සංස්කාරක පසමිතුරෝ!

 ඡායාරූපය:

සංස්කාරක පසමිතුරෝ!

සුනේත්‍රා රාජකරුණානායක ලේඛිකාව පසුගිය සතියේ (01දා) භාව අතිරේකය හා පැවති සම්මුඛ සාකච්ඡාවේදී කියූ කරුණක් ෆේස්බුක් සමාජ මාධ්‍යය තුළ විවාදයක් ඇති කර තිබේ. ඈ පවසන්නේ තමාගේ කිසිදු කෘතියක් ඇය සංස්කරණයට කිසිවකුට බාර නොදෙන බවයි. ඇගේ ප්‍රකාශය මෙලෙසය:

“මම හැර වෙනත් කවුරුවත් මේ පොතේ (‘මියුරු හඬ’) සංස්කරණ කටයුතු කළේ නෑ. මගේ එක පොතක්වත් කාටවත් දීලා සංස්කරණය කරලා නැහැ. පිටරටවල වුණත් සංස්කරණ කටයුතුවලදී සමහරක් වෙලාවට ප්‍රකාශන සමාගම යෝජනා කරන සංශෝධනවලට අකමැති වුණාම කතුවරු මුරණ්ඩු විධියට ඒ සංශෝධන නොකර ඉන්නවා. සමහර වෙලාවට අවශ්‍යම යැයි කියල කතුවරයාට හිතෙන කොටසක් අයින් කරන්න කියල ප්‍රකාශන සමාගමේ සංස්කාරකවරයා කියන්න පුළුවන්. එහෙම නැත්නම් නැති කොටස් දාන්න කියන්න පුළුවන්. විකුණගන්න ඕන නිසා ලිංගික කරුණු එහෙම තව ටිකක් විස්තරාත්මකව දාන්න කියල සමහර ප්‍රකාශන සමාගම් කියනවා. එතකොට කතුවරු එහෙම දෙයක් කරන්න කැමති වෙන්නෙ නැහැ. ලංකාවේ බොහෝ ලේඛක ලේඛිකාවො ප්‍රසිද්ධියේ නොකිව්වට කාට හරි කියල ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසය වගේ දේවල් හදා ගන්නවා. සමහර මහාචාර්යවරුන්ට කියල ලොකු ගණන් ගෙවලා එහෙම කරගන්න අයත් ඉන්නවා. මට ඒක අදාළ නැහැ. මගේ පොතක් වෙන කෙනෙකුට දීලා සංස්කරණය කරගන්න මම කැමති නැහැ. මොකද මම අලුත් වචන හදනවා. ඒ වචනවල සමහර සියුම් තැන් තියෙනවා. ඒවා වෙන කෙනෙකුට නොවැටහෙන්න පුළුවන්.”

(රැස, ‘භාව’ අතිරේකය, 2019.02.01)

බොහෝ දෙනෙකුට ගැටලුව වී තිබුණේ සුනේත්‍රා වැනි ප්‍රවීණ ලේඛිකාවක් මෙසේ අදහස් දැක්වීම පිළිබඳවය. එහෙත් මෙය පුදුමයට කරුණක් නොවේ. සංස්කාරකවරුන් තබා ගන්නා සිංහල ලේඛකයින් ඉතා අවම නිසාය. සැබැවින්ම සාහිත්යික වශයෙන් ලියන කවර හෝ දෙයක් සාහිත්‍ය නිර්මාණයක් බවට හැඩගැසෙන්නේ සංස්කරණය තුළිනි. ප්‍රබන්ධය යනු චිත්‍රයක් ඇඳීම මෙන් නොව මූර්තියක් ඇඹීම වැනියැයි කියනුයේ තුර්කි ලේඛක ඔර්හාන් පාමුක්ය. මූර්තියක් ඇඹීමේදී කරනුයේ කොටස් කපා ඉවත් කිරීමය. ප්‍රබන්ධකරණයේදී මේ සංස්කරණය නොවුවහොත් ප්‍රබන්ධයක් බිහි වන්නේ නැත.

ඇත්ත වශයෙන් කතාවක් ලිවීමත්, සංස්කරණයත් දෙකක් නොව එකකි. තමා ලියන දේ කඩදාසියට එන්නේම සිය කල්පනා ලෝකයෙන් සංස්කරණය වී යැයි ඇතැම් ලේඛකයෝ කියති. එය ඇත්තකි. එහෙත් කඩදාසියේ ලියූ පසු, එනම් අත්පිටපතක් ලෙස ගොඩනැඟුණු පසු එය වෙනම සංස්කරණය විය යුතුය. එය ලේඛකයාම කළහොත් ඒ සංස්කරණය අන්ධයකු සුදුසැරයටියෙන් කරන ඇවිදීම වැන්නක් පමණි. එහෙත් සුනේත්‍රා රාජකරුණානායක මේ දේ පිළිගන්නේ නැත. ඈ පවසන්නේ “හොඳට ලියන්න පුළුවන් කෙනෙකුට වෙනම සංස්කාරකවරයෙක් අවශ්‍යයි කියල මම හිතන්නෙ නෑ” කියාය. මෙය අර්ධ ප්‍රබන්ධකාරයන්ගේ ලක්ෂණයක් විනා සැබෑ ප්‍රබන්ධකාරයකුගේ ලක්ෂණයක් නොවේ.

අප කතුවරිය සංස්කාරකවරයා දකිනුයේ ප්‍රබන්ධයේ සතුරකු ලෙසය. නැත්නම් ප්‍රකාශන සමාගම් අටවන මරඋගුලක් ලෙසය. සංස්කාරකවරයා ලේඛකයා ලියන දේ ඔප්නංවන්නෙක් විනා ලියන දේ බාහිර සාධක මත වාරණය කරන්නෙක් නොවේ. ලේඛකයකු ලියද්දී ඇති වන ලොකුම ගැටලුව ප්‍රබන්ධයේ කල්පනා ලෝකයේ රිද්මය නිසි පරිදි පවත්වා ගැනීමය. ඊළඟට එහි අවිශ්වසනීය තැන් තිබීමට පුළුවන. ලියන දේ ඇදහිය නොහැකි වූ පසු එය කියවීම පාඨකයාට අපහසු වේ. මායා යථාර්ථවාදී හෝ අධියථාර්ථවාදී ප්‍රබන්ධයක් වුව කතාවේ අභ්‍යන්තර අනුසාරීතාව අතින් පාඨකයාට විශ්වසනීය විය යුතුය. පිළිගත හැකි විශ්වසනීය දේ චරිත කළ යුතුය. තවද කතාව තුළ බස, ශෛලිය, රිද්මය, වේගය එහි කතාවට ගැළපිය යුතුය. පශ්චාත් නූතන ප්‍රබන්ධයක ඇත්තේ ඛණ්ඩනය වූ වියමනක් හා කල්පනා ලෝකයක් බව අපි දනිමු. එහෙත් ඒ ඛණ්ඩනයේත් හැඩයක් ඇත. කේ.කේ. සමන් කුමාරගේ මෑත ප්‍රබන්ධ පශ්චාත් නූතන යැයි හැඳින්වූවොත් එය පශ්චාත් නූතනවාදී ප්‍රබන්ධයට නිගරුවකි. එහි ඇත්තේ කතාකරුවා ප්‍රබන්ධය වරදවා ගැනීමේ හා සංස්කරණයක් නොකිරීමේ ගැටලුවකි. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන දිනූ නවකතාවේ තත්ත්වයද එයය. පශ්චාත් නූතන ප්‍රබන්ධයේ බසට වියරණයක් නැත. එහෙත් ඒ වියරණයක් නොමැති වීමේද වියරණයක් ඇත. මේ වියරණ බලා කතාවේ, ආකෘතියේ පූර්වාපර සන්ධි ගළපනුයේ සංස්කාරකවරයාය.

ලේඛකයාට තෙවැනි ඇසක් ඇත. සංස්කාරකවරයාට ඇත්තේ ලේඛකයාගේ තෙවැනි ඇස බැලීමේ අමතර ඇසකි. ඒ සතරවෙනි ඇස නැති බසේ වියරණ, අක්ෂර දොස් පමණක් බලන්නන් සංස්කාරකවරුන් නොවේ. එහෙත් අද බොහෝ ලේඛකයන් මගේ පොත සංස්කරණය කළේ යැයි නම් සඳහන් කරනුයේ ඒ වියරණකාරයන්ගේ නම්ය. සුනේත්‍රා රාජකරුණානායකද ප්‍රබන්ධ සංස්කරණය ගෙන ඇත්තේ එය වියරණකාරයන්ගේ භූමිකාවක් ලෙසය. මට පෙනෙන ලෙස ඇය සංස්කරණය මුළුමනින් වරදවා ගෙන ඇත. තමා අලුත් වචන නිර්මාණය කරන බවත්, ඒ වචනවල සමහර සියුම් තැන් අනෙකෙකුට නොතේරෙන බවත් ඈ කියන්නේ එනිසාය. ඇය මෙහිදී ප්‍රබන්ධකරණයද වරදවාගෙන ඇති සේය. ලේඛකයකු ලියන අලුත් හෝ පැරණි යන කවර වචනයක වුව සියුම් තැන් වැටහෙන්නේ කතුවරයාට වඩා අනෙකකුට - උසස් පාඨකයකුට - බැවිනි.

එහෙත් ඇය පවසන එක් කරුණක් නිවැරදිය: මෙරට වෘත්තීය ප්‍රබන්ධ සංස්කාරකවරුන් නැත. සැබැවින්ම අපේ පොත් ප්‍රකාශන ආයතනවලට සංස්කාරකවරුන් ලෙස සිටිනුයේ බටහිර Editor ලෙස හඳුන්වන පිරිස නොවේ. ඒ, ඇයම අදහස් කරන පරිදි අත්පිටපතේ වියරණ - අක්ෂර නිවැරදි කරන්නන් සහ පොත පළ කළ විට ප්‍රකාශන ආයතනයට ගැටලුවක් වේදැයි සොයන්නන්ය. එහෙත් මෙහි අර්ථය මෙරට ප්‍රබන්ධයක් සංස්කරණය කළ හැකි අය නොමැත යන්න නොවේ. වෘත්තීය නොවන සංස්කාරකවරුන් ඕනෑ තරම් ලේඛකයනට සොයාගත හැකිය. එක් අතකට සංස්කාරකවරයා වෘත්තිය වුවද, වෘත්තීය නොවුවද ඔවුනතර විශාල වෙනසක් නැත. ඔවුන් ලිංගික කරුණු වැනි විකුණාගත හැකි දේ පොතට ඇතුළත් කිරීමට හෝ එහි වියරණ, අක්ෂර දොස් දඩමීමා කරගැනීමට මාන බලන්නන් නොවේ.

සංස්කාරකවරයාගේ භූමිකාව මතු නොව ලේඛකයකුගේ ශක්‍යතා සීමාව වුව අප කතුවරිය වරදවාගෙන ඇති තරම ඈ කියන එක් වැකියකින් පැහැදිලි වේ. එනම් “සමහර වෙලාවට අවශ්‍යම යැයි කියල කතුවරයාට හිතෙන කොටසක් අයින් කරන්න කියල ප්‍රකාශන සමාගමේ සංස්කාරකවරයා කියන්න පුළුවන්” යන්නය. කතාවක් ලියූ පසු එහි අවසාන තක්සේරුකරුවා ප්‍රබන්ධ කතාකරුවා නොවේ. ඒ, පාඨකයාය - සියුම් පාඨකයාය. එහෙත් මෙහිදී සියලු බලතල කතුවරිය පවරාගෙන ඇත. කතාවක් ලියද්දී එහි සිටිනුයේ තමා නොව අනෙකෙකු - චරිත - බව කියනුයේ ආජෙන්ටිනා ලේඛක හූලියෝ කොර්තාසාය. කොර්තාසා එය කෙතරම් බරපතල ලෙස ගෙන ඇද්ද යත් තමාගේ කෙටිකතා පොතකට කර්තෘ අත්සන යෙදීමටද තමාට ශක්තියක් නැති බව කියයි. එම කතා ලීවේ තමා යැයි ඔහුට පිළිගැනීමට බැරි නිසාය. ඒ එසේ නම් ප්‍රබන්ධයකට මේ කොටස අවශ්‍යම යැයි තීරණය කිරීම කතුවරයාට කළ නොහැකිය.

මට හැඟෙන ලෙස සංස්කරණය (Editing) ප්‍රබන්ධයට පරිබාහිර දෙයක් ලෙස අප ගෙන තිබෙන්නේ අපේ නොදියුණු ලේඛන කලාව හා පොත් කර්මාන්තය නිසාය. දහනව වැනි සියවසේ රුසියානු ප්‍රබන්ධය සැලකූ විට එහි හැම විටම ප්‍රබන්ධයක් පළ වී ඇත්තේ ලේඛකයන් කිහිප දෙනෙකු අත්පිටපත කියවා ඒ ගැන සාකච්ඡා කිරීමෙන් පසුය. දොස්තොයෙව්ස්කි සිය ‘අසරණ මිනිස්සු’ (Poor Falks) නම් කෙටි නවකතාව ලියා අත්පිටපත ගෙන ගොස් දී ඇත්තේ ග්‍රෙග‍ෙරා්ව් නම් ඔහුගේ මිතුරකුටය. ඔහු එය නික්‍රොසොව් නම් ප්‍රකාශකයාට දී ඇත. නික්‍රොෙසාව් විචාරකයෙක්ද විය. ඔහු එය එදා ප්‍රබල විචාරකයකු වූ බෙලින්ස්කි වෙත ගෙන ගොස් කියා ඇත්තේ “මම ආවේ අලුත් ගොගොල් කෙනෙකු පහළ වෙලා ඇති බව කියන්නයි” යනුවෙනි. මෙය වර්තමාන බටහිර සංස්කරණ ව්‍යාපාරයේ මූලාරම්භය විය හැකිය.

මා කල්පනා කරන ලෙස පොතක් බිහි වීමට ප්‍රකාශකයකු වැදගත්ද, එහිලා සංස්කාරකවරයකුගේ සේවයද ඒ හා සමානවම වැදගත් වේ. පොත ප්‍රබන්ධයක් නම් ඒ සේවය පොත මුද්‍රණය කරන යන්ත්‍රය මෙන්ම වැදගත් වේ. ප්‍රබන්ධය වියරණ, අක්ෂර, අර්ථාවබෝධය පිළිබඳ කරුණක් නොවන නිසාය. එනිසා සංස්කාරකවරුන්ගේ සේවය අප බැහැරලයිද අපේ සාහිත්‍යයද එසේම පහළ වැටෙනු ඇති බව කිව හැකිය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා