වැස්සට මක් වෙද?

 ඡායාරූපය:

වැස්සට මක් වෙද?

මේ මෝසම් වැහි කන්නෙ කොළ මැල්ලුම් කනවනම් ඕසෙට. ඔය තියෙන්නෙ හැම තැනම යායට කොළ පාටට. හැබැයි ඉස්සර වාගෙ නෙවෙයි, මේ මහ පොළොවට වස විෂ එකතු වෙනවා වැඩි හින්දා වැහි කාලෙ කොළ පලා ජාති අගුණ වෙන්ඩත් ඉඩ තියෙනවා. ඉස්සර නම් ඒ වාගෙ විනැම්බෑසියක් වුණෙ නෑ. මොකද කොයි කවුරුත් පොළොව කිළිටි නොකරන්ඩ වග බලා ගත්තනෙ. ඒ කාලෙ ගෑණු උන්දැලාගෙ සීරුව බැලුවෙ ගෙවත්තෙන්. ආං අරුන්දැගෙ සීරුව බලාපල්ලා වත්ත මිදුල බත් දාගෙන කන්ඩ පුළුවන් කියලයි මහ උන්දැලා කිව්වෙ. එහෙව් පොළොවට ගෙඩියක් පලයක්, ඇටයක් වැටුණම ඒක කන්ඩ පුළුවන්. යාං වෙන වැලක්, පඳුරක් උගුල්ලගෙන කන්ඩ පුළුවන්.

ඉතිං එහෙව් එකේ අපේ ගම්වල මිනිස්සු කන්ඩ බොන්ඩ දුන්නට පිං දුන්නෙ මේ මහ පොළෝ හාංදුරුවන්ට බුදු බව ලැබෙන්ඩ ඕන කියලා. අපේ අම්මා අදටත් බිම් මලක්, අනෝදා ගෙඩියක් නෙළා ගත්තමත් මහ පොළෝ හාංදුරුවන්ට පින් අත් වෙන්ඩ ඕන කියලා කියනවා. මේ වාගෙ වැහි කාලෙට කොටං හතු, වැලි බිම්මල්, පිදුරු බිම්මල් එහෙම පිපෙන්ඩ ඉඩ වැඩියි. ඇයි හුඹස් දලු උඩ ගජරාමෙට බිම්මල් පිපෙනවා නෙව. ආයෙ මොකටද දඩමසක් හෙම බිම්මල් උයා ගත්තම මිරිස් පහේ බැදලා ඇරං. බත් මරන්ඩ පුළුවන්නෙ.

ඔය වැහි කාලෙ වතුවල අඩියක් ගහන්ඩ ඉඩක් නැති වෙන්ඩ කිරි වැල් යාං වෙනවා. එව්වා වල් වැල් ගොල්ල. කරදරේ බැරුවා කියලයි මිනිස්සු කිව්වෙ. දිය පිරිච්ච හින්දා වේලෙන්නෙත් නෑ. ගිනි තියා ගන්ඩත් බෑ. හීන් දඬු කෑල්ලත් පැළ වෙනවා. එච්චරක්යෑ ඔය වැල් ගොල්ල අස්සෙ කූඩැල්ලො. කිරි වැල්වලටත් අපේ සමහර උදවිය දිය බෙරලිය කියලා කිව්වා. හැබැයි මේ ජාති දෙකක්. මේං මේ කිරි වැල්වල ළපටි දණ්ඩෙන් අපේ ගම්වල අම්මලා වෙන කාරියක් කරගත්තා. ඒ තමයි ළපැටියන්ගෙ බණ්ඩිය වේලාපුවම උන්ට මේ දඬු කෑල්ලකින් වස්ති කරපු එක. මේ ලිවිල්ල ලියන මටත් ටික්කිරි එකා කාලෙ ඔය වස්ති සාත්තුව ලැබිලා තියෙනවා.

මට මතකයි කිතුල්දෝවේ හීන් නැන්දා උන්දැගෙ ගොන් වැස්සිට කන්ඩ දෙන්ඩ මේ කිරි වැල් එක්කාසු කරගෙන යන්ඩ අපේ වත්තටත් ආවා. හීන් නැන්දා එවුන්ට ආදරේ කෙරුවේ දරුවන්ට වාගෙ. ඉතිං කියනවා කිරි වැල් කාපුවාම කිරි නම් වැඩි වෙනවා ඒ වුණාට එවුන්ටත් බඩ බුරුලෙන් යනවා කියලා. කිරි වැල්වලත් දණ්ඩ පොඩි කෙරුවම බණ්ඩක්කා වගේ හින්දා වෙන්ඩ ඇති. ඒ කාලෙම අපි දැනගෙන හිටියා එව්වයෙ දළු මිටි කිරි ටිකක් දාලා වුවමනා නම් ඇට පියළි ජාතියකුත් දාලා හින්දලා උයන්ඩ පුළුවන් වග.

එච්චරක්යෑ මිරිස් පහේ බැදලා තෙම්පරාදුවට උයලා කිරි ටිකක් දාලා පස්සගන්ඩත් පුළුවන්. අර කිව්වා වගේ බඩ බුරුලෙන් යන්නෙ නැහැ. අනිත් එක බඩෙන් බඩට බුරුල් වෙන ගතිය වෙනස්ද කොහෙද? සමහරුන්ට ඔය කතුරු මුරුංගා නැත්තං තෝර කොළ කාපුවමනෙ බුරුල් වෙන්නෙ. ආ වැස්ස කාලෙට පිරිසිදු කම ගැන සැකයක් නැතිව කන්ඩ පුළුවන් කොළ ජාතියක් තමයි තෝර කියන්නෙත්. පැණි තෝර, ඇත් තෝර ඔය වාගෙ කන්ඩ පුළුවන් තෝර ජාති කීපයක්ම තියෙනවා. තෝර පවුලටම අයිති රණවරා කොළත් මේ වාගෙ කාලෙක මැල්ලුම් කන්ඩ හොඳයි.

මැල්ලුම විතරක් නෙවෙයි තෝර හරි රණවරා කොළ හරි හොද්දට උයලා කන්ඩත් පුළුවන්. තම්බලා බොන්ඩ ගන්න රණවරා මල් වෑංජනයක් උයලා කන්ඩත් පුළුවන්.කොබෝලීල මලුත් කන එකේ රණවරා මල් කන්ඩ පුළුවන් වෙන එක අරුමයක්යෑ.

ඔය අව් අස්සෙ මේ වැහි කන්නෙත් ඇරෙන පුරන් කුඹුරුවල දිය බෙරලිය පඳුරු ඉහ උස්සනවා ආඩම්බරෙන්. නිල් මල් එක්ක. වල් නාශක එව්වා මෙව්වා වස විෂ ඉහලා නැති බව විශ්වාස නම් ආං නියම කෑමක්. ඉස්සර නම් මේවා කන්ඩ බයක් තියෙන්ඩ නැතුව ඇති. මොකද ඉවක් බවක් නැතුව රසායනික පොහොර ඉස්ස එකක්යැ. ඉතිං බැර ලෝහ තියෙයි කියලා බයකුත් නෑ. මොකද මේ වාගෙ බෝග ඉතාම ඉක්මනට පොළවෙ තියෙන සාරෙ උරා ගන්න හින්දා බැර ලෝහ තිබ්බත් කැන්ද ගන්නවා. හා ඉතිං විශ්වාස තැනකින් නෙළා ගත්තනම් දිය බෙරලිය දණ්ඩෙ නූල් ඇරලා කඳ, කොළ ඉරාගෙන අලකොළ නියඹලාව වගේ උයා ගන්ඩ පුළුවන්. කැමති නම් කිරි දාලා හින්දගන්න.

ඇයි ඉතිං මිරිස් පහේ බැදලා උයා ගන්ඩත්, මැල්ලුමකට හදා ගන්ඩත් බැරි කමක් නෑ. දිය බෙරලිය දළු උයාගන්ඩ රසම වට්ටෝරුවක් කියන්ඩද? හැබැයි මේක පහසු එකක් මිස අරුමැසි එකක් හෙම නෙවෙයි. දිය බෙරලිය දඬු නූල් ඇරලා කඳ කොළ සෝදලා ලියා ගන්ඩ මුලිම්ම. දැන් අමුමිරිස්, කෑලි මිරිස්, ලුණු, ලූනු, කරපිංචා, ඇඹුලට තක්කාලි එහෙම එකතු කරගෙන පොල් ටිකක් ගාලා ඒකටම දාලා අනා ගන්ඩ.

ඒ අතරෙ තෙල් ටිකක් ළිප තියලා රත් වුණාම අබ සුදු ලූනු ටිකක් බැදෙන්ඩ ඇරලා අර දිය බෙරලිය පොල් මැල්ලුම නැත්තං සම්බෝලෙ තෙම්පරාදු කරගන්ඩ. බතට ඉඳි ආප්පවලට එහෙමත් හොඳයි කියලා අපේ හුණු කුඹුර ගෙදර උඩහ නැන්දා කිව්වෙ.

මාතෘකා