේම අපි මොන ඉනිමංවල නැගල හිටියත් දිවට හුරු කතාලතාවත් අමතක කරන්ඩ පුළුවනෑ.

අද ඩිංගිත්තක් කියන්ඩ හිතුවා දුම්බර කෑමක වරුණාවක්. ඒ ටික කියන්ඩ ඉස්සර කොයියම් හේතුවක් හින්දද මංදන්නෙ නෑ කැටේපොල දයාසේන මාමාගෙ ගොඩ හොද්දෙ කතාව මතක් වුණා. කිරි හොද්දයි ගොඩ හොද්දයි ගැන වෙනිං දවසක කියන්ඩ ඉඩතිබාගත්තම අපේ ගොඩ හොද්ද ගැන කිව්වෑකි. ඒත් දුම්බරට ආව එකේ උන්දැලගෙ ගොඩ හොද්ද ගැන කියලා ඉන්නං. අපේ ගොඩ හොද්දට ගොඩ හොද්ද කිව්වට ඒක හදන්නෙ ගොඩ නෙවෙයි. හැබැයි දුම්බර ගොඩ හොද්ද ලිග්ගින්දරක තියන්නෙ නැති ගොඩ හොද්දක්ම තමයි ඕං. කමත් වැඩ කරන කාලෙට වැඩකරන උන්දැලට කන්ඩ හදන අනේක ජාති අතරෙ පැලෙන්ඩ පැහිච්ච පත කොසේකුත් තම්බගන්නවා. ඒක කන්ඩ තමයි ලිග්ගින්දරේ තියන්නෙ නැති ගොඩ හොද්ද හදාගන්නෙ. මෙහෙව් එකකට උයාගන්නවා කියන්ඩත් බැරුං ඇති ඕං. මෙහෙමයි හදන්නේ. නැවුං මැටි ඇතිළියකට පොල්කිරි දාගන්නවා කන්ඩ ඉන්න උන්දැලා ගාණයි තම්බපු කොසේ දිග පළෝලෙයි ගැන හිතලා. මේකට එක්කාසු කරනවා ලියාපු අමුමිරිස්, දුරු ඩිංගිත්තක්, රටබටු ගෙඩියක් දෙකක් පෙති ගහගෙන තව ලුණු කැට ටිකක්, ලියාගත්ත රතුලූනු ගෙඩි කීපයක් හෙම. ඊටපස්සෙ පදමට දෙහි ඇඹුල් මිරිකලා පොල්කටු හැන්දක් හරි පත්ලියක් හරි ඇන්න ඇවිත් යස පදමට මුහුවෙලා ඇතිලියෙම රත්වෙන්න කාල්ගාන එකයි ඇත්තෙ. මේක ළිප තියන්නෙ නෑ කියලා කිව්ව නෙව. ඕං උන්දැලයි ගොඩ හොද්ද.

ඉතිං අද කියන්ඩම හිතාන හිටිය දුම්බර කැවිල්ල තමයි හල් කැවිල්ල. මං නම් කෑවෙ හල්ගුටි. ඒ දුම්බර කැටේපොල මැණිකෙ නැන්දලා ගෙදරින්. මේ ගම්තුලාන අයිති අයගම කොට්ඨාසෙට. මුත්තප්පේ ඉවිල්ල ගැන කියන්ඩ කළිං දුක්ගැනවිල්ලකුත් තියෙනවා මේ ගමං උනත් කියන්ඩ වටින. දුම්බරයි කැටේපොලයි යායවල මිනිස්සුන්ට තමුන් පරම්පරා ගාණක් වැටිලා ඉන්න ඉඩම්වලට ඔප්පුතිරප්පු නැතිලු. මේ ඉඩං පන්සලෙයි කියන්නෙ. මටනම් හිතා ගන්ඩවත් බෑ මොන අටම්පහුරකටද පන්සලකට ඔයහැටි ඉඩම් කියලා බුදුමුත්තා තියෙන හැම සබ්බෙම අනුන්ට පුදන්ඩ තරම් උත්තමයෙක් වෙච්චකොට. ඕං හිත උණුවෙනකොට ආව කාරණාවත් අමතක වෙනවා තව ඩිංගෙන්. මැණිකෙ නැන්දා කියාපු හැටියට හල්වලින් හදන්ඩ පුලුවන් ගුටි විතරක් නෙවෙයි. හල් කැවුම්, හල් හැලප, හල් රොටී, හල් පිට්ටු, හල් කැඳ, හල් කිරියා, හල් පිටි මුහු කරලා කිරිබත් පවා උයන්ඩ පුළුවන්ලු.

හල් කැවිල්ලට යනවානම් කළු ගං දෑල දිගේ යන්ඩ ඕන. අයගම කිරිඇල්ල විතරක් නෙවෙයි හොරණ පළාතත් හල් කන්ඩ මනාප නම් යන්ඩ ඕන පැති පළාත්. අවුරුද්ද පුරාම හල් ගෙඩි හැදෙන්නෙ නෑ. උස පත හල්ගස්වල ගෙඩි මෝරලා වැටෙන කාලෙට වැස්සත් ඩිංගක් තියෙනවා. සමහරවිට වැස්ස ඩිංගක් උඩ ගිහිල්ලා ගංවතුරකුත් එනවලු. ඒ වතුරෙ වැටිච්ච හල්ගෙඩි පාවෙලා එනකොට ඒ ගංවතුරට කිව්වෙ හල්පාවෙන වතුර නැත්තං හල්වතුර කියලයි හරිම අහිංසක ගැමියෙක් වෙච්ච ජයසේන මාමා කිව්වෙ. ඔය ගම් පළාත්වල හොඳට හයිහත්තිය තියෙන නාහෙට අහන්නෙ නැති කොලු නාම්බන්ට කිව්වයි කියන්නෙ හල් කාපු ඌරා වාගෙ කියලලු. ඌරත් මනාපයි හල් කන්ඩ. වැඩේ ඒ මනාපෙ නෙමෙයි හල් කාපු ඌරෙක් අල්ලනවානම් බොරුලු. මොකද හල් කැවිල්ලෙන් ඒකට එනවයි කියනවා පුදුමාකාර ජවබලයක්.

හල්ගහ දැඩිමේනි වෙච්චම අඩි සීයක් හමාරක් උහ යන වෘක්ෂ රාජයෙක්. එව්වා අයිති හොර කුලේට. ඒ හින්දා ගෙඩිය වටේට කොහු ගතියක් තියෙන පොල්කට්ට වාගෙ කවචයකින් මදේ වහං ඉන්නෙ. හොර කුලේ ඇත්තන්නෙ හැටියක්නෙ ඒ. තමුන්නේ ගස්දරු පරම්පරාව බෝ කරගන්ඩ මොකක් නුමුත් උපක්‍රමයක් එපායැ. ඉතිං ඇළදොල නැත්තං ගඟ අයිනෙ තියෙන හල් ගහක ගෙඩි වතුරට වැටිච්චම එහෙම නැත්නම් ගොඩ හිටගත්ත ගහක ගෙඩි ගංවතුරක් ආවම වතුරෙ පාවෙලා යනවා පොළයක් යන්නැහේ. එහෙම ගිහිං අලුත් ඉසව්වකට ආවම පැලවෙන්න හිතාන.

ඕං ඉතිං වෙච්ච දේ. වටපිටි එළිකරාන ආවම ඉවිල්ල ගැන කියන්ඩ වෙන්නෙ ලබන සුමානේ. හා හෙනං බලාන ඉන්ඩකෝ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා