දැවෙන කුස

 ඡායාරූපය:

දැවෙන කුස

මින් පෙර නොවිඳි සිසිලසක් පිපිණු මලක් අග්ගිස්සෙන් පොලව දිහා බලාගෙන රූරා වැටෙනවා. ඔබත් මාත් ඒ බැව් නොදැකීම අරුමයක් නොවෙයි. මොහොතකට නතර වී හිතන්න. පිපෙන, නොපිපුණු හැම මලකටම තමන්ට හිමි, උරුම පැහැයක්, සුවඳක් තිබේවි. අප දුටුවත් නොදුටුවත්.

හුරු නුහුරු දේ ගැන සිතිවිල්ලක නිමග්නව ඔබ ගෙවන හැම නිමේෂයක්ම මහත් අරගලයක ඇරඹුමක්, තවත් විප්ලවයක්. සමහර විටෙක එය නුහුරු වුවත් ඉන් දකින සත්‍ය, විඳින සියලු සංවේදනාවන් තවත් මොහොතකින් අභියෝගයන් සේ නැගී ඒවි, ඔබ අකමැති වුවත්. ඒ සුවඳ, ඒ පැහැය දෑත් පුරා තවරා ගන්නට වේවි, ළය පුරා විඳගන්නට වේවි. වරෙක අවසන මිහිරිව තවත් වරෙක අමිහිරි ඵල දරාවි. අතර මගහැරුණු සැමකක්ම දකිනුයේ විඩාබර, අතෘප්තකර හැඟීමකින් නම් එමග දුර්ගයක්ම වෙයි. සිත කෑගසා කියාවි, ඔබ නොවෙනස් විය යුතුයි කියා. එහෙත් ඒ සිතිවිල්ලම ඔබ වෙනස් කරාවි. ඒ තුළින් විඳි සියල්ල මිහිරි හෝ අමිහිරි සැමරුමක් ව අතීතයට තවත් එක් සත්‍යයක් සේ එක් වේවි. එක් අතකට ඔබත්, මමත් කියවා දකින්නට උත්සුක මේ ජීවිතය සුවිසල් නොමැති තරම්. නැවතුම කෙසේ වුවත් එය දිවා හෝ රැය අප ලැගුම් ගත් ඉසව්වමය. මේ ඉසව්ව ගැන නොදැන, නොසිතා නවාතැන් සොයයි නම් අප අපෙන් දුරට රැගෙන යන මිහිරිතම ස්වප්නයක්ම වේවි.

නිරන්තරයෙන් දුටු සිහින් මඳ නලට ළැදි සිනිඳු පියාපතක් මෙන් ඔහේ පාවී යයි. දෑසින් දෑසක් සොයමින් නොනිමි ගමනක, නොනිමි මගක පිය නගයි. එමග අපූර්වයි, විචිත්‍රයි. අභියෝගයක් තැවරුණු සිදුවීමක් චමත්කාරය දැන වූ ආශිර්වාදයකි. මොහොතකට සීමා වුවත් ඒ අභියෝගය බියකරු සිත්තමක්ව අසල රැඳෙනා බව නොසිතා, නොදැන හිඳින තරමට සැනසුමක් දනවයි. වරෙක සැවොම ඔබ අමතා, “ එන්න, ඔබ නගන මේ සංග්‍රාමය නවතා, හැරදමා එන්න...” එය ඇසූ අයෙක් කොඳුරා කියයි “ ඵල රහිත මහා සයුරක කිමිද සොයනා මේ සැනසුම අපට හමුනොවේවි.” එසේ නික්මෙන්නට තරම් ඔබත් ඒ සුවයට නතු වේද? මදහස අසල පියාපත් අහිමි වූ තවත් විලාපයකි. කඳුළ, දෝංකාරය. ඒ සිනහවම නොදැනී, නොතැවී අසුරු සැණින් සංග්‍රාමයකට සරදමක් වන අයුරු අරුමයක් නොවෙයිද?

ඔව්. සුවදායී සංග්‍රාමයක්...

ඉඳ හිටක මග තොටක දුටුවොතින් නැවත ඔබ

මැවෙනවා හද ඉතිං තුටු වී නගන කොක් නද

සත් සැපක් විඳ හද දෙපස

වෙතොත් ඒ නුඹ අමා වත

පුත මට ද හැකි වන මල් හුයක් පවනට

නදියකට ගලනටත් ඇළකට

ගිලෙති ගිලිහී අඹ බිඳු පාරමින

සැක හැරත් මල් දම් දෙරණකට

පටාචාරා වෙමි මමත් කවකට

වැට බඳිමි පුත ඔබ යළි නොඑන්නට

වඳිනට පතමි සෑයක් පිට මා කුස දැවෙන

සඟවා ගනිමි ඔබ ප්‍රිය සොයුරු වත

නොසිඳෙන තෙක් ඉතිං ඒ දුටු ස්වප්න විල

හඬනා සඳට පවසමි

ඔබ තරුවක් ම බව

නොසලා ඉඳිමි ඔබෙ වත දුටු කඳුළු කැට

ළිප ගිනි බත් වෙතොත් ඒ ගිනි පුපුරු හඬට මිස

නැගෙනා විට දි වෙඩි හඬ කෑ කොවුල් නද

ඉල් මහේ පිපුණු සුවහසක් මල් හිමි ඒ ඉල් මහට පමණක්ද?

එතෙක් එක්ව රිදුම් දෑත වෙළා ගත්තවුන් එක් අහුරකට නෙළා ඒ සියල්ල සැඟවූවා දැයි නිනව් නැත. තවත් වරෙක ඒ මල් දැරූ තුරුහිස් ඵල තෙක් පෙරුම් පිරුවත් ඵල නොදුටු වර කිසිත් නොදොඩා, නොපතා මියෙන්නට වූ තරම්... මල් වරා ඵල දරන්නට පෙර සියල්ල හමාර වූ සෙයකි.

ගගනතම ඉකිබිඳින එදවස සැදෑවක, හිරු සඳට පවා සිසිලස, පැහැය අහිමි වූ බව කියා සොවින් බැස ගිය අයුරු දැන් සිත්තමකි. මෘදු අහස් කුස රළු කුළින් බරව යළි යළිත් මොරසන් නගනවා. සඳ පමා වූ අහසෙහි නිති රැඳී හුන් තරු පොකුරු මුළා වී මග සෙවූ බව කවුරුන් කියා දෙන්නද?

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා