සුළඟේ යන පරඬැල් මැද අතීතයක ගුණ සුවඳක්..

 ඡායාරූපය:

සුළඟේ යන පරඬැල් මැද අතීතයක ගුණ සුවඳක්..

“මිනිසා යනු කවරකුදැයි හරි ආකාරයෙන් හඳුනන්නේ මිනිසුන් අතරින් ස්වල්ප දෙනකු පමණි. සෑම මිනිසකුගේම ජීවිතය තමා විසින්ම නිර්මාණය කරගනු ලබන මාර්ගයකි. එය සොයමින්, අත්හදා බලමින් මිනිසා කාලය සමඟ තරගයක යෙදෙයි. එහිදී ඔහු අතින් සිදුවන අවාසිසහගත වැරදි දෙකක් සිදුකරයි. පළමුවැන්න කාලය එළැඹෙන්නට කලින් ක්‍රියාත්මක වීමය. දෙවැන්න එළැඹි අවස්ථාවට ලිස්සා යෑමට ඉඩ දීමය. සෑම මොහොතක්ම අසමසම මොහොතක් ලෙස සලකන මිනිසා එය මඟහැර ගත්තද කිසිවකු සැමවිටම මුළුමනින්ම තමා වී නොමැත. අවස්ථාවක් ලද විට අනුන්ගේ මතයන්ගේ පිහිට සොයා යෑම ඔහුට හුරුපුරුදුය.

මිනිසාට නොවැටහෙන දේවලට ඔහු නිතරම බියවෙයි. යමෙක් අධ්‍යනයකින් තොරව ඇසුරු කරන්නටද භාෂාවක් අධ්‍යයනයකින් තොරව භාවිත කරන්නටද ඕනෑම භාවිතයක් අධ්‍යයනයකින් තොරව පරිහරණයටද බියක් දක්වයි. එය තාත්විකත්වයෙන් තොර වූවකි. මිනිසුන් අතර එකඟතා ඇතිවන්නේ වැටහීමෙනි. මිනිසුන් නැණ පමණින් එසේ වටහාගන්නට උත්සාහයක යෙදෙයි. පොදු එකඟතාව කිසිවිටකත් සදාකාලික නොවේ. එය නිර්මාණය කරනුයේ සමාජ කතිකා මඟිනි.

කතිකාවන් කාලානුරූපව වෙනස් වර්ණ ගන්නා අතරම සංකේතයක සංඥාවේ අගයද ඊට අනුරුපීව වෙනස් වේ. සංකේතයක අර්ථය පහදා දීම, ගීතයක් ඔහුට දැනිය යුත්තේ කෙසේදැයි පහදා දෙනවාට සමානය. ගීතයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන හැඟෙන ආකාරය විවිධය. සංකේතයක අර්ථයද එසේය. එය දේශපාලනය විසින් මෙන්ම ප්‍රාග්ධනය විසින්ද සිදු කරයි.

සමාජයේ අද දවස නිර්මාණය වී ඇත්තේ ප්‍රතිරූප අගයන, ඒවා හඹා යන පිරිසක් වෙනුවෙනි. ගෝලීය සමාජ පරිහරණයන් සහ මෙවලම් තුළ ප්‍රදර්ශන භාණ්ඩ බවට මිනිසා පත්ව තිබේ. මිනිස් සබඳතා නිර්මාණය වී ඇත්තේ එයට සබැඳෙන පරිදිය.

මිනිසා පරිපූර්ණත්වය හඹා යන ජීවන දෘෂ්ටියෙන් ඉවත් වූයේ බොහෝ කලකට පෙරය. සමාජයෙන් ලබාගත හැකි සියල්ල, පැහැදිලිව පෙනෙන සරල මට්ටමින් පමණක් ලබාගැනීමට, සමාජයම පරිවර්තනය විය. මිනිසා වටා එකඟතා සරළ භාවිතයන් වූ බැවින් අප්‍රමාණික උත්සාහයන් සහ ගැඹුරු චින්තනයෙන් මිනිසා මිදුණි. ඔහුගේ මතය වුයේ ගැඹුරෙන් ඇති දේ අපේක්ෂා කිරීම පවා ඵල රහිත යැයි සැලකීමය. ඉන් සිදුවූ පරිවර්තනය වූයේ සමාජය තුළ අධ්‍යයනය ඉවත්වී පරිභෝජන පමණක් ඉතිරි වූ සමාජයක් නිර්මාණය වීමය. පරිභෝජන සමාජය බාහිර අලංකාරය ප්‍රමුඛ යැයි සලකන්නට ගත විට යථාර්ථය විනිවිද දැකීමේ ඥානය මිනිසා තුළින් අස්ථානගත විය. මානව ගුණය සහ එහි නිවැරදි හැඟීම මිනිසාට අමතක වූ අතර තමාට තමා අමතකව යන තරමටම බාහිර සාධක මඟින් ආරෝපණය විය. අද සමාජයේ ස්ථායී බව බිඳ වැටී මිනිසා අවිනිශ්චිත බවක පැටලී සිටින්නේ උක්ත කාරණා නිසාය. පෙර නූතනවාදී සමාජය තුළ සරළ මිනිසාට අවේණික දෘෂ්ටියක් තිබිණි. එය සමාජයට සැඟවූ අත්තිවාරමක් වැනිය. එහෙත් පශ්චාත් සමාජය තුළ එම අත්තිවාරම් හාරා ගොඩදමා තිබේ. එබැවින් අද එය ප්‍රදර්ශනත්මකය.

සියල්ල ගෝලීය චර්යාවක් බවට පත්ව ඇති සමාජයක සංස්කෘතික දේශ සීමා බැමි බිඳ හෙලමින් සියල්ල සමජාතී වෙමින් පවතී. එය කේන්ද්‍රීය දියුණු රටවල සිට පරිධියේ රටවලට කෙරෙන බලපෑමකි. නැතහොත් කේන්ද්‍රීය රටවලට තදින් බැඳ දැමීමකි. එය ප්‍රවේගයක් ඇති ශීඝ්‍ර පරිවර්තනයකි. මිනිස් ආශාවන් සංස්කෘතිය පරයා නැඟී සිටිමින්, නව්‍ය මානව ආකෘතීන් ගොඩනඟමින්, ආරම්භයේ සිටි ප්‍රේක්ෂකයා වෙනුවට පාරිභෝගිකයා නිර්මාණය වී තිබේ.

සමාජය කිසිම විටක ඒකාකාරීව පැවතුණේ නැත. එසේ පවතින්නේද නැත. පළමු අවස්ථාව පරාජය කරමින් වෙනස්වීම ලොව දහමකි. ග්‍රීක දාර්ශනික හෙරක්ලිටස්ට අනුව මිනිසා එකම ගඟකට දෙවරක් බසින විට මිනිසාත් ගඟත් දෙකම වෙනස් වෙයි. වෙනස් වීම ස්වභාවික ක්‍රියාවලියකි.

සමාජ විද්‍යාඥ ඩුර්කයිම්ට අනුව සමාජ වෙනස්වීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ජනගහන වර්ධනය සහ ශ්‍රම විභජනයයි. ශ්‍රම විභජනය රැකියා උත්පාදනයකි. පුද්ගල සංඛ්‍යාව වැඩිවීම හේතු කොට ඔවුන් අතර සිදුවන අන්තර් ක්‍රියා බහුල හා සංකීර්ණ වේ. ඉන් ඇතිවූ ප්‍රතිඵලය පැවැත්ම උදෙසා සෑම දෙනාම ඉටුකළ යුතු කාර්ය කොටසක් තිබීමත් සමාජය තුළ එක් එක් පුද්ගලයා තමාගේ පැවැත්ම උදෙසා සෙසු සමාජය විසින් ඉටු කළ යුතු යුතුකම් කෙරෙහි බලාපොරොත්තුවෙන් ජීවත්වීමත්ය. සමාජය මිනිසා තුළ ඉන්ද්‍රීය පද්ධතියක ක්‍රියාකාරීත්වයට ඩුර්කයිම් සමාන කරන්නේ එබැවිනි. යම් ඉන්ද්‍රියක් අඩපණ වේද මුළු ශරීරයටම බලපාන්නා සේ පැවැත්ම උදෙසා යමකු තම කාර්ය පැහැර හරින්නේද එම සමාජය අඩපණ වීම වැළැක්විය නොහැකිය.

ඔග්බර්න්ට අනුව සමාජයක වෙනස්වීම ඉක්මනින්ම පිළිගන්නේ තාක්ෂණික ක්ෂේත්‍රයය. ආර්ථිකය වෙනස් වෙමින් සමාජීය ලෙස වෙනස අත්විඳින්නේ එහි බලපෑමය. අවසානය වන්නේ අලුත් පරම්පරාවක බිහිවීමකි. ඉක්මනින් එවන් ආකෘතීන් ඇතිවෙමින්, බිඳ වැටෙමින් යළි ඇතිවෙමින් පවතී. යළි ඇතිවෙන සැම මොහොතකම පෙර සමාජ ආකෘතිය දෙදරා යයි. එහි බලපෑම සංස්කෘතියට මෙන්ම කලාව සහ අවබෝධය කෙරෙහි සෘජු බලපෑම් ඇතිකරයි.

රටක කලාව වර්තමානයේ ස්ථානගත යුතුව ඇත්තේ ජීවන යහපත වෙනුවෙන්ය . එය විඳීම, හැඟීම් මුදා හැරීම සඳහා මිනිසාට ඉන්ද්‍රිය ප්‍රීතියක් තිබිය යුතුය. මාධ්‍ය උපස්තම්භක මත ගොඩනැඟුණු නූතන සමාජය නොහඳුන මිනිසා සමඟ ගනුදෙනු කරමින් සිටී. ඔවුන්ගේ පරිභෝජන සමාජය සඳහා කාගේ හෝ අණ කිරීමකට කලාව නිෂ්පාදනය කරයි. එහෙත් එය ප්‍රචාරාත්මකය.

මිනිසා වෙන කවරදාකටත් වඩා අවබෝධය ප්‍රගුණ කළ යුත්තේ උක්ත කාරණා නිසාය. මිනිසාද කලාවද හරිහැටි නොහඳුනන සමාජයකට අවබෝධය අත්‍යවශ්‍යය. රෑ කල කැලයක් තරණය කිරීමේදී කිසිදු හඬක් නොඇසේ නම් අනතුර ආසන්නයේ බව වැටහීමක් තිබිය යුතුය. වැටහීම අවබෝධ කරගැනීමට නම් තේරුම් ගැනීම අවශ්‍යමය. එය ඔබ සතුය.

මාතෘකා