විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ

 ඡායාරූපය:

විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ

ස්ව ගෘහෙ පූජ්‍යතෙ මුර්ඛඃ
ස්ව ග්‍රාමෙ පූජ්‍යතෙ ප්‍රභුඃ
ස්වදේශේ පූජ්‍යතෙ රාජා
විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ

සංස්කෘත උපදේශ කාව්‍යයක් වන ව්‍යාසකාරයෙහි එන ඉහත ශ්ලෝකයෙහි සරල අදහස මෙසේය. මෝඩයා සිය නිවසේ පුදනු ලබයි. ප්‍රභූවරයා සිය ගමෙහි පුදනු ලබයි. රජතුමා සිය රටෙහි පුදනු ලබයි. විද්වතා සියලු තැන්හි පුදනු ලබයි.

ජාති, ආගම්, කුල, ගෝත්‍ර ඉක්මවා දේශ දේශාන්තරයන්හි උපහාරයට ලක්වන විද්වතුන් යම් රටක පහළ වේද එය එම රටේ බැබළීමට හේතු වෙයි. එබඳු විද්වතුන් සෑම ක්ෂේත්‍රයකම පහළවෙයි. නිදසුනක් ලෙස මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා වැනි යුග පුරුෂයන් නූතන දේශපාලන ලෝකයෙහි හමුවන විද්වතුන් ලෙස දැක්විය හැකිය. බර්ට්‍රම් රසල් නූතන දාර්ශනික ලෝකයේ නිම්වළලු පුළුල් කළ විද්වතෙකි. නිකලස් කොපර්නිකස් විද්‍යා ලෝකය බැබළවූ නූතන විද්වතායි.

ලෝකයට නව දැනුම දායාද කළ, මානව සංහතියේ පැවැත්ම තහවුරු කළ, විශිෂ්ට විද්වතුන් ස්වල්ප දෙනකු ලංකාවද බිහිකර ඇත. සෙල්වදොරේ මහාලිංගම් ශ්‍රීමතාණන් එලෙස විද්වතකු ලෙස ලෝකයෙන් පිදුම් ලැබූ ලාංකික පුත්‍රයෙකි. ක්‍රි: ව: 1926 ජනවාරි මස16 වැනි දින යාපනය අර්ධද්වීපයේ අලවෙඩ්ඩි ග්‍රාමයේ විසූ සෙල්වදොරේ සහ නාගම්මා දම්පතීන්ට පින්වත් කුමරකු උපත ලබයි. එම කුමරුට සෙල්වදොරේ මහාලිංගම් යන නාමය පියා විසින් තබන ලදි.

කුඩා කල සිටම මහාලිංගම් අධ්‍යාපනයට දක්ෂ දරුවකු විය. මූලික අධ්‍යාපනය හමාර කළ හෙතෙම වයස විස්සේදී පමණ කොළඹ කාර්මික විද්‍යාලයට සම්බන්ධ වී ඇත. වැඩිදුර අධ්‍යාපනය එංගලන්තයේ ‘මැක්ස්වැන් වික්ටෝරියා’ විද්‍යාස්ථානයෙන් ලබන මහාලිංගම් ක්‍රි: ව: 1950 දී ආචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සම්බන්ධව ඇත.

ක්‍රි: ව: 1956 ලන්ඩන් විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධිය ලබාගන්නා මහාලිංගම් යාන්ත්‍රික ඉන්ජිනේරුවකු ලෙස කීර්තියට පත්වෙයි.

ක්‍රි: ව: 1958දී ඔහු අනුනාද සංකල්පය (කම්පනය) පිළිබඳ සිදුකළ පර්යේෂණය සකල ලෝක වාසී විද්වතුන්ගේ ප්‍රසාදයට ලක්වෙයි. තමා ලද දැනුම නොමසුරුව මතු පරපුරට දායාද කළ මහාලිංගම් මහතා විශ්වකීර්තියට පත්වන ප්‍රධාන හේතුවක් ඇත.

ජෙට් එන්ජින් නිර්මාණයේ පුරෝගාමියකු වන රෝල්ස් රොයිස් (Rolls Royse) සමාගම ගැටලුවකට මුහුණ පානු ලබයි. එම සමාගම නිර්මාණය කළ ජෙට් එන්ජිම උඩු ගුවනේදී ඇති කරන බලවත් කම්පනය එම ගැටලුවයි. ඉන්ජිනේරුවන් වෙහෙසට පත් කළ මෙම ප්‍රශ්නය සඳහා ලොව පුරා විද්වතුන්ගෙන් පිළිතුරු විමසනු ලබයි. ගැටලුව සඳහා සාර්ථකවම ප්‍රතිකර්ම පෙන්වා දෙනුයේ සෙල්වදොරේ මහාලිංගම් විද්වතා විසිනි.

මහත් චිත්තාහ්ලාදයට පත් රෝල්ස් රොයිස් සමාගම මහාලිංගම් මහතාගෙන් ඉල්ලීමක් කරයි. එනම් කැමති වැටුපකට තම සමාගමට සේවය සපයන ලෙසයි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මහාලිංගම් මහතා තම එකම අරමුණ ලාංකික දරුවනට දැනුම ලබා දීම බව ප්‍රකාශ කරයි.

එම පිළිතුරෙන් විස්මයට පත් රෝල්ස් රොයිස් සමාගම තම ආයතනයට සිදුකළ මෙහෙය සඳහා අදාළ මිල විමසනු ලබයි. මුදල් ප්‍රතික්ෂේප කරන ඒ මහතා පරණ ජෙට් එන්ජිමක් ඉල්ලා සිටියි. ඒ අන් කිසිවකට නොව පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ සිසුන් සඳහා දැනුම ලබා දීමටයි. එම එන්ජිම අදට ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දක්නට ලැබෙයි.

ක්‍රි: ව: 1991 විශ්වවිද්‍යාල අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ලබන ඒ මහතා සම්මානිත ආචාර්යවරයකු ලෙස දිගු කලක් සිය සේවය සපයනු ලබයි. ක්‍රි:ව: 2005 විද්‍යාජෝති සම්මානය ඒ මහතාට පිරිනමා ලංකා ආණ්ඩුව මහත් ගෞරවයක් අත්කර ගන්නා ලදි. ක්‍රි: ව: 2015.11.03 වැනිදා සෙල්වදොරේ මහාලිංගම් ශ්‍රීමතාණෝ මෙලොව අත හැර ගියහ.

පසුගිය දිනක මෙම ලියුම්කරුත් සාහිත්‍යවේදී චූලානන්ද සමරණායකත් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ නිවසේ උඩුමහලේ ඇති කුඩා පුස්තකාලයේ ශාස්ත්‍රිය සංවාදයක යෙදී සිටියෙමු. ඒ අතර සුනිල් සෙනෙවි අන්තර්ජාලයේ ඇති ඡායාරූපයක් අපහට පෙන්වීය. රබර් සෙරෙප්පු පැලඳි සිව් දෙනකු මිනී පෙට්ටියක් කරතබාගෙන යන අතර තව තිදෙනකු පමණ පිටුපසින් ගමන් කරනු ලබයි. ඒ මහාලිංගම් ශ්‍රීමතාණන්ගේ අවසාන ගමන බවත් පසුපසින් ගමන් කරනුයේ බිරිඳ දේවකී මැතිනිය ඇතුළු අසල්වාසී කිහිප දෙනකු බවත් දැන ගන්නට ලැබිණ.

මා හට දුකක්, කම්පනයක් සහ ලැජ්ජාවක් ඇති විය. ලෝකයක් පුදනු ලැබූ විශිෂ්ඨයකුට අප මීට වඩා ඉහළ උපහාරයක් දැක්විය යුතු වූවා නොවේද?

ලංකා ඉතිහාසය පුරා ඉතිරිව ඇති විශිෂ්ට නිර්මාණ, එදා සිට ඉන්ජිනේරුවන්ගේ හැකියාවන් ප්‍රකට කරයි. සමාධි පිළිමය වැනි ප්‍රතිමා, තිසා වැව, පරාක්‍රම සමුද්‍රය වැනි මහා වැව්, රුවන්වැලිය, අභයගිරිය වැනි දාගැබ්, සීගිරිය බඳු නිමැවුම් ලාංකේය ඉන්ජිනේරුවන්ගේ විශිෂ්ටතාව පෙන්වා දෙයි. එම පරපුරේ නූතන පුරුකක් නියෝජනය කළ විශිෂ්ටයකුට අප කෙතරම් ගරු කළ යුතුව තිබුණේද?

ජාති වාදයෙන්, ආගම් වාදයෙන් ගිනිකණ වැටී ඇති ලාංකිකයනට විශිෂ්ටයන් මඟහැරී යයි. යහපත් අනාගතයක් සඳහා එම මඟහැරීම් වහා නිවැරදි කරගත යුතුව ඇත.

මාතෘකා