ද්‍රවිඩ සිනමාවේ තාත්විකත්වය Kaithi

 ඡායාරූපය:

ද්‍රවිඩ සිනමාවේ තාත්විකත්වය Kaithi

තාත්ත්වික නිර්මාණයක් ද්‍රවිඩ සිනමාව තුළින් දැකීමට කැමති නම් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි ‘කයිති’.

බොහෝ විචාරකයන්ගේ දෙස් විදෙස් විචාර කයිති වෙනුවෙන් ලියූ ලිපි බොහෝමයක් බලා, කියවා ඇත්තෙමි. ඒ සැම තුළම තිබුණේ කයිතිහි තාත්ත්වික බවයි. එය 100%ක්ම නිවැරදි තීරණයක් බව බලපු මට මෙන්ම ඔබටත් හැඟෙයි.

ද්‍රවිඩ සිනමාව යනු මසාලා ගුණය පිරි එකම ෆැන්ටසියකි.

“සාමාන්‍ය කොල්ලෙක් වීරයෙක් වීමක්..., අසාමාන්‍ය සටන් විලාසයක්...,ලස්සන පෙම්වතියක්...., විශාල පිරිසක් සමඟ එකම විදිහට පාරට පැන නැටීමක්....,නෙක විසිතුරු මල්, විල්, ගස්, ගෙවල්, වාහන භාවිතයක්....”

මෙන්න මේවා නැතිව එකඳු හෝ ද්‍රවිඩ ෆිල්ම් එකක් බලා තිබේද? මොහොතක් කල්පනා කර බලන්න. මා නම් නැත. මෙතෙක් බැලූ සෑම ද්‍රවිඩ චිත්‍රපටයක් තුළම මේවායින් එකක් හෝ තිබුණි. කයිති බලන තුරුම මම එවැනි ෆිල්ම් එකක් නම් බලා නැත. විශ්වාස කරනවා නම් ඉහත කියූ ඒ කිසිදු කරුණක් කයිති තුළ නැත. කයිති තුළ එකදු ගීතයක්වත් අඩංගු නැත. ප්‍රධාන නිළියක් නැත. විසිතුරු මල්, ගස්, විල්, වාහන, ගෙවල් නැත. විවිධ ඇඳුම් විලාසිතා නැත. අවුරුදු ගණනකට පෙර මතක ආවර්ජනා නැත. අසාමාන්‍ය සටන් කලාවක් නැත.

ඒවා කිසිත් නැති නම් මෙහි ඇත්තේ මොනවාද? අපි කතා කරමු. මුළු කතාවේම දිගහැරෙන්නේ එක් රාත්‍රියක් තුළ වන සිදුවීම දාමයකි. ඒ රාත්‍රිය තුළ ‘දිල්ලි’ නම් වූ තරුණයා හැඳ සිටින්නේ එකම වේට්ටියක් හා කමිසයක් පමණි. එය කතාව අවසන් වනතුරුම හැඳ සිටීම විශේෂත්වයයි. අවුරුදු 10ක් සිරගතව සිට නිදහස ලබන ඔහුගේ එකම බලාපොරොත්තුව කිසිදා නුදුටු තම දියණියගේ මුහුණ දැකීමයි. ඒ වෙනුවෙන් ඔහු තම ජීවිතයම බිල්ලට දෙමින්, කවදාවත් කිසිදු හැඳුනුම්කමක් හෝ නොමැති පොලිස් නිලධාරියකුගේ කීම විශ්වාස කර ක්‍රියා කරයි. ලොරි රියැදුරකු ලෙස ඉදිරියට ගලා යන කතාව ඒ හෝරා හතර පහ තුළ ඔහුගේ අවංක බව, පක්ෂපාතී බව මනාව පෙන්නුම් කරයි. අතරමඟදී ඔහුට මුහුණ දීමට සිදුවන සටන්වලට ඔහු මුහුණ දෙන්නේ සාමාන්‍ය මිනිසකු ලෙසිනුයි. ඒ සෑම පහරක්ම තාත්විකය. ඒ මුහුණේ ඉරියව් පවා ස්වභාවිකය.

කතාව පුරාම එතරම් වැදගත්කමක් නොවූ, එහෙත් කතාවට අමුතු රසයක් ගෙනා චරිත දෙකකි. එනම් බලෙන්ම ලොරියට නංගා ගෙන මඟ පෙන්වීමට රැගෙන යන පොඩි කොල්ලාගෙ චරිතයයි. එම චරිතය නොතිබුණි නම් කතාව ඒකාකාරී වීමටද ඉඩ තිබුණි. අනෙක් චරිතය අලුතින් පොලිසියට බැඳුණු පොලිස් නිලධාරියාය. පළමු දවසේම ඔහු තමන්ගේ රාජකාරිය දේවකාරිය මෙන් ඉටු කරයි.

කයිති තුළ මා දුටු තවත් දෙයක් නම් දිල්ලි නම් වූ මෙම පුද්ගලයා අතේ වූ මාංචු සහිතව, එක අතක පමණක් මාංචු ගලවාගෙන මේ සියලු වික්‍රමයන් සිදු කිරීමයි. ඒද පොලිස් නිලධාරියකු සමඟ වීම තවත් විශේෂත්වයකි. මේ සියලු දෑ අවසානයේ ඔහු කෙරේ විශ්වාසය තැබූ පොලිස් නිලධාරියා ඔහුගේ මාංචු නිදහස් කරයි. මා දකින පරිදි එම දර්ශනය අති විශිෂ්ටය.

හිතට සංවේදී වූ තවත් අවස්ථාවක් වන්නේ පොලිසියේ සිර වී සිටින විට පොලිස් නිලධාරියාට උදව් කරමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් අතර වූ එක සිසුවකු මියගිය විට ඒ සිසුවාගේ පෙම්වතිය විලාප දෙමින් ඇඬීමයි.. එහිදී පෙම්වතියගේ දෑසට අවංකවම කඳුළු ගලා ආ ආකාරයක් දැක ගත හැකි විය. ඒ මොහොතේ අන්බු නම් සිසුවාට පොලිස් නිලධාරියා මැරෙන තුරුම කළ පහර දීම දැක සිතට පැමිණියේ ආවේගයකි.

කෙසේ හෝ කයිති යනු අමුතුම හරයක් ඇති නිර්මාණයකි. මෑත කාලයේදි ද්‍රවිඩ සිනමාව තුළ හොඳ තාත්වික රංගනයකි.

සූර්‍යාගේ පෙර නිර්මාණවල තිබුණු දක්ෂකම ඔහුගේ සොයුරු කාර්ති තුළින්ද දැන් දැක ගත හැකිය. කාර්ති දැන් අළු ගසා දමා නැඟිටිමින් සිටියි.. කයිති යනු කාර්තිගේ පළමු වෙඩිමුරයයි. කෙසේ හෝ කාර්තිගේ හොඳ නිර්මාණ ඉදිරියේදීද අපට බලා ගැනීමට හැකිවනු ඇත. තවත් නොබැලූ අය සිටී නම් බලන්න. බලා සිතීමට යමක් ඉතිරි කරන කතාවකි..

[නිත්‍යා රූපසිංහ]

News Order: 
0
මාතෘකා