මියගිය පතිරාජ සහ ජීවත් වන හඳගම

 ඡායාරූපය:

මියගිය පතිරාජ සහ ජීවත් වන හඳගම

ධර්මසේන පතිරාජ සිනමාව, ටෙලිනාට්‍ය ආදී විවිධ සාහිත්‍ය මාධ්‍යයන්ගෙන් ලංකා කලාකෙත සුපෝෂණය කළ සාහිත්‍යවේදියෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ එමහතා සුජීවත්ව සිටියදී සිනමාව, ටෙලිනාට්‍ය පමණක් නොව නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී විවිධ කලා මාධ්‍යයන් හරහා ලාංකික සමාජය තුළ සමාජ කතිකාවක් ගොඩ නැඟීමට ප්‍රයත්න දැරූහ. එහෙත් ජීවත්ව සිටියදී එතුමා සීමිත පාඨක පිරිසකගේ ගෞරවයට පාත්‍ර වූවේය. පතිරාජයන්ගේ කලා නිර්මාණයක් පිරිවෙනක, පන්සලක විචාරයට ලක්වනු අප අසා නැත. එහෙත් මිය ගිය පසුව එමහතා පිළිබඳ අතිදැවැන්ත විචාරයන් සිදුවනු පෙනේ. පතිරාජයන් මියගොස් වසරක් පිරුණු තැන ලංකාවේ ප්‍රකටම රූපවාහිනී මාධ්‍යයක (රජය සතු) උදයවරුවම එතුමාගේ ගුණගැයුම සඳහා වෙන් කෙරිණි. (2018.01.28 පතිරාජයන් මිය ගිය දවසයි) එහෙත් ජීවත්ව සිටිය දී එබදු කතිකාවක් පැවතියේ නැත.

ධර්මසේන පතිරාජයාණන්ගේම මඟ යමින් එතුමාණන්ගේ නිර්මාණකරනයෙන් ආලෝකය ලබා තවත් ඉදිරියට ගිය ජීවත්ව සිටින විශිෂ්ට කලාකරුවකු ලෙස අශෝක හදගම නම් කළ හැකිය. එතුමන්ද සිනමාව, ටෙලිනාට්‍ය, කෙටි කතාව ආදී විවිධ මාධ්‍ය හරහා ලාංකික සමාජය තුළ සබුද්ධික කතිකාවක් ගොඩ නැඟීමට අනවරත අරගලයක යෙදෙන විශිෂ්ටයෙකි.

එහෙත් එතුමන්ගේ (හඳගමගේ) නිර්මාණ පිළිබඳව පතිරාජයන් තරමට වර්තමානයේ කතාබහක් නැත. ‍ෙම් සඳහා හේතු කිම? හේතු දෙකකි. පළමු වැන්න ප්‍රතිවිරෝධතාවක් ඇති නොවීමයි. දෙවැන්න අතීත කාමයයි. (මීට අමතර අවශේෂ හේතුද තිබිය හැක.)

ප්‍රතිවිරෝධතා ඇති නොවීම යනු කීම? මියගිය යුගපුරුෂයෙකුගෙන් සමාජ විරෝධියකුට නැවත එළිපිට පහර වදින්නේ නැත. දේශපාලනික, ආගමික දෘෂ්ඨිවාදයකට විචාර සැපයෙන්නේ නැත, ජීවත්ව සිටින තැනැත්තා එසේ නොවේ. ඔහු නිර්මාණයක් මඟින් නැතිනම් විචාරයක් මඟින් අවරගනයේ දෘෂ්ඨිවාදයක හෙළුව ඕනෑම මොහොතක හෙළි කරනු ඇත. එබැවින් ජීවත්ව සිටින නිර්මාණකරුවකුට වඩා මියගිය නිර්මාණකරුවකු පිළිබඳ කතා කිරීම පුහු සදාචාරයක, සංස්කෘතියක එල්බ සිටින පසුගාමියකුට සීතාම්බර සළුවකි.

මහගමසේකර පිළිබඳ සිතනු මැනවි. ඔහු ජීවත්ව සිටියදී ඇති වූ කතිකාවට වඩා තීව්‍ර කතිකාවක් මියගිය පසුව ඇතිවිය. පිරිවෙන් විභාගයන්හි ප්‍රාචීන පණ්ඩිත උපාධියේ පළමු පරීක්ෂණය වන ප්‍රාරම්භය සඳහා එතුමන්ගෙ ඇතැම් කෘති (නිදසුනක් ලෙස ප්‍රබුද්ධ) නිර්දිෂ්ඨ ග්‍රන්ථ බවට පත්විය. ඔහු ඇගයීමට මියයන තුරුම සිටියේ ඉහත කරුණ මත සමාජය පිහිටා සිටි නිසාම නොවේද?

මුනිදාස කුමාරතුංග යනු ජීවත්ව සිටියදී ලාංකික පිරිවෙන් පද්ධතියේ තදබල විවේචනයකට ලක්වූ පඬිවරයෙකි. මියගිය පසු හෙළ බස වෙනුවෙන් පෙනී සිටි උත්තමයකු ලෙස ඔවුන් උත්කර්ෂයට නැංවූහ.

වීදාගම මහා මෛත්‍රී හිමි සීගිරි ගී ලියූ කවියන්ට පසු දේශීය කිවිමඟ පාදාගත් විශිෂ්ට යතිවරයකු ලෙස වර්තමානයේ විචාරයට ලක්වෙයි. සුජීවත්ව සිටියදී එම ඇගයුම උන්වහන්සේට ලැබිණි නම් මිථ්‍යාදෘෂ්ඨික දේවාල සම්ප්‍රදාය පන්සල් පද්ධතියෙන් හැලී යන්නට ඉඩ තිබිණි.

බුදුන් ජීවමානව වැඩ සිටියදී කිසිවකුත් උන්වහන්සේගේ අතිදැවැන්ත ප්‍රතිමා ගොඩනැඟීමට පෙළඹුණේ නැත. එදා බුදුන් සමඟ ඥානවීමංසාවෙහි යෙදුණු සීමිත පිරිස උන්වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් සුවපත් වූහ. එහෙත් උන්වහන්සේ පිරිනිවන් පෑ පසු (අනුගාමිකයන්) ඥානවීමංසනය වෙනුවට ආමිසයකට යොමු වූහ. එහි අනිටු ඵල ලෙස දර්ශනය යටපත් විය. ආමිසයට යොමු වූවන්ට එය ගැටලුවක් නොවුයේ එහි අඩු පාඩු පෙන්වීමට බුදුන් ජීවමානව නොමැති බැවිණි. මන්දයත් එම පිරිස (ආමිසයට යොමු වූ පිරිස) ජීවමාන බුදුන්ට වඩා පිරිනිවියා වූ බුදුන්ට කැමැත්තක් දක්වයි.

මියගිය විශිෂ්ට නිර්මාණකරුවන්, දාර්ශනිකයන් ඇගයීමටත් සුජීවත්ව වෙසෙන (පණ තියෙන) නිර්මාණකරුවන් මඟහැර යෑමටත් බලපාන දෙවන හේතුව අතීත කාමයයි. වර්තමානය පිළිබඳ විශ්වාසයක් නැති අනාගතය සඳහා පා නැඟිය නොහැකි මියගිය චින්තනයක් සහිත පුද්ගලයා නිරතුරුව අතීත මතකයන්හිම ලඟිමින් ස්වයං වින්දනයක යෙදෙයි. එය ඔහුට වර්තමානයේ සිදුවන පරිණාමය අමතක කිරීමට මහඟු මත් පෙත්තකි. වර්තමානයේ සමාජ කතිකාවන් සඳහා කැඳවන්නන් එබදු අයගේ තියුණු දෝෂ දර්ශනයට ලක්වේ.

අතීතකාමියා කිසිවිටකත් වර්තමානයෙන් වීරයකු තෝරන්නේ නැත. ඔහු ඉතිහාසයෙන්ම වීරයෝ තෝරති. වර්තමාන ලංකාවේ තරුණ තරුණියන්ට (බහුතරයකට සැමටම නොවේ) රාවණා වීරයෙකි. රාවණා ලංකාවේ සැබැවින්ම විසුවේද යන්න පවා තවම තහවුරු නොවූ කරුණකි. එය අතීතකාමියාට ගැටලුවක් නොවේ.

ඉහත රෝගයෙන් පෙළෙන පුද්ගලයා තම ජාතිය, ආගම, කුලය අනිකා විසින් අබිබවා යතැයි නිරතුරුව සැකයෙන් පසුවෙයි. නිරතුරුව අනිකා පෙලති. තම අතීතයම උත්කර්ෂයට නංවති. එහෙත් ඔවුන් නොවටහාගන්නා කරුණක් ඇත. කවර හෝ අතීත සම්ප්‍රදායයක් අනාගතයේදී බැබළීමට ලක්වනුයේ විචාරශීලී දැනුවත් වර්තමානිකයන් පිරිසක් අතරින් බවයි. ඇදහූ පමණින් දේවල් නොබබළයි. මෙම තත්ත්වය නොවටහා ගැනීම මඟින් ඔවුහු ඛේදාන්තයක් කරා ඇදීයති. එම ඛේදාන්තය කුමක්ද? ඔවුන් පරිණාමය නොපිළිගැනීමයි. එහි අනිටුඵලයක් ලෙස සමාජයේ අතරමංව මැකී යයි. අනාගතය පිළිබඳ නුවණින් දකිනා සමාජය අතීතකාමීන්ව ඉක්මවා යයි. එය පරාජය කිරීමක් නොව පරාජය වීමකි.

ඉහත විස්තර වූ අතීත කාමයෙන් නූතන ලාංකික සමාජය දරුණු ලෙස විඩාවට පත්ව ඇත. මෙහි බිය උපදවන සුළු තත්ත්වය නම් එය රෝගයක් ලෙස ඔවුන් නොදැනීමයි. මෙබඳු රෝගයකින් සමාජය සුවපත් කළ හැකි ඖෂධ ඉදිරිපත් කරන සුජීවත්ව සිටින නිර්මාණකරුවන් උත්කර්ෂයට නැංවීම යහපත් මිනිසුන් සතු උදාර කාර්යයකි.

තමා රෝගියකු යැයි කිසියම් රෝගියකු දැන ගන්නේ නම් එය ඔහු ලබන මහත් ලාභයකි. මනස දෘෂ්ඨින්ගෙන් මුදවාගෙන දර්ශනයන්ගෙන් ප්‍රභාමත් කරගන්නා ලෙසට කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුන් වදාළේ ඉහත තත්ත්වය සලකා නොවේද? (දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ) මෙම බුදු වදන අන් කවරදාටත් වඩා ලාංකික බෞද්ධයා විෂයයෙහි වලංගු අවධියකි මේ.

මාතෘකා