මඟුල් යුද්ධය

 ඡායාරූපය:

මඟුල් යුද්ධය

"කාගේ හරි වෙඩිමක් කිව්වොත්...එහෙම නැත්නම් වෙනත් උත්සවයක් කිව්වොත්...කිව්ව දා ඉඳලා ඉතින් අපිට හරි වැඩ....

බඩ අඩුකර ගන්න ඕනේ. හැට්ටය අස්සෙන් එළියට පේන මස්ගොබ අඩුකර ගන්න ඕනේ. ලප කැළැල් ටික මකාගන්නත් ඕනේ. ඒ හැමදේකින්ම උත්සාහ කරන්නේ ඒ උත්සවයට එන කාටවත් දෙවැනි නොවී එතැන ඉන්න ලස්සනම කෙනා වෙන්න නේද? කවුරුවත් ඇඳපු නැති, දැකලා නැති, මිලෙන් අධිකම සාරියක්, ඇඳුම් කට්ටලයක් හොයාගන්න එක තමයි අමාරුම වැඩේ...

අපේ මහත්වරුන්ටත් එපාම කරපු කාලයක් තමයි ඒ කාලය... ඒ උත්සවය ඉවර වෙද්දි උන්දැලත් හෙම්බත් වෙලා අපි එක්කම දුවලා.

ඒ විතරක්යෑ මාසේ වියදමට තිබ්බ සල්ලි ටිකත් ඉවරයි. අන්තිමට ලෝන් එකට දාන්න තියෙන සල්ලිවලින් හරි ගාණ වැඩිම සාරිය ගන්නවා. ලෝන් එකට ඊළඟ මාසේ දාන්න බැරියැ කියලා හිතාගෙන.

අහවලාට වඩා කොහොම හරි Slim වෙලා uncommon Saree එකක් ඇඳගෙන යන්න ඕනේ කියන අදහසමයි හිතේ වැඩ කරන්නේ.

ඒ විතරක්යැ කවුරුත් මහන්නෙ නැති විදියට හැට්ටේ මහගන්නත් ඕනේ.

වටින් ගොඩින් කෝල් කරලා හොයාගන්න ඕනෙ එයාලා අඳින හැට්ට මෝස්තර, සාරියේ පාට එහෙම.

අහවලා නම් sleeve lessලු අනේ අඳින්නේ. මම කොහොමද එහෙනම් අත් දාලා මහපු හැට්ට අඳින්නේ? ඒක නිසා කිහිල්ල අස්සෙන් පනින මස්ගොබ ටික කොහොම හරි අඩු කරගෙන අඳිනවා මමත් අත් නැති හැට්ටයක් කොහොම හරි...

මේ දවස් ටිකේ රෙදි වැලට රෙදි ටිකක්වත් දාන්න යන්නෙ නෑ කළු වුණොත් කියලා බයයි.

මනමාලි වෙන්න ඉන්න කෙනාට වැඩ වැඩි හින්දා facial එකටත් වෙලාවල් නෑ කියලයි ආරංචිය. ඒත් ඉතින් එහෙම කියලා අපිට පුළුවන්ද facial එකක් නොකර ඉන්න.

කොහොම හරි ඉතින් වෙඩිමට ගියා කියමුකො. අව්වෙ නොගිහින් හිටියට මොකද මූණ එම්බාම් කරලා වගේ කියලා පේනවා. ඒත් ඉතින් කට්ටිය අහනවනේ make up එකට කීයක් ගියාද? කොහෙන්ද කළේ? කියලා.

හිතුවට මොකද වෙඩිමට කලින් slim වෙන්නත් බැරිවුණා. ඒත් හැමෝම හැරි හැරී බලනවා මගෙ දිහාම.

"අම්මෝ මම හරි ලස්සනට ඇති. අනිත් අයට වඩා මාව කැපිලා පේනව ඇති. ඒකනෙ මේ කට්ටියම මගෙ දිහා බලන්නේ. සමහරු ඉරිසියාවෙ පැලෙනවා. අර නෑනලා මස්සිනාලා මගෙ දිහා බලලා කුටු කුටු ගානවා. මම තමයි ඉන්න ලස්සනම කෙනා." ඒ වගේ සිතිවිලිවලින් හිත අහංකාරයෙන් පිරිලා. ඒ ආඩම්බරෙත් එක්ක සෙල්ෆි ගත්තා පිස්සු නැටුවා මිසක මනමාල ජෝඩුවගෙ ඇඳුමවත් හරියට බලාගන්න බැරිවුණානේ.

ඒත්... හපෝයි දෙවියනේ... එදා කට්ටියම මගෙ දිහා උනන්දුවෙන් බලලා තිබුණේ මගෙ ලස්සන කියලා.

මම හිතාගෙන හිටියට එදා කට්ටියම කතා වෙලා තියෙන්නේ මගෙ කැත ගැනයි කියලා මම දැනගත්තේ වෙඩිමට සතියකට විතර පස්සෙයි. හතර විලි ලැජ්ජාවේ බෑ ...එදා කට්ටිය හැමෝම කතාවෙලා තියෙන්නේ මම ඇඳගෙන ඉන්නේ ගැළපෙන්නෙ නැති ඇඳුමක් කියලලු. ඒ විතරක්ද මගෙ හැට්ටෙ කැත නිසාලු එයාලා ඒතරමටම මගේ දිහා බලලා තියෙන්නේ. කොන්දෙන්, කිහිල්ලෙන් මස් ගුළි පිටින් එළියට පැනලා තිබ්බලු හැට්ටෙ හීනි උර පටි අස්සෙන්..."

කාටවත්ම දෙවැනි නොවෙන්න කියලා තමන්ට නොගැළපෙන, තැනට නොගැළපෙන ඇඳුම් ඇඳගෙන ගියාම හැමෝම බලන්නේ අපේ ලස්සන නෙවෙයි. අවලස්සනයි. ඒ නිසා අපිට හිතන්න කරුණු කාරණා ගොඩක් තියෙන බවයි මුලින් කිව්ව පුංචි සිදුවීමෙන් මම ඔබට වටහා දෙන්න උත්සාහ කළේ. බොහෝ උත්සවවලදී සුලබව දකින්නට තිබෙන එවැනි සිදුවීම් අලළා ලියූවක් මිස මගේ පෞද්ගලික අත්දැකීමක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.

ඇඳුමක් ආයිත්තමක් වෙන කෙනකුගේ සිරුරට ලස්සනට ගැළපුණ පමණින් ඔබට එය ගැළපෙන්නේ නැතිවිය හැකිය. අපිට වඩා වයසින් වෙනස්, සිරුරේ හැඩයෙන් වෙනස් අය අඳින පලඳින දේ අපට ගැළපෙන්නේ නැහැ. එහෙම ඇඳුමක් ඇඳගෙන ගිය විට වගේ ඒ වගේ අවස්ථාවලදී තමන්ව වැඩි අවධානයකට ලක්වෙන්නේ ඒ ඇඳුමත් එක්ක ඇතිවන අශෝබන බව නිසයි.

සුන්දරත්වය මතුවෙන්නේ තමාගේ සිරුරට, වයසට සහ අවස්ථාවට ගැළපෙන ලෙස සැරසීමෙන්අපිට ගැලපෙන ලෙස සැරසීමෙන් පමණයි. ඒ සුන්දරත්වය සරල වූ විට එය දකින කවුරුත් නිසැකවම ඔබ අගය කරාවි.

 

[දිනේෂි අමරකෝන්]

මාතෘකා