නිදහස ලැබුණාද?

 ඡායාරූපය:

නිදහස ලැබුණාද?

නිදහසින් වසර 71ක් පිරී ඇත. විකල්පය පිළිබඳව සමාජයක් කතාකරන මොහොතේ එවැනි විකල්පයක් කතා කරන්නට සොයන්නට අපට සිදු වූයේ ඇයි දැයි යන්න විමසා බැලිය යුතුය. දේශපාලන චතුරාර්ය සත්‍ය අවශ්‍ය වන්නේ මේ ගැටලුව විසඳා ගැනීමටය. ඉන් පළමුවැන්න නම් අප විඳින දුකයි. මේ දුක ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නොවන්නේ මෙය කියවන පාඨකයා ඇති තරම් මේ රටේ හැමදාම හැම මොහොතකම ඒ දුක විඳිමින් තියෙන නිසාය. දෙවැන්න නම් දුකට හේතුවයි. එය මේ ලිපිය තුළින් පෙන්වා දෙන්නට උත්සාහ කරන වැදගත්ම කරුණයි. හේතුවක් නැතුව ඵලයක් නැති බව වැඩි දෙනකු අදහන සමාජයක් එම හේතුව විමසා නොසිටීම පුදුමයකි. ඇත්ත කරුණ නම් එම හේතුව විසින්ම ජනතාවට වෙනත් හේතු පෙන්වා බය කරනු ලැබ තිබීමයි. 1948 නිදහස ලැබීම දක්වා අපට ගමන් කරන්නට සිදුවෙයි. වසර 71ක දේශපාලන අසාර්ථකභාවය කතාකරන අපි 1948න් පටන් නොගැනීම බලවත් වරදකි. 1948දී ආක්‍රමණික ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපට නිදහස දුන්නා නොව, ඔවුන්ගේ සුවච කීකරු ගෝලබාලයන්ට බලය මාරුකරන ලදී. අප කවුරුත් දන්නා පරිදි 48දී අපට ලැබුණේ සම්පූර්ණ නිදහසක් නොවේ. අපට සම්පූර්ණ (සමාජය හිතන පරිදි සහ නීති පොත්වල සඳහන් පරිදි) නිදහස ලැබුණේ 1972දීය. ඒ විදිහට ගත්තත් පෙබරවාරි 4 සමරන නිදහසද න්‍යායාත්මකව පවා වැරදිය. වසර 71ක් තිස්සේ ජාතිය ගොනාට අන්දවා සිංහයා ලෙළදුන්නේ එලෙසය.

බලය ගත්තේ කවුරුද?

1815දී සටන් කර අපි පැරදුණෙමු. වීර දේශප්‍රේමී සටන්කරුවන් පවුල් පිටින් ඝාතනය විය. 1818දීත්, 1848දීත් වූයේ එයමය. නමුත් ඉංග්‍රීසින්ගෙන් තනතුරු, වරප්‍රසාද මෙන්ම ස්වදේශික දේශප්‍රේමී සටන්කාමීන්ගෙන් ආක්‍රමණිකයා අල්ලාගත් ඉඩම්ද ලබාගත් පාවා දෙන්නන්ගේ ප්‍රභූ පැලැන්තියක් රට තුළ නිර්මාණය විය. ආක්‍රමණිකයා මෙන් සිතන, ඔවුන් මෙන් අඳින පලඳින, ඔවුන් වෙනුවෙන් සේවය කළ මේ පිරිසට බලය මාරු වීම මිස අපට ලැබුණු නිදහසක් නැත. ඉංග්‍රීසි ආක්‍රමණිකයාට විරුද්ධව සටන් කළ ස්වදේශික දේශප්‍රේමී සටන්කරුවන්ට බලය ලැබුණේ නැත. නිදහස් රටක සිදුවිය යුතු දේ. අපගේ ඉතිහාසගත රණවිරුවන් කැරලිකරුවන් ලෙස සඳහන් කෙරුණු ගැසට් නිවේදන මගින් ඉතිහාසය විසින් ඔවුන්ට බලවත් අසාධාරණයක් කරනු ලැබ තිබිණ. නිදහසින් පසු දිනයේදී ඔවුන් කැරලිකරුවන් ලෙස තිබූ නම් කිරීමෙන් මුදා දේශප්‍රේමී විරුවන් ලෙස නම් කරන්නට වූයේ නම් වඩාත් උචිතය. නමුත් ආක්‍රමණිකයාගේ ගෝලබාලයන් පිරිසට වසර 169ක් යනතුරු එය කරන්නට අමතකව තිබිණ. එහෙම කරන්නට තරම් දේශප්‍රේමීත්වයක් ස්වදේශික හැඟීමක් ඔවුන්ට නොතිබිණ. එමෙන්ම ආක්‍රමණිකයා ඔවුන්ට එරෙහි වීම නිසා දේශප්‍රේමී සටන්කරුවන්ගේ පවුල්වලින් උදුරාගත් ඉඩම් ටිකවත් ඔවුන්ගේ ඊළඟ පරම්පරාවට සොයා බලා බෙදා දුන්නේ නම් ඉතා වැදගත් වේ. ඌව වෙල්ලස්ස ඇතුළු ආක්‍රමණිකයා විනාශ කළ වැව් අමුණු ටික ඉක්මනින් පිළිසකර කර නැවත අස්වද්දන්නට පටන් ගැනීමද නිසියාකාරව නොවුණි. සැබෑ දේශප්‍රේමීන් අතරට බලය හුවමාරු වූයේ නම් මේ සියල්ල සිදු වීමට ඉඩ තිබුණි. ඉංග්‍රීසි ආක්‍රමණිකයාගේ පැමිණීමත් සමග අභාවයට ගිය දේශීය අධ්‍යාපනය, දේශීය වෙදකම, සංස්කෘතික උරුමයන්, අංගම්පොර වැනි සටන් කලාවන් මෙන්ම සැතපුමට අඟලේ බැස්ම හැදූ දේශීය තාක්ෂණයද නැවත සොයා ගන්නට පර්යේෂණ සමීක්ෂණ කළ යුතුව තිබිණ. නමුදු මේ මොහොත වනතුරුත් මේ කරුණු සිදුවන්නේ ඉතාම සෙමින්ය. සමහරක් දේවල් සඳහා එවැන්නක් නොවන තරම්ය. දේශීය තාක්ෂණයත් ලෝකයේ දියුණුවෙමින් තිබෙන තාක්ෂණයත් එකතු කර අලුත් ගමනක් යන්නට අපට හැකියාව තිබුණත් එසේ නොවුණි. අපට වෙච්ච දේ අපගේ ප්‍රධානම දේ වූයේ ලෝකෙටම ණය වී එදාවේල රැක ගැනීමයි. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ කිසිම විෂයකට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් නොවුණි. අනෙක් ප්‍රධානම දේ රටේ දේශීය සම්පත් විකුණා ජීවත් වීමයි. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව හැරුණුවිට දේශීයත්වය නංවන කිසිදු වැඩපිළිවෙළක් කිසිදු ආණ්ඩුවකට තිබුණේ නැත. කෙටියෙන්ම කියතොත් නිදහසින් 71 වසර සපුරන අපි අසාර්ථක රටකි.

දුක නැති කිරීම

මේ දුක නැති කිරීමට නම් කළ යුත්තේ හේතුව නැති කිරීමය. වසර 71ක අසාර්ථකභාවය මේ දේශපාලකයන් සමූහය නම්, එවැනි දේශපාලන සමූහයක් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් හට නැවත නැවත බලය දීමෙන් රට මේ යමින් තිබෙන අගාධයෙන් ගොඩගත නොහැක. රට ගොඩ ගැනීමට කළයුතුව තිබෙන්නේ ඉංග්‍රීසි ආක්‍රමණිකයා අපට ඉතුරු කර දමා ගිය ඔවුන්ගේ සුවච කීකරු දේශපාලන පැලැන්තිය දේශපාලනිකව පැරදවීමය. ඔවුන් පරදවා දේශප්‍රේමී තරුණ දේශපාලන නායකයන් පිරිසක් වෙතට බලය මාරු කිරීමය. දුක නැති කිරීමේ මාර්ගය සොයා යනු පිණිස මේ ලිපි පෙළම යොමු වෙයි. විකල්පය සොයා යෑම යනු එම මාර්ගය සොයා යෑමයි. සැබෑ නිදහස් රටක් වෙනුවෙන් අපි විකල්පය සොයා යමු.

මාතෘකා