හෙමිංවේගේ ප්‍රේම සැරිය

 ඡායාරූපය:

හෙමිංවේගේ ප්‍රේම සැරිය

විසිවැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු වූ ඔහු මහ මන්දිරවල කුමර ජීවිතයක් ගත කරමින් ලේඛනයේ නිරත වූවෙක් නොවීය. පොදු ජනතාව අතර රැඳෙමි‌න් සාහිත්‍යකරණයේ යෙදුණු අර්නස්ට් හෙමිංවේ නම් ඔහුගේ සැබෑ ජීවිතයත් වික්‍රමාන්විත, කුතුහලයෙන් සපිරුණු නවකතාවක් වැන්න. මහල්ලා සහ මහ මුහුද නවකතාව වෙනුවෙන් 1954දී නොබෙල් සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ හෙතෙම ලේඛකයකු, පුවත්පත් වාර්තාකරුවකු මෙන්ම සොල්දාදුවකු, බොක්සිං ක්‍රීඩකයකු, ගොන් පොර සටන්කරුවකුද විය. එයටත් වඩා අපූර්ව ප්‍රේමවන්තයෙකි.

හැට දෙවසරක සිය ජීවිත කාලය තුළදී හෙමිංවේ සිවුවරක්ම විවාහ විය. ඔහුගේ බිරියන් වූයේ හැඩ්ලි රිචර්ඩ්සන්, පෝලින් ෆිෆර්, මාර්තා ගෙල්හෝන් සහ මාරි වෙල්ෂ්ය. ආදරයෙන් ජීවන ලලාසාව සෙවූ හෙමිංවේ නිරන්තරයෙන් නව පෙම්වතියන් සොයා ගියේය. එහෙත් මේ මහා සාහිත්‍යධරයා ඇසුරින් ඔහුගේ බිරින්දෑවරුන්ගේ ජීවිතවලට ලැබු‍ණේ ආලෝකයකි. 'අපි සියල්ලෝම හෙමිංවේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ය.' යනුවෙන් ඔහුගේ හතර වැනි හා අවසන් බිරිය වූ මාරි වරක් සිදුකළ ප්‍රකාශයෙන්ම එය පැහැදිලි වේ.

ඔහුගේ පළමු භාර්යාව වූයේ හැඩ්ලි රිචඩ්සන්ය. හෙමිංවේට ඇයව මුණගැසෙන්නේ චිකාගෝහි පැවති සාදයකදීය. දුටු සැණින් ඔවුන්ගේ හදවත් එකට යා විණි. ඇය ඔහුට වඩා අට වසරකින් වැඩිමහල් වීම දෙදෙනාගේ පෙමට බාධාවක් වූයේ නැත.

හමුවී වසරක් ඇතුළත 1921දී ඔවුන් විවාහ වී පැරිස් නුවර බලා පිටත්වේ. ඔවුන්ගේ එකම පුතු වන්නේ ජැක්ය. එසේ ගතවෙද්දී තරුණ ජනමාධ්‍යවේදිනියක වන පොලින් ෆිෆර්ව හෙමිංවේට මුණගැසෙයි. ඇය ධනවත් පවුලකින් පැවත එන නවීන විලාසිතාවන්ට ළැදි, ස්වාධීන සිතුම් පැතුම්වලින් පිරි තරුණියක වූවාය.

ඇය ඔහුගේ පවුලේ මිතුරියක් බවට පත්වන අතර විශේෂත්වය වන්නේ හැඩ්ලි සහ පොලින් හොඳ මිතුරියන් බවට පත්වීමයි. ඔවුන් අතර කොතරම් මිතුරුකමක් ඇතිවූවාද යත් වරක් තිදෙනා එකට ගිම්හාන නිවාඩුවක් ද ගතකරයි. එහෙත් කෙටි කලකින්ම හැඩ්ලි, සිය සැමියා සහ පොලින්ගේ සම්බන්ධය දැනගන්නා අතර ඔවුන්ගෙන් දුරස් වෙයි. 1927 ජනවාරි දික්කසාදය ලැබීමෙන් සය වසරක විවාහ දිවිය අවසන් වන අතර හෙමිංවේ පොලින් සමඟ විවාහ වෙයි.

ඇය හෙමිංවේගේ හිතුවක්කාරී ක්‍රියා වළක්වමින් ඔහුව පාලනය කිරීමට උත්සාහ කළාය. එයින් යුග දිවියේ අඬදබර ඇතිවිණි. ඔහුගේ භාර්යාවන් අතරින් වඩාත්ම ගර්හාවට ලක්වූයේද ඇයයි. තමන්ට කරුණාවෙන් සැලකූ හැඩ්ලිව කාන්තා මායම් භාවිත කරමින් ඔහුගෙන් වෙන්කළ බවට හෙමිංවේ පොලින්ට චෝදනා කළේය.

කෙසේ නමුත් ඔවුන්ගේ විවාහ දිවිය වසර 13ක් පුරා පැවති අතර පැට්‍රික් හා ජෝර්ජ් එම යුවළගේ දරු දෙදෙනායි.

හෙමිංවේ ලේඛකයකු ලෙස සිය ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් සිටින කාලයේදී මාර්තා ගෙල්හෝන් නමැති ප්‍රසිද්ධ යුද වාර්තාකාරිණිය හමුවේ. ප්‍රියමනාප, දක්ෂ, තීක්ෂණ තරුණියක් වූ මාර්තා හා හෙමිංවේ අතර සම්බන්ධයක් ඇතිවීමට එතරම් කාලයක් ගතවූයේ නැත.

පොලින්, හැඩ්ලි සමඟ මිතුරු වූවා මෙන්ම මර්තාද පොලින් සමඟ මිතුරු වෙයි. ඇය හෙමිංවේගේ නිවසේ සති දෙකක් ගත කරයි. අනතුරුව මර්තා නිව්යෝර්ක් බලා පිටත් වුවද හෙමිංවේට ඇය කෙරෙහි වූ ප්‍රේමයෙන් මිදීමට නොහැකි වෙයි. වහාම නිව්යෝර්ක් වෙත යන හෙමිංවේ පොලින්ද කැටුව මර්තා නැවතී සිටින හෝටලයට ගොස් ඇයව හමුවෙයි. පොලින් නැවත කීවෙස්ට් වෙත පිටත්ව යන අතර මර්තා සහ හෙමිංවේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආවරණය සඳහා පිටත්ව යයි.

පොලින් ඔවුන් වෙත දික්කසාදය ලබාදීමෙන් පසු හෙමිංවේ මර්තාව විවාහ කරගත්තත් ඔවුන්ගේ විවාහයට වැඩි ආයුෂක් තිබුණේ නැත. එයට හේතුව යුද පුවත් ආවරණය සඳහා ලොව වටා සංචාරයේ යෙදීම නිසාවෙන් වැඩි කාල සීමාවක් මර්තා නිවසේ නොරැඳීමයි. හෙමිංවේ ඉන් කෝපයට පත්වන අතර වරක් මර්තාගෙන් මෙසේ ඇසූ බව කියවේ.

'ඔබ යුද පුවත්පත් වාර්තාකාරිණියක්ද? නැති නම් මගේ නිදි යහනේ බිරිඳද?'

එම බැඳීමත් ගිලිහෙන විට හේමිංවේ ළංවෙන්නේ ලන්ඩන් නුවර විසූ ජනමාධ්‍යවේදිනියක වන මාරි වෙල්ෂ් වෙතය. ඈ ඔවුන් මුණ ගැසෙන විට දෙදෙනාම වෙනත් විවාහයන්වල බැඳී සිටිය අතර ඉන් මිදීමට දෙදෙනාම තීරණය කරයි. මෙය හෙමිංවේගේ හතරවන විවාහය වන අතර මාරිගේ තෙවන විවාහය විය.

1946දී විවාහ වන මෙම යුවළ පදිංචිය සඳහා කියුබාවට යන අතර එහි දොළොස් වසරක් ජීවත් විය. එහිදී හෙමිංවේ ඉතාලි ජාතික තරුණියක සමඟ හාද වුවද එය විවාහය බිඳ වැටීමට තරම් හේතුවක් නොවිණි. 1959දී මෙම යුවළ ඉදාගේ වෙත සංක්‍රමණය විය.

හෙමිංවේගේ විවාහයන් අතරින් දීර්ඝ කාලයක් පැවතියේ මෙම විවාහයයි. අවසන් කාලය ඔහුගේ දිවි සැරියේ පරිහානි කාල සීමාව වුවද 1961 ජූලි දෙවැනිදා මේ ලේඛකයා සිය පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසා ගන්නා තෙක්ම ඇය ඔහුව අත් නොහැර සිටියාය.

ස්වභාවයෙන්ම නිදහසට ප්‍රිය කළ පුද්ගලයකු වූ හෙමිංවේ එක් බැඳීමකට සිරකර තැබිය හැකි පුද්ගලයකු නොවීය. ඔහු විවිධ ප්‍රේමයන් කෙරෙහි යොමුවූයේ ඒ නිසා විය හැක. මේ ප්‍රසිද්ධ හා නිර්මාණශීලී මිනිසාගේ ප්‍රේමය කෙසේ වේදැයි අදහසක් ලබාගත හැකි ඔහුගේ තෙවැනි බිරිය මර්තාගේ ප්‍රකාශයකින් මෙම සටහන අවසන් කරමි.

'ඔබ අර්නස්ට් හේමිංවේගේ ඡායාරූපය දෙස බලන විට ඔහුගේ දෑස්වල දීප්තිය ඔබ වෙත යොමු වෙන්නේ කාමරයක පහනක් දැල්වූවා මෙන්ය. ඔහුට ආදරය කිරීම එම පහන් ආලෝකය තුළ ගිලී සිටින්නාක් මෙන් දැනෙන්ට ඇත. පහන නිවා දැමූ පසු අත්‍යන්තයෙන්ම ඉතිරි වන්නට ඇත්තේ ඝන අන්ධකාරය පමණකි.'

News Order: 
1
මාතෘකා