කුණු වංශ කතාව

 ඡායාරූපය:

කුණු වංශ කතාව

කුණු, කුණු ගඳය. කුණු, පිළිකුල් සහගතය. කුණු, අප්‍රිය සහගතය. කුණු, අපිරිසුදුය. කුණු, අක්‍රමවත්ය. අනුන්ගේ ඕපාදූප සොයන්නවුන්ට කියන්නේ “අනුන්ගේ කුණු හොයනවා” කියාය. සෙස්සන්ගේ කරදර ඇඟලා ගත්තවුන්ට කියන්නේ “අනුන්ගේ කුණු එකතු කර ගන්නා” කියාය. අපේ හිත්වලද ඇත්තේ එක එක වර්ගයේ කුණුය. කුණු, කොතරම් අප්‍රියසහගත වුවද කුණු ජාතික කථිකාවක් බවට පත්ව තිබේ.

කුණු ගොඩගැසී ඒවා මිනිසුන්ගේ හිස මතට කඩා වැටී මිනිසුන් උන්හිටි වනම මියගිය රටක් වේ නම් ඒ ලංකාවය. කුණු බොහෝ දෙනකුගේ සාක්කු පුරවන්නක් විය. කුණු, බොහෝ දෙනකුට ලොකු ලොකු පුටුවල ඉඩ වෙන් කරන්නක් විය.

එමෙන්ම ඇතමකු ලොකු ලොකු පුටුවලින් නෙරපා දමන්නටත් ‘කුණු ගැටලුව’ හේතු විය. ලංකාව පුරාම ‘කුණු’ ඇදීම තම ජීවිකාව කරගත් විශාල පිරිසක් සිටින්නා සේම ‘කුණු’ විකුණා ජීවත්වන්නවුන්ද විශාල පිරිසක් සිටිති.

කුණු, ව්‍යාපාරයකි. දුටුසැණින් පිළිකුල් සහගත වුවත් කුණු පිටරටින් ආනයනය කරන ලද අවස්ථාද දක්නට ලැබුණි. “කොළඹ කුණු අපට එපා” යි කියමින් වරින් වර උද්ඝෝෂණද ඇති විය. රක්ෂිත වනාන්තරයන්හි දමා යන කුණු ආහාරයට ගැනීම නිසා රෝගාතුරව මියයන වන සතුන් ප්‍රමාණය ඉතා විශාලය.

කුණු සාගරයට එක්වීමෙන් සිදුවන පාරිසරික හානිය සුළුකොට තැකිය නොහැකිය. මේ වන විටත් විශාල කොරල්පර ප්‍රමාණයක් සදාකාලිකව මියගොස් ඇති බව හඳුනාගෙන තිබේ. ශ්‍රීපාදය කරුණා කරන්නට යන බැතිමතුන් වතුර බී විසි කර දමන ප්ලාස්ටික් බෝතලය, ටොෆි කොළයද සිවුමහා ගංගාවන්ට එක්ව මුහුදට වැටෙන්නේ ලංකාවේ සිව් කොනින්ය. කුණුවල රැඳෙන පුංචි ජල බිංදුවෙන් වුව ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය සිදුවිය හැකිය. ඩෙංගු නිසා මියගිය පිරිස හා මියයන පිරිස අතිමහත්ය. ඒ කුණු හේතුවෙන්ය.

කුණු පිළිබඳව නව ප්‍රවේශයක් ආරම්භ වී තිබේ. වෙනදාට වඩා කඩිමුඩියේ කුණු අදියි. කුණු එකතු කරයි. ඇතැම් පුද්ගලයන් මෙන්ම පුද්ගල කණ්ඩායම්ද සිවිල් සංවිධානයන්ද කුණු එකතු කිරීමට පැමිණ තිබේ. එය ඉතාමත් හොඳ තත්ත්වයකි.

ඇතමුන්ට තමන් විසින්ම ඊට පෙර දිනක බස් රථයේ යන විටදී හෝ මෝටර් සයිකලයේ යන ගමන් එළියට විසිකරන ලද පොලිතින්, ප්ලාස්ටික් යනාදිය හමුවෙනු ඇත. පර්චස් කිහිපයක ජීවත් වන අප ඉතා නොසැලකිල්ලෙන් එළියට විසිකර දැමූ කුණු හමුවිය හැකිය. කුණු එකතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ පිළිබඳ ජනප්‍රිය කථිකාව වන්නේ ප්‍රතිචක්‍රීයකරණයයි. අරුවක්කාරු කුණු රඳවනය පිළිබඳ කථිකාවක් ඇති වූයේද ඊට විරුද්ධව උද්ඝෝෂණ ඇති වූද ඒ අතරදීය.

කුණු එකතු කිරීම අගය කළ කටයුත්තකි. එකතු කිරීමෙන් පමණක් කුණු ගැටලුව විසඳෙන්නේ නැත. එය බැහැර කිරීම කාලයක් තිස්සේ පොදු ජනතාවට ගැටලු ඇති කරන්නක් විය. සෑම නගර සභා බලප්‍රදේශයකම කුණු කන්දක් නිර්මාණය වන්නේ එම හේතුවෙන්ය. දිරා යන හා දිරා නොයන දෑ වශයෙන් නිවසේ එකතු වන කුණු වර්ගීකරණය කළ හැකිය.

දිරා නොයන කුණු ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට රැගෙන යෑමට ලබා දුන්නත් දිරා නොයන කුණු නිවසේදීම කොම්පෝස්ට් පොහොර බවට පත් කළ හැකි නම් එය ඉතා කාර්යක්ෂම වනු ඇත.

නිවසෙහි ප්ලාස්ටික් බැරලයකින් සාදා ගත් කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපිත කර ගැනීම සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලකි. ආපන ශාලාවන්ගෙන් වැඩි වශයෙන් ඉවතලන්නේ දිරා යන ආහාර ද්‍රව්‍යයන්ය. ආපන ශාලාවලටත් කොම්පෝස්ට් ඒකක ලබා දිය හැකිය. ගෙවතු වගාවන්ට එහි නිෂ්පාදිත කොම්පෝස්ට භාවිත කළ හැකිය.

එසේත් නොමැති නම් අලෙවි කළ හැකිය. නගර මධ්‍යයට එකතු වන කුණුවලින් හරි අඩක් එමඟින් අඩු කිරීමට හැකියාව ලැබේ. නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට එකතුවන දිරා නොයන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගතහැකි වනු ඇත. ඒ අනුව කුණු ගැටලුව විසඳීම සඳහා මහා පරිමාණ විසඳුම් හා කුඩා පරිමාණ විසඳුම් යොදාගත හැකිය.

මේ සියල්ලන්ටම වැඩිය වැදගත් වන්නේ ජනතාව යන යන තැන කුණු දැමීමෙන් වැළකීමයි. විශේෂයෙන්ම විවෘත පරිසරයට හා සංවේදී පරිසරයට කුණු මුදා හැරීමෙන් වැළකීමත් ඒ පිළිබඳ ආකල්පමය වශයෙන් සංවර්ධනයක් ඇති කර ගැනීමත්ය. එසේ නොවනතාක් කුණු කතාවලින් අපට නිදහස් වීමට නොහැකි වනු ඇත.

[ගාමිණී බස්නායක]

මාතෘකා