පෙනිසිලින් සඳහා නොබෙල් ත්‍යාගය හිමි විය යුත්තේ දුටුගැමුණුටද?

 ඡායාරූපය:

පෙනිසිලින් සඳහා නොබෙල් ත්‍යාගය හිමි විය යුත්තේ දුටුගැමුණුටද?

 

ලොව ප්‍රථම වතාවට පෙනිසිලින් සොයා ගැනීම පිළිබඳ ගෞරවය දුටුගැමුණු රජුට හිමිවිය යුතු බව එක්තරා ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු විසින් ප්‍රකාශ කරන වීඩියෝවක්

මුහුණුපොතේ හුවමාරු වෙමින් ඇත. එහිදී ඔහු කියන්නේ දුටුගැමුණු රජු යුද්ධයේදී තුවාළ වූ සෙබළුන්ගේ තුවාල, පුස් කෑ පැණි කැවුම් තබා බැඳ සුවවෙන්නට හැරීමට අණ කළ බවයි.

එම සඳහනත් සමඟ මීට වසර දෙදකට පෙර එනම් 2017 වර්ෂයේදී Nature සඟරාවේ පළවූ පරයේෂණ පත්‍රිකාවක අඩංගු වූ කරුණු පිළිබඳ මගේ මතකය අවදි විය. එනම් එහි අන්තර්ගත වී තිබුණේ ස්පාඤ්ඤයේ සහ බෙල්ජියමේදී නියන්ඩතාලයන් පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් කළ නව සොයාගැනීමක් පිළිබඳවය. එනම් එම පර්යේෂක කණ්ඩායම විසින් අධ්‍යයනය කරන ලද නියන්ඩතාල් මානවයකුගේ චාර්වක දත්වල බැඳී තිබූ මැලියම්වල රැඳී තිබුණ ෆොසිල රෝගකාරක බැක්ටීරියා (Enterocytozoon bieneusi) අධ්‍යයනය මඟින් එම නියන්ඩතාල් මානවයා අධික පාචන තත්ත්වයකින් පසු වූ බවද ඔහු එය සුව කර ගැනීම සඳහා පැළෑටි වර්ග ආහාරයට ගෙන ඇති අතර එම ආහාරයට ගත් පැළෑටිවල නූතනයේදී පෙනිසිලින් වශයෙන් හඳුන ගන්නා (Penicillium ruben) ප්‍රතිජීව නාශක අඩංගු වී ඇති බවද ඔවුන් විසින් සොයාගෙන තිබිණි. එනම් අදින් වසර 48,000කට පෙරදී ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් පෙනිසිලින් අඩංගු වූ පැළෑටි ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වයන් සුව වන බවට දැනුමක් එම නියන්ඩතාල් මානවයන්ට තිබී ඇත.

මේ අනුව බලන විට මෙම ජීව විද්‍යා ගුරුවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් අසත්‍යයක් බවට පත් වෙයි. එනම් පෙනිසිලින් ඖෂධය මුල්වරට ලෝකයට සොයාගත්තේ දුටුගැමුණු රාජ්‍ය කාලයේය යන්නය. අනෙක් අතට එය ඔහු විසින් විද්‍යානුකූල පදනමකින් තොරව සිදුකරනු ලබන ප්‍රකාශයක් වන අතර එය මේ දක්වා ඓතිහාසිකව ප්‍රත්‍යක්ෂ නොකළ කරුණකි. එහෙයින් එවැනි ප්‍රත්‍යක්ෂ නොකළ දැනුම ස්ථාපිත විද්‍යානුකූල දැනුම සේ සලකා උසස් පෙළ ජීව විද්‍යා පංතියකදී ඉගැන්වීමට තරම් ඔහු වගකීම්සහගත නොවීම ගැන අපි කණගාටු වෙමු. තවද එම ගුරුවරයා උසස් පෙළ ජීව විද්‍යා ගුරුවරයෙකු වශයෙන් තම විෂය ක්ෂේත්‍රයට විෂය වන නව පර්යේෂණ දැනුම කෙරෙහි මීට වඩා සංවේදී වන්නේ නම් ඔහුටද ඔහු යටතේ ඉගෙන ගනු ලබන සිසු දරු දැරියන්ටද මීට වඩා සෙතක් වනු නියතය. ඔහු විසින් සිදුකළ ඇතැම් දේශනවල සාවද්‍ය තැන් ඔහුගෙන් ඉගෙන ගත් වෛද්‍ය සිසු සිසුවියන් මැදිහත් වී නිවැරදි කළ බවද ඔහුගේ මුහුණු පොතේ ඇතැම් තැනක පවසා ඇත. ඒ අනුව යමින් ඔහුගේ දේශන සඳහා විෂය වන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික දැනුම පිළිබඳවද මීට වඩා හැදෑරීමක් සහිතව කටයුතු කරන්නේ නම් මැනවි යන්න අපගේ අදහසයි.

අප රටේ බොහෝ දෙනෙක් කරන්නේ කොහෙන් හෝ කනින් කොනින් අසා දැනගත් යමක් තමන්ගේ හිතලු වලින් තම්බා එයට තව ලුණු ඇඹුල් එකතුකොට ප්‍රකාශ කිරීමය. එම වීඩියෝව අවසානයේ රාවණා රජතුමා විසින්

හෝර්ටන්තැන්නේ වී වගාව සිදු කළ බව සහ සීගිරියේ ඉහළ මාලිගා සඳහා පහළ සිට ජලය ගෙන ගිය බවට වන ඔහු විසින් සිදුකරන ප්‍රකාශ ද, එබඳු විද්‍යානුකූල පදනමක් නැති අසත්‍ය ප්‍රකාශ වන අතර ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව ජලය ඉහළට ගෙනයෑමේ තාක්ෂණයක් සීගිරිය තුළ කිසිදා නොපැවතිණි. තවද රාවනා යනු තවමත් ජනශ්‍රැතිය තුළ පවතින ප්‍රවාදයකි. රාවණාවාදීන් විසින් යෝජනා කරන කාලානුක්‍රමයන් දැනට ස්ථාපිත පුරාවිද්‍යාත්මක කාලානුක්‍රමයන් සමඟ නොගැළපෙයි.

එවැනි තත්ත්වයක් මත රාවණා විසින් හෝර්ටන් තැන්නේ බාර්ලි වගා කළ බවට වන සඳහන ප්‍රවාදයකි. මාහාචාර්ය රාජ් සෝමදේව විසින්ද එබන්දක් පවසා නොමැත. සත්‍ය නම් අදින් වසර 17,000කට පමණ පෙර හෝර්ටන් තැන්නේ බාර්ලි වගා කළ බවට පරාග විද්‍යානුකූල සාධක මඟින් තහවුරු කර තිබීමයි. එම සාධක ශ්‍රී ලංකාවේ මූල කෘෂික නැමියාවක් පිළිබඳ සුහුඹුල් සාක්ෂිය. එම ගෞරවය හිමි වන්නේ රාවණාට නොව එම කාලයේදී මධ්‍ය කඳුකරය තුළ වාසය කළ දඩකරු අන්න ගවේෂී කණ්ඩායම්වලටය ඔවුන් විසින් මේ සඳහා මූලිකව උත්සාහ කරන්නට ඇති බව පුරාවිද්‍යාත්මක මතයයි. මෙකී අසත්‍ය ප්‍රකාශවලින් පෙනෙන්නේ ගුරුවරයෙකු වශයෙන් අවම තරමින් ජීව විද්‍යා ගුරුවරයෙකු වශයෙන් ඔහුට මෙරට තුළ නූතනයේදී නිෂ්පාදනය වී ඇති පුරාවිද්‍යා දැනුම මෙන්ම පුරාණ තාක්ෂණය හා කෘෂිකර්මය ආදි විෂය ක්ෂේත්‍රවල වඩා ප්‍රචලිත හා දැනට ස්ථාපිත දැනුම කෙරෙහිද සවිඥානිකත්වයක් නොමැති බවය.

කරුණු මෙසේ පැවතියද දේශජභාවය සහ අපගේ සභ්‍යත්වය පිළිබඳ සවිඥානිකත්වයක් සිසු දරු දැරියන්ට සංජානනය කිරීම සඳහා ඔහු විසින් දරන උත්සාහය පැසසිය යුතුමය. මෙවැනි මොඩලයේ ජාතික වාදීන් විසින් නිරන්තරයෙන් සිදුකරන්නේ අපගේ අතීත ශ්‍රී විභූතිය වරනඟමින් බටහිර ඥාන දර්ශනය පිළිකෙව් කිරීමයි. එහෙත් බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරමින් පෙරදිග ගූඪවාද පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා පරිස්සම්සහගතව කළ යුතු කටයුත්තකි. එසේ නොකළහොත් ඇතැම් ඊනියා මනෝව්‍යාධික ජාතිකවාදීන්ට සිදු වී ඇත්තාක් මෙන් ඔවුන් ගූඪවාදයෙන් නතර නොවී අවසානයේ රාවණාවාදයෙන් ඉස්මුරුත්තාවට පත්ව අවසානයේ මුග්ධත්වයේ හිනිපෙත්තට නැඟීමයි. එබන්දන්ගේ විසුළුසහගත චර්යාවන් නිසා සැබෑ ජාතිකවාදීන් සහ පෙරදිග ගූඪවාදය පිළිබඳ ඉතා සංයමයකින් අධ්‍යයනය කරන්නන්ගේ පරිශ්‍රමයද නිග්‍රහයට පත්වීම නොවැළැක්විය හැකිය. එමනිසා එබඳුන්දකු ලෙස හංවඩු ගැසීමට මත්තෙන් දේශීය ඉතිහාසය සහ පුරාවිද්‍යා දැනුම විමර්ශනාත්මකව අධ්‍යයනය කරන ලෙසට අපි එම ගුරුවරයාගෙන් ඉල්ලා සිටිමු.

 

[දිනේෂ් දේවගේ]

මාතෘකා