කුකුළන්ට ගිය ලෝකය

 ඡායාරූපය:

කුකුළන්ට ගිය ලෝකය

ක්‍රි.පූ පස්වන සියවසේ මුල් දශකයේ එක්තරා දවසකදී ඇතීනියානු ජෙනරාල් වරයෙකු වූ තෙමිස්ටොස්ලස්, ආක්‍රමණික පර්සියානු හමුදා සමඟ යුධ වැදීමට ග්‍රීසියේ එක්තරා මාර්ගයක් ගමන් කරමින් සිටියේය. ඔහු මාර්ගයේ පසෙක එකිනෙකා සමඟ පොර අල්ලමින් සිටි කුකුලන් දෙදෙනෙකු දැක එකවරම තම සේනාව නවත්වා ඔවුනට එය නරඹන ලෙස පවසමින් "සෙබළුනි, මේ සතුන් සටන් කරන්නේ තමන් අදහන දෙවියන් වෙනුවෙන් නොව, ඔවුන්ගේ පැරන්නන්ගේ ස්මාරක රැක ගැනීම සඳහාද නොව, ගෞරවය, නිදහස හෝ ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව උදෙසාද නොව, උන් සටන් කරන්නේ හුදෙක් එකෙක් අනෙකාට පාඩුවේ ගමන් කිරීමට ඉඩ නොදෙන නිසාය" යනුවෙන් පැවසුවේය. කතාවේ ඉතුරු අඩ ගැන සඳහනක් නොවුණත් ග්‍රීකයන් තම ආක්‍රමණිකයන්ට සැලකූ සැටි සහ එමඟින් ඔවුන්ගේ සභ්‍යත්වය ආරක්ෂා කරගත් සැටි ග්‍රීක ඉතිහාසය පිරික්සීමේදී අපට අවබෝධ කරගත හැකි අතර කුකුලන් ආශ්‍රිත උපමා කතාව එකී ග්‍රීක දර්ශනය සංකේතයට නැඟිමකි. එපමණක් නොව එබඳු අවබෝධයක් ලබාදුන් එම සත්වයාට කරන ගෞරවයක් වශයෙන් අප විසින් එම සත්වයා බෝකර, මස් කොට බැඳ හෝ රිසි වට්ටොරුවකට පිස ආහාරයට ගත් බව ගෝලීය සුපශාස්ත්‍ර ‍ෙව්දයේ ඉතිහාසය ගැන කියවීමේදී අවබෝධ කර ගත හැකිය. එහෙයින් කකුළා යනු වර්තමානය, අනාගය පමණක් නොව අතීතයද යන යුගත්‍රයම තරණය කළ අපූරු කාල යාත්‍රිකයෙකි.

වත්මන විට අපට කුකුලන්ට ගිය ලෝකයක දිවි ගෙවීමට සිදු වී ඇති බව අතිශෝක්තියක් නොවනු ඇත. මේ වන විට ලොව තුළ වෙසෙන බිලියන 23 ක් පමණ වූ සත්ව ගණයා අභිබවමින් කුකුලා ඉතා සුවිශේෂ සත්වයෙකු බවට පත්ව ඇත. එපමණක් නොව අප දැන් දිවිගෙවමින් සිටින්නේ ‘ඇන්ත්‍රොපෝසීනය‘ නම් යුගය තුළය. ග්‍රීක බසින් ‘ඇන්ත්‍රෝ‘ යනු මානවයා හඟවන පදයයි. එනම් අප ගතකරමින් සිටින්නේ මානව ක්‍රියාකාරීත්වට පෘථිවි මතුපිට භූගෝලීය ක්‍රියාකාරීත්වය සදහා බෙහෙවින්ම බලපෑම් ඇති කළ නූතන තාක්ෂණික යුගයේය. මෙවන් යුගයක් වෙනම හඳුනාගැනීම සඳහාද විද්‍යාඥයින් පොළඹවා ලූ එක් කරුණක් වුයේ අප විසින් කුකුලන් මාංශයක් වශයෙන් ආහාරයට ගැනීමට හුරු වීම සහ එමඟින් පෘථිවි භූ තලයට කර ඇති වෙනස් කම් නිසාය. එහෙයින් කුකුළා අප දිවිගෙවන කාලවකවානුව නියෝජනය කරන සංකේතය බවට අනාගතයේදී බිහි වන මානව වංශය මඟින් පිළිගනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.

මිනිසුන් අදින් වසර 7,000ත් 10,000ත් පමණ කාලයක සිට කුකුළාන් බෝකරමින් සිටින අතර කුකුලන් මුලින්ම ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ අග්නිදිග ආසියානු කලාපයේදීය යන්න පුරාවිද්‍යාඥ මතයයි. කුකුලන් ගෘහාශ්‍රිත කිරීමෙන් පසුව ඓතිහාසික යුගය තුළ සිදු වූ විවිධ සංස්කෘතික, වෙළඳ, සංක්‍රමණ සහ යුධමය වශයෙන් භූගෝලීය ප්‍රදේශ යටත් කරගැනීම ආදී කටයුතු නිසා කුකුළන්ගේ ගෝලීය ව්‍යාප්තිය සිදුවිය. මෙයට පදනම වැටී ඇත්තේ ඉන්දු නිම්න ශිෂාටාරයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි. එනම් අදින් වසර 4,000 කට පමණ පෙර හරප්පා ශිෂ්ටාචාරය සහ මැදපෙරදිග අතර පැවති වෙළඳ කටයුතුවලදී මුල්වරට වෙළඳ භාණ්ඩයක් ලෙස කුකුළන් භාවිත වී ඇත.

කුකුලන් වසර දහස් ගණනක් තිස්සේ සංස්කෘතික, කලා, සූප ශාස්ත්‍රය, විද්‍යාව සහ ආගම ආදී ක්ෂේත්‍ර අභිප්‍රෙරණය කළ නිමිත්තකි. කුකුළන් පෙර මෙන්ම තවමත් ඇතැම් සංස්කෘතිවල පූජනීය සත්වයෙකු වශයෙන් සලකනු ලබයි. රෝමානු සමයෙහි කුකුලන් යනු ඔවුන්ගේ අනාගතයේ‍ සිදු වන සිදුවීම් පිළිබඳ අනාවැකි කියවා ගැනීමට භාවිත කළ සත්ව කොට්ටාශයකි. රෝම ප්‍රාඥයෙකු වූ සිසරෝගේ ලේඛනයකට අනුව ක්‍රි පූ 249දී පැවති එක්තරා යුද්ධයකට ප්‍රථමව පෙර කී ආකාරයට කුකුළන්ට කෑම දැමුවත් උන් කෑම ප්‍රතික්ශේප කළ අතර එයින් කිපුනු එක්තර නිළදාරියෙක් එම කුකුලන් සියල්ලම නැවෙන් එළියට විසිකොට දැමුවේය. එහෙත් ඉතිහාස කතාව පවසන්නේ ඔහු එම සටන පැරදුණ බවකි.

නූතනයේ අපට දක්නට ලැබෙන කුකුලන් ඔවුන්ගේ පූර්වජ මුතුන්මිත්තන්ගෙන් බෙහෙවින්ම වෙනස් වී ඇති බව බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් කළ පර්යේෂණයකින් මෑතකදී සොයාගනු ලැබිණි. එනම් වසර දෙදහසකට පෙර ජීවත් වූ කුකුළන්ට වඩා ඔවුන්ගේ අස්ථි පංඡරය ඉතාමත් විශාල වී ඇති අතර ඔවුන්ගේ අස්ථිවල රසායනික ව්‍යුහය වඩාත් සමාන වී ඇත්තේ ඔවුන්ගේ ආහාර රටාව සමාන වී ඇති නිසා බවය. එමඟින් එම කුකුළන්ගේ ජානමය විවිධතාවන් නැති වී ඇත.

අදවන විට බ්‍රොයිලර් කුකුළකු, 1950 දශකයේදී කුකුළකු වැඩීමට ගත වන කාලයට වඩා පස්ගුණයක වේගයෙන් තරබාරු බවට පත් වෙයි. එනම් කුකුළු පැටවෙකු සති පහක් හෝ හයක් ගතවද්දී වැඩුණු කුකුලෙකු බවට පත් කර ගැනීමට නූතන තාක්ෂණය මඟින් හැකියාව ලැබී ඇත. එහෙත් ඔවුන්ගේ මෙම ශීඝ්‍ර වර්ධනය එම සතුන්ගේ අස්ථිවලින් මනාව නිරූපණය වෙයි. එම අස්ථි ගණකමින් අඩු අතර බොහෝවිට විකෘති වී ඇත. මෙහි ඇති ඛේදජනක තත්ත්වය නම් ඔවුන් පූර්ණ අවධියට පත් වූ පසුව නොමරා සිටියත් ඔවුන්ට ජීවත්වීමට හැක්කේ ඉතා කෙටි කාලයක් වීමයි. එනම් ඔවුන්ගේ විශාල ශරීර ස්කන්ධය සමඟ නොමරා මාසයක් දිවිගෙවීමට හැරියහොත් පරිසර උෂ්ණත්වය හෝ ස්වසන ආබාධ නිසා එම සතුන් බොහෝ දුරට මියයෑමට ඉඩ ඇත.

එම සතුන්ගේ ඇට කටු ලොව පුරා තිබෙන ගොවිපොළවල සහ කුණුගොඩවල එකතුවන අතර එය කල්ගතවත්ම අපගේ ෆොසිල තැන්පතුවක් බවට පත්කරණය කළ සතුන් මඟින් ජෛවගෝලය වෙනස් වීමට ලක්වූ මෙම කාලය මැනවින් නිරූපණය කරන මනා පැතිකඩක් නිර්මාණය කිරීමට සමත් වනු ඇත.

මාතෘකා