දේශපාලන මත වාද

 ඡායාරූපය:

දේශපාලන මත වාද

නොයෙක් නොයෙක් අය ගැන නොයෙක් නොයෙක් දේ ගැන මිනිසුන් අතර නොයෙක් නොයෙක් මත ඇත. තමා දරන මතය, හේතු සාධක මත සනාථ කිරීමට යෑමෙන් 'මත වාදයක්' ගොඩ නැඟේ. ඉන් සමහරක් ආගමික මතවාද ද සමහරක් දේශපාලන මතවාදද සමහරක් සාහිත්‍ය මතවාද ද වේ. මුලින් ම දේශපාලන ලෝකය හා සම්බන්ධ මත වාද කීපයක් කෙරේ ඔබේ අවධානය යොමු කෙරේ.

කොමියුනිස්ට් වාදය

'කොමියුනිස්ට්' (communist) යන ඉංගිරිසි පදයේ සැදී ඇත්තේ 'කොමියුන්' (commune) යන පදය මුල් කොට ‍ගෙන ය. 'කොමියුන්' යනු ජන සමූහයක් හෙවත් ජන කොට්ඨාසයක් ය. සියලු දේපොළ හා නිෂ්පාදන මාර්ග මේ ප්‍රජා කොට්ඨාසය සතු කිරීමත් සියලු දෙනා ම තමාගේ ශ්‍රම ශක්තිය අනුව වැඩ කරමින් ජනතා ආධිපත්‍යයක් පිහිටුවා ගැනීමත් කොමියුනිස්ට්වාදයේ අරමුණ යි. කොමියුනිස්ට් රාජ්‍යයක පන්ති භේදයක් නැත.

කොමියුනිස්ට්වාදයේ මූලික සංකල්ප ඉදිරිපත් කරන ලද්දේ කාල් මාක්ස් (Karl Marx) හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) යන දෙදෙනා විසින් 1848 දී ය. ඒ ප්‍රතිපත්ති ඇතුළත් ලේඛනය 'Communist Manifesto' (කොමියුනිස්ට් ප්‍රකාශනය) නම් විය. මේ මතවාදය දරන්නා 'කොමියුනිස්ට්වාදියෙක්' වේ. පොදු ජනතාව ඔහු හැඳින්වූයේ 'කොමියුනිස්ට්කාරයා' යන පදයෙනි.

කොමියුනිස්ට් රාජ්‍යයක් වශයෙන් ප්‍රසිද්ධියක් දිනා ගෙන සිටියේ සෝවියට් රුසියාව යි.

මාක්ස්වාදය

කොමියුනිස්ට්වාදයට ඉතා ම සමීප දේශපාලන මතවාදය 'මාක්ස්වාදය' (Marxism) යි. කොමියුනිස්ට්වාදය හා සමාජවාදයට පාදක වූයේ මාක්ස්වාදය යි. වැඩ කරන ජනතාවගේ ආධිපත්‍යය කෙරේ අවධානය යොමු කරන මාක්ස්වාදයේ නිර්මාතෘවරයා වූයේ කාල් මාක්ස් (1818-1883) ය. ජර්මන් ජාතිකයෙකු වූ මාක්ස් සිය හිතවතෙකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ( 1820-1895) සමග 'කොමියුනිස්ට් ප්‍රකාශනය' සකස් කළත් බොහෝ දෙනා කොමියුනිස්ට්වාදයේ පියා සේ සලකන්නේ මාක්ස් ය. ඔහුගේ අරමුණ වූයේ 'ධනවාදය' බිඳ හෙළීම යි. මාක්ස්වාදය දරන්නා 'මාක්ස්වාදියා' ය.

මාක්ස් අවසාන කාලයෙහි ජීවත් වූයේ එංගලන්තයෙහි ය. ඔහු 'ඩාස් කපිටාල්' (Das Kapital)නම් මහාර්ඝ කෘතිය ලියුවේ ඒ කාලයෙහි දී ය. එහි දී මිය ගිය ඔහුගේ දේහය මිහිදන් කරන ලද්දේ ලන්ඩනයේ හයිගේට් සොහොන් බිමෙහිය. අදත් එහි ගොස් ඔහුට ගෞරවාචාර දක්වන්නෝ හිඟ නොවෙති.

ධනවාදය

'ධනවාදය' යනු ධනය ඉපයීමේ නිෂ්පාදන මාර්ග පුද්ගලයන් සතුව තබා ගැනීමේ ආර්ථික ක්‍රමය අනුගමනය කරන දේශපාලන මතවාදය යි. ප්‍රාග්ධනය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'capital' යන පදයෙන් නිසා මේ මතවාදය 'capitalism' යනුවෙන් හැඳින්වේ. මෙය හැඳින්වීමට 'ධනේශ්වරවාදය' යන නම ද යෙදේ. මේ මතවාදය දරන්නා මෙන් ම ධනවතා ද 'ධනවාදියා' යනුවෙන් ‍පොදුවේ හැඳින්වේ.

සමාජවාදය

'සමාජවාදය' යනු ආර්ථක නිෂ්පාදනය, බෙදා හැරීම හා පාලනය සමාජය සතු විය යුතු ය යන මතය හුවා දක්වන දේශපාලන මතවාදය යි. මෙය ඉංගිරිිසියෙන් හැඳින්වෙන්නේ 'socialism' යන පදයෙනි. සමාජයේ හැම පුද්ගලයා ම එකහා සමාන නිසා සියලු සම්පත් හැම දෙනා අතරේ ම සමසමව බෙදී යා යුතු ය යන මතය සමාජවාදියා දරයි. අපේ රට ද සමාජවාදී (socialist) රාජ්‍යයක් ඇති රටක් සේ සැලකේ.

ජනතාව වෙනුවෙන් බොහෝ දේ නොමිලේ සැපයීම ආරම්භ වූයේ මේ සමාජවාදී ප්‍රතිපත්තිය නිසා ය. අපේ රටේ ද සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා අදත් පවත්වා ගෙන යන්නේ නොමිලයේ ය.

සමසමාජවාදය

'සමසමාජවාදය' යනු සමාජවාදයේ ම පැතිකඩක් සේ සැලකිය හැකි ය. සමාජයේ හැම දෙනාම සමාන ය යන මතය මත ගොඩ නැගෙන සමාජයක් බිහි කිරීම සමසමාජවාදියාගේ අරමුණ යි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට සුවිශේෂ වූ 'සමසමාජ පක්ෂය' මේ අරමුණින් පිහිටුවා ගන්නා ලද්දකි.

ප්‍රජාතන්ත්‍ර වාදය

'ප්‍රජාතන්ත්‍රවාදය' යනු 'ප්‍රජාවගේ වැඩි දෙනාගේ' කැමැත්ත පරිදි සිදු කෙරෙන රාජ්‍ය පාලන ක්‍රමය යි. වැඩි දෙනාගේ හිතසුව පිණිස වැඩි දෙනා විසින් පවත්වා ගෙන යනු ලබන රාජ තන්ත්‍රය 'ප්‍රජාතන්ත්‍රවාදී' රාජ්‍යයක් සේ සැලකේ. මහාජන මැතිවරණයක දී වැඩි දෙනාගේ කැමැත්තෙන් තෝරා ගනු ලබන නියෝජිතයෝ වැඩි දෙනාගේ හිතසුව පිණිස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවෙත යි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්මාතෘවරයෙකු වශයෙන් සැලකෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලිංකන්

( Abraham Lincoln)ය. ඔහු විසින් 1863 දී පෙන්සිල්වේනියා ජනපදයේ 'ගෙටිස්බර්ග්' (Gettysburg) නුවර දී පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයෙහි දී ප්‍රකාශ කළ එක් අදහසක් අදත් ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්වචනය සේ සැලකේ. එනම් "ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව යනු ප්‍රජාව විසින්, ප්‍රජාව සඳහා, පැවැත්වෙන ප්‍රජාවගේ ආණ්ඩුව" (government of the people, by the people and, for the people) යන්න යි.

ජන රජයක් වන අපේ රට හැඳින්වෙන්නේ 'ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය' වශයෙනි.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා