බැංකුවෙන් ණයක්

 ඡායාරූපය:

බැංකුවෙන් ණයක්

පාං රැයෙන් කුකුලත් කරේ තියාගෙනම අබරං සරම් කඩමාල්ලත් එක අතකින් ඉහළට ඔසවාගෙන කඩමණ්ඩිය පැත්තට ඇදුණේ කහට උගුරක් බොන්නටය.

“අබරං, මේ උදෑහැනැක්කේම කොහේ යනවැයි. සිල්ගන්ට වෙන්ටැයි” කීවේ මාතර පැත්තේ හාදයකි.

“නෑ, මං මේ බැංකුව පැත්තේ යනවා ණයක් ගන්ට” අබරං කීවේ කටේ රැල් බුරුල් හරිමින්ය.

“මොකෝ අබරං, නට්ටටම හිඳුනයැ? ණය තුරස් වැටෙන්ටයි එහෙනම් කල්පනාව?” මාතර පැත්තේ හාදයා කිව්වේ ඔලුක්කුවට මෙන්ය.

“නට්ටං වෙන්ට ණය තුරස් වැටෙනවයැ. මට යාළුවෙක් දුන්නු ඉඩමක් තියෙනවා. උකසට තියලා ණයක් ගන්ට ඕනේ. පොඩි තේ කඩ කෑල්ලක් දාගන්ට කියලා” අබරං යමින් ගමන්ම කියාගෙන ගියේ හාදයාගෙන් මඟහැර යන්න හිතාගෙනය.

“ඒක පංකාදු අදහස ආයුබෝවන්ඩ. දැං බැංකුවලින් පරණ ඉඩං කෑලිවලට හෝ හෝ ගාලා ණය දෙනවා කියන්නේ. මාසික වාරිකේ ලක්ෂ හත අටක් වගේ පොඩි ගාණකට දාගන්ඩ පුළුවන්ලු” මාතර පැත්තේ හාදයා කී දෙයින් අබරංට කේන්තිය ඉහවහා ගියේය.

“මේ මයෙ කටෙන් කුණුහබ්බ නාහ හිටපං.” අබරං කීවේය.

“ඕං ඕං ඉතිං අබරංටත් කේන්ති යනවනේ. ඕනෙ නම් කඩමණ්ඩියට ගිහිං බලන්ඩ එපායැ බැංකුවෙන් ණයක් ගන්ඩ ගං තුලානේ ඔක්කොම යන හැටි” අබරංට මාතර පැත්තේ හාදයා ගැන ඇතිවුණේ කුකුසකි.

“හරි මමම ගිහිං බලාගන්නම්කෝ” කියා හිතාගෙන කඩමණ්ඩිය පැත්තට පියවර ඉක්මන් කළේය. අබරං කඩමණ්ඩියට වැදී සිලෝ හාමිනේගෙන් තේ උගුරක් ඕඩර් කළේය. තේ එක හැදෙනකම් හුලං ඉස්කෝතුවක් ගෙන ලොඹු කටේ ඔබා ගත්තේය. මේං බොලේ පෙළපාළියක්. කඩමණ්ඩිය ඉදිරියේ වූ සිව්මංසලට එක පැත්තකින් බෝඩ් ලෑලි ඔසවාගත් පිරිසකි. ගෑනු උදවියගේ අතේ ලණුවලින් සාදා ගත් තොණ්ඩුය. කොල්ලෝ කුරුට්ටෝ අතේ කඩුය. තලතුනා පිරිමින්ගේ අතේ බෝඩ් කෑලිය.

“මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මරණු.”

“එපා එපා, අපට එපා. කුඩු රජාල අපට එපා”

“මෙන්න කඩුව, තියණු බෙල්ල” යනුවෙන් එක එක බෝඩ්වල ලියා තිබේ. ඔවුහු පෙළපාළියෙන්ම සිව්මංසල මැදට පැමිණ උද්ඝෝෂණ කරන්නට වූහ. අබරංට කටට ඔබාගත් හුලං ඉස්කෝතුව හපා, බඩට දමාගන්නත් අමතක විය. අනෙක් පාරෙන් තවත් පිරිසක් මතුවිය.

“දේශ හිතෛශී කලාකරුවන්ගේ සංගමය” යනුවෙන් සඳහන් කළ බෝඩ් එකක් ඔවුහු අල්ලාගෙන සිටියහ. “අපේ එකා අපට හොඳයි, ඔහු නොමරා අපිට දියව්” “කලාකරුවන්ට අත නොතබනු, ඔවුන්ට කුඩු විකිණීමට නිදහස දෙනු”

“දේශීය ව්‍යාපාරවලට අත නොතබනු”

“අපේ මත්වීමේ අයිතිය අපට දියව්”

ඔවුන්ගේ ගෝරණාඩුව පල්ලෙහා වැව දක්වාම ඇසෙයි. අබරං, සිලෝහාමි විසින් ගෙනැවිත් දුන් තේ උගුරක් කටට හලා ගත්තේය. දිව පිලිස්සී යන රස්නයක් සමඟින් සිහින් ඉඟුරු රසයක් දැනෙන්නට විය. අනෙක් පාරෙන් කාන්තාවක් දුවගෙන ආවේ කඩිමුඩියේය. ඇයගේ පසුපස යක්ෂයා ආවේශ වූ ගමේ ගෑනු පිරිමි සමූහයකි. දුවගෙන ආ කාන්තාව කඩමණ්ඩියේ මේසේ යට සැඟවී දිවි බේරාගත්තේ අසීරුවෙනි. එළවාගෙන ආ පිරිස බෝඩ් කෑලි වගයක් ඔසවාගෙන උද්ඝෝෂණය කරන්නට වූහ.

“තොගේ මිනිහා කොටියෙක්, ගිහිං හිඟා කාපිය.” කියා එක බෝඩ් ලෑල්ලක ලියා තිබිණි.

“බුද්ධාගමට අත නොතබණු” කියා තවත් බෝඩ් ලෑල්ලක ගසා තිබිණි. “රණවිරුවන්ට අත නොතබණු” කියා ගැසූ තවත් බෝඩ් ලෑලි කිහිපයකි. විනාඩි කිහිපයකින් අනෙක් දෙපිරිසටම වඩා මේ නව උද්ඝෝෂණයේ හඬ වැඩි වන්නට විය. ඔය අතරේ අනෙක් පාරෙන් ආවේ ඉස්කෝලේ ගුරුවරියන් රොත්තකි. අබරං හරිබරි ගැසී බංකුවෙන් නැඟිට කරේ තිබූ අමුඩ ලේන්සුව අතට ගත්තේය. “මොනවා වුණත් ඉතිං අපව ගහල කරල හදපු උත්තමයෝ නොවැ. මට ඒ දවසවල දුන්නු සම්බුව. අම්මපල්ලා දැනුත් මතක් වෙනකොට මුත්තරා යනවා” අබරං කිව්වේ සිලෝහාමිට තේ එකේ රුපියල් පහත් මේසේ උඩින් තියන ගමන්ය.

“අනේ ඉතිං ඒවා මක්කට කියනවද? අපි මේ දැං වුණත් කීයක් හරි සාධාරණව උපයා සපයාගෙන ජීවත් වෙන්නේ ඒකෙන්නේ.” කියාගෙන සිලෝහාමි ඉහළ අහස දිහා බලාගෙන ගුරුවරුන්ව සිහිපත් කළාය.

ගුරුවරියන් පිටුපසින් බෝඩ් එල්ලා ගත් දෙමාපියෝ පිරිසකි. “දරුවන්ට ගහන උන්ව හිරේ දමව්” “එපා, එපා අපට එපා, ගුරු මැරයෝ අපට එපා” කියමින් කෑ ගසන පිරිසෙන් සිව්මංසල පිරී ඉතිරී යයි. දැං අබරංට එළියට බැස යා ගන්නට නොහැකි තරමට පිරිසගේ තදබදයයි. සිව්මංසලේ මාවත් හතරේම පිරිස උද්ඝෝෂණය කරයි. සටන් පාඨ එකින් එක මිශ්‍ර වෙමින් අබංරට ඇසෙයි.

“ගුරුවරුන්ට අත නොතබනු - එල්ලා මරනු”

“දරුවන්ට අත නොතබනු - එල්ලා මරනු”

“අපේ හාමුදුරුවන්ට අත නොතබනු - එල්ලා මරනු “සේනා දළඹුවා - එල්ලා මරනු”

“ජාතික ආණ්ඩුව - එල්ලා මරනු”

“විජාතික බලවේග - එල්ලා මරනු”

“සෝපානයේ අපි හිරවෙලා - එල්ලා මරනු” අබරංට මේ කාගේ සටන් පාඨදැයි වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට නොහැකි වී අන්දුන් කුන්දුන් වී සිටියේය.

[ගාමිණී බස්නායක]

මාතෘකා