හයිය !

 ඡායාරූපය:

හයිය !

හදිසියේ පදික මාරුවෙන් පාර මාරුවෙන්නට ගිය මට නැවතෙන්නට සිදුවිණි. ඒ

"අක්කා !" කියමින් මගේ අතේ එල්ලුණු තරුණියක් නිසාය. ඇය ගැන මට නිනව්වක් නැත.

"ඔයාගේ හිනාවෙන් මම අඳුනගත්තේ...ඔයා අපිට පොඩි කාලේ ඉගැන්වුවා. මම ලෝ කරනවා දැන් දෙවැනි වසරේ"

එවිට මට ඇය සහ ඇගේ මලණුවන් මතක් විය.

අතිශය දුෂ්කර නාගරික පරිසරයක බොහෝ හානිදායක රකුසන් සැරි සරන ගෙන්දගම් නගරයේ ලෑලි ගෙවල් පුරවරයක සිටි පැංචන් පැංචියන් මගේ මතකය හාරා සොයාගතිමි. එකම වයසේ සිටි අසල්වැසි යහළුවන් මත්කුඩු රකුසා ඩැහැගත් හැටි, ඔවුන් වැහැරෙන හැටි උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ දුටුවෙමි.

මේ විපතින් මේ දරුවන් ගලවා ගන්නේ කෙසේදැයි ලතවෙමින් කාලයක් ගෙවමින් හිඳ ඔවුන් වෙනුවෙන් දහම් පාසලේ කලා කටයුතු ආරම්භ කළෙමු.

කථික, විවාද සහ සාහිත්‍ය තරග සඳහා ඔවුන් උනන්දු කළෙමු. කෙතරම් බාධක තිබුණත් ඒ සියල්ල චිත්ත ධෛර්යයෙන් පරාජය වන හැටි පසක් කළෙමු.

මත්ද්‍රව්‍ය ඒකාධිකාරිය බෙහෙවින් පැතිර තිබෙන්නේ මුඩුක්කු ආශ්‍රිත දුෂ්කර මෙන්ම ජන ඝනත්වය වැඩි මෙවැනි ප්‍රදේශවලය. ආගමික නායකයන් පණ පෙවිය යුත්තේ සමාජය වනසන සුලු මෙවැනි අහිතකර ව්‍යාපාර මැඬලීමටය.

අද මා එකී සමාජයේම වසර විස්සක් පරිණතව සිටින්නෙමි. මත්ද්‍රව්‍ය උවදුර එදාටත් වඩා අද තම ආධිපත්‍යය පතුරවමින් තිබේ.

“අනේ පුතේ අපි ඇවිදගෙන එනකොට පාරේ කුඩු ගහලා වැටිලා හිටියා කොල්ලෝ කීප දෙනෙක්” තම නිවස ආශ්‍රිත පරිසරයේ මතට ඇති නැඹුරුව එලෙස මා හමුවේ තැබුවේ මිතුරියකගේ මවය.

“ජීවිතේ කියන්නේ මේ විඳීමට නෙමෙයි පුතා”

මට වඩා වසර 6ක් බාල ඒ තරුණයා සායනය වෙත ගෙනැවිත් තිබුණේ ඔහුගේම පියාය. ඒ දරුණු මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී තම ඉගෙනුම කඩාකප්පල් කරගෙන මවට සහ පියාට කරදර කරමින් මුදල් ඉල්ලා කලබගෑනි කරන්නට ගත් විටය. ඔහු පළමු වැනි වතාවට එවන් ආන්තරායක මත්ද්‍රව්‍යයක් භාවිත කර තිබුණේ තම යහළුවකු සමඟිනි. අපට මුණගැසුණු තවත් තරුණියක් සිය පෙම්වතා නිසා මෙයට ඇබ්බැහි වී තිබිණ. පුනරුත්ථාපන කඳවුරු මඟින් මෙවැනි පුද්ගලයන්ගේ ඇබ්බැහිය වළක්වා ගැනීමට මහඟු උපකාරයක් සිදු කරයි. ඇවිදින ඇටසැකිල්ලක් මෙන් බඩ පිට පොත්තට ඇලී ඇති එවැනි දිරාපත් වීම් මත් උවදුරට ගොදුරු වූවන් කෙරෙන් පෙනෙන ලක්ෂණයකි.

මිනිස් සිරුර තුළ සන්නිවේදනය සිදුවන්නේ නොයෙක් රසායන ද්‍රව්‍ය මඟිනි. එවැනි රසායන ද්‍රව්‍යවලින් සැදුම් ලත් මොළයේ සන්නිවේදන පද්ධතිය වෙත බලපෑම් කරන අතර එමඟින් මොළයේ ස්නායු සෛල අතර තොරතුරු හුවමාරු කිරීම සහ ශරීරය සහ මනස අතර ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට ලක් වේ. මේ අසාමාන්‍ය රසායනික ක්‍රියා “විඳීමක්”ලෙස ඇබ්බැහිවන සුළුය. අපේ ශරීරයේ සාමාන්‍ය ප්‍රතිග්‍රාහක ක්‍රියා අනුකරණය කිරීම හෝ වැඩි වර්ධනය කරමින් ඉන්ද්‍රිය, අවයව කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.

තත්‍ය ලෝකයේ ජීවන ආතතිය හා කාල සටන සමඟ මවුපියන්ට දරුවන් මඟ හැරේ. අද සමාජයේ බොහෝ දෙනකුට දරුණු ලෙස දරුවන් මඟ හැරෙමින් පවතී.

මේ ඇබ්බැහිවීමෙන් මුදාගැනීම පිණිස සෞඛ්‍ය ක්ෂේත්‍රය, නීති අංශය, සමාජ සේවා අංශ මෙන්ම එම පුද්ගලයන්ට සමීපතමයන් ඇතුළු පවුල්වල අයද විශාල කැපකිරීමක් කළ යුතුය. සියලු ක්‍රියාවන්ට මූලික වූ මනස හානිදායක වූ ඇබ්බැහිවීම්වලින් මුදා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

පාසල් අධ්‍යාපනය තුළින් මේ හානිදායී ගැටලුව ගැන සාධනීය මැදිහත්වීමක් නොවන්නේයැයි සිතෙන්නේ උගත් නූගත් සියල්ලෝම මෙයට ගොදුරු වන නිසාය.

නවත්වන තැන්වලදී පාර පුරා බුලත් කෙළ ගසමින් ත්‍රීවීල් රථය පැද යන තරුණයා විසි හැවිරිදි වියේ විය යුතුය.

“ඇයි පුතා බුලත් විට කන්නේ? තරුණ දරුවෙක්නේ”

“නිදිමත එනවා මිස්” ඔහු කියයි

“ දන්නවානේ මුඛ පිළිකාවට මුල බුලත් හුනු , සිගරට්”

“අනේ දැනන් හිටියේ නෑ මිස්” ඔහු පවසයි.

“අදම නවත්වන්න, තාම පොඩි වයසනේ?"

මම හැකි අයුරින් ඔහුට එහි ප්‍රතිවිපාක කියා දුනිමි.

"අනේ පුතේ ඕගොල්ලොවත් කියන්න මේ තරුණ දරුවෝ සිගරට් එකට ඇබ්බැහිවෙලා. වැඩිහිටියොත් ඒවා ප්‍රමෝට් කරන්න කතා කියනවා. ගංජා හෙරොයින් මේවාට නිකම්ම ඇදිලා යනවා. මට හරි දුකයි"

මුහුණුපොත මත තම අදහස් දක්වන ලලිතා මහත්මිය නිතර ඒ ගැන ලියන්නීය. එහෙව් දරුවන් හොයාගෙන ගොස් ඔවුනට ඉන් මිදී නිසි මඟ යන්නට උදවු උපකාර කරන්නීය.

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කොතෙකුත්ද යත් කල්ගත වෙත්ම ශරීරය ඔරොත්තු දෙන ප්‍රමාණය වැඩිවීම නිසා අධික මාත්‍රා ගැනීමට බොහෝවිට පෙලඹේ. මෙලෙස ගනු ලබන අධික මාත්‍රා මරණයට පවා හේතුවන බව ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත කතා තුළින් දකින්නෙමු. මේ ඇබ්බැහි වීම තුළින් කායික ගැටලු මෙන්ම මානසික ගැටලුද ඇතිවේ. මානසික අවපීඩනය හෙවත් විෂාධිය, කාංසාව ඇතිවිය හැකි අතර සියදිවි නසාගැනීමේ අවදානම මත්ද්‍රව්‍ය නිසා ඇතිවන සංකූලතාවයන්ගේ

අතුරුඵලයකි.

අතිශය බිහිසුණු සමාජයක දරුවන් හරි හැටි හදාගැනීම මහත් වූ යුද්ධයකි. එහෙත් අපමණ බාධක කරදර මැදින් හෝ අප දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයැයි මට සිතේ.

ජීවිතේ ජයගන්න හා මිහිපිට ජීවත් වෙන්න ඇති "හයිය" චිත්ත ධෛර්යය මිසක මත් රසායනික ද්‍රව්‍ය නොවන බව ඔවුනට වටහා දිය යුතුය

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා