වසර 50ට නාට්‍ය සීයක් හැදූ මොරටු කලාකරුවා

 ඡායාරූපය:

වසර 50ට නාට්‍ය සීයක් හැදූ මොරටු කලාකරුවා

වසර 50කට අධික කාලයක්, චිත්‍ර හා මූර්ති ශිල්පියකු ලෙසත් නාට්‍යකරුවකු ලෙසත් මොරටුව ප්‍රදේශයෙහි ජනාදරයට පත් කලාකරුවකු වූ සුසිල ද සිල්වා මහතාගේ මෙහෙවර අභිනන්දනය කිරීමේ උලෙළක් මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානයේ අන්‍යෝන්‍ය සහකාර සංගමය විසින් සංවිධානය කර තිබේ.

පෙබරවාරි 9 වැනිදා උදේ 9ට එම දේවස්ථානයේදී ආරම්භ වන මෙම උත්සවයට සමගාමීව අත්වැඩ, බටර් හා අයිස් කැටයම් වැඩමුළුවක්, සුසිල ද සිල්වා මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් හා ඔහු විසින් රචිත කෙටි නාට්‍ය දර්ශන කිහිපයක්ද පැවැත්වීමට නියමිතය. මේ පිළිසඳර ඒ නිමිත්තෙනි.

ඔබගේ කලා දිවියට පදනම වැටුණෙ කොහොමද?

මගේ පියා දක්ෂ වඩු කාර්මිකයෙක්. මට අවුරුදු 5ක් තරම් කුඩා කාලයේ සිටම පියා වඩුමඩුවේ ඔහු වැඩ කරන හැටි බලා ඉන්නවා. ඔහු මට කුඩා මිටියක් සහ ඇණ අතට දෙනවා. වයස අවුරුදු 8, 9 වෙනකොට රෝද, පෙට්ටි එහෙම හදන්න ගත්තා. ඒක තමයි මට මූලිකව ලැබුණ දේ. ඉන්පසුව මොරටුව වේල්ස් කුමර විදුහලේ සහ රාවතාවත්ත ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයේ ඉරුදින පාසල හරහා ඉතිරි පන්නරය ලැබුණේ කියා මා විශ්වාස කරනවා.

ඔබගේ කලා දිවියට වසර 50කට වැඩියි. ඒ ගැන ආපසු හැරී බැලීමේදී ඔබට මොකද හිතෙන්නේ?

පාසල් කාලයේදී හැම නිවාඩුවටම නාට්‍ය කළා. වේදිකා නොතිබුණු නිසා ගෙවල්වල මේස තමයි පාවිච්ච් කළේ. මම තමයි අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය, වේදිකාව සකස් කිරීම ආදී සියල්ලම කරන්නේ. එතැනින් තමයි බියසැක නැතිව නාට්‍ය කලාවට එන්න පන්නරය ලැබුණේ. පාසලේ තිස්ස ගුණවර්ධන ගුරු පියාණන්ගෙන් මූලිකව ඒ පිළිබඳව හැදැරීම සිදු කළා. ඊට අමතරව ජේසන් ද සිල්වා නාට්‍යවලට උදවු උපකාර කළා. තිර පිටපත් පිළිබඳව ගිවන්ත අර්ථසාද් කලාකරුවාගෙන් ශිල්පය හැදෑරුවා. ඔහුගේ වැඩවලටත් මාව සම්බන්ධ කර ගත්තා. ඉන්පසු මම සේවය කළේ කොළඹ හෝටලයක. ඒ කාලයේදී තමයි අයිස් කැටයම්, බටර් කැටයම් කලාවට ආවේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ අඩි 13ක් උස ලිබර්ටි ප්‍රතිමාව නිර්මාණය කළේ මමයි.

ඔබට ලැබුණු සම්මාන මොනවාද?

1992 වර්ෂයේදී මා සේවය කළ හෝටලයේ පැවැත්වූ බටර් සහ අයිස් කැටයම් තරගයෙන් මාගේ නිර්මාණයන්ට රන් සහ ලෝකඩ පදක්කම් ලැබුණා. පේස්ට්රි අංශයෙන් රිදී පදක්කම් ලැබුණා. 1995 වර්ෂයේදී නැවැතත් අයිස් කැටයම්වලට ලෝකඩ පදක්කම් ලැබුණා. ඊට අමතරව දේවස්ථානයේ නාට්‍යවලට සම්මාන රාශියක් ලැබුණා. හොඳම නළුවා සම්මානය කිහිප වතාවක්ම මට හිමි වුණා. බාස්නාහිර පළාත් සභාව විසින් මොරටු කලාකෙත අස්වැද්දීමට ලබාදුන් සහාය වෙනුවෙන් අභිමානී උපහාරයක් ලෙසට 2016 වර්ෂයේදී සම්මානයක් පිරිනැමුවා.

නාට්‍ය හා රංගන ක්ෂේත්‍රය ගැන කිව්වොත්?

ගුවන්විදුලියට සහ රූපවාහිනියට නාට්‍ය කිහිපයක්ම කර තිබෙනවා. ඊට අමතරව කෙටි නාට්‍ය 100කට අධික සංඛ්‍යාවක් කළා. මවකගේ ගීතය, සාමයේ උදාව ගුවන්විදුලියටත් රත්තරන් කඩදාසි නාට්‍යය රූපවාහිනියටත් නිර්මාණය කළා. යකඩ සපත්තු, පාන් පෝලිම, විස වායුව, කාමරේ පොරේ, මාළු කඩේ මා කළ කෙටි නාට්‍යවලින් කිහිපයක්. මම වැඩිපුරම නිරත වූ මාධ්‍ය එයයි.

කලා ක්ෂේත්‍රයට ඇලුම් කරන අයට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

මම හුඟක් කිතුනු පැත්තෙන් තමයි බලන්නේ. දෙවියන්වහන්සේ ගෙන් අපට ලැබුණු හැකියාවන් හංගගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒවා ඔපමට්ටම් කරගන්න ඕන. ඔබට ඇති හැකියාවන් අනික් අය සමග බෙදාගන්න අමතක නොකළ යුතුයි. දුන්නොත් යමක්, ඊට වඩා උතුම් දෙයක් අපටත් ලැබෙන බව මම හැම මොහොතේම විශ්වාස කරනවා.

[තියේෂා ද සිල්වා]

මාතෘකා