ඔබත් ගිය විට!

 ඡායාරූපය:

ඔබත් ගිය විට!

“පුතාට මුත්‍රා ගියේ නෑ...” දහවල් සායන වටය අවසන් කර හිඳගත් ඇසිල්ලේම මවෙත දිව ආ වයස් ගත පියා පැවසුවේය.

“අන්තිමට මුත්‍රා කළේ කීයටද ?” වහා කලබල වූ මම ඇසුවෙමි.

“උදේ ගියා. ඊට පස්සෙ ගියෙම නෑ. මටත් වගක් වුණේ නෑ. ඩොක්ටර් අහනකොට මතක් වුණේ. පුතා මුත්‍රා කරන්න හැදුවා හැදුවා ඒත් ගියේ නෑ” මුත්‍රා පිට නොවීම නම් කොහෙත්ම හොඳ ලක්ෂණයක් නොවේ.

වයස විසි ගණනක් වන එම තරුණයා හට ප්‍රතිකාර කරනු ලැබූයේ මී උණ යැයි සැක සහිතව මිස මී උණ යැයි නිශ්චිත කරගෙන නොවේ. එයට හේතුව උතුරු පළාතේ ඒ වනවිටත් පැතිරෙමින් තිබුණු මී උණ වසංගතයක් තරමට කරදරකාරී වෙමින් තිබූ නිසාය.

මස් පිඬු වේදනාව, ඇසෙහි සුදු කොටසේ මඳ රත් පැහැයක් දිස් වීම, මඳ උණ තත්ත්වය සහ හිසරදය මූලිකවම දකින රෝග ලක්ෂණ වුවද මේවා ඩෙංගු උණ, මෙනින්ජි පටල ආශ්‍රිත ආසාදන අක්මා ප්‍රදාහය (හෙපටයිටිස්) වැනි රෝගවලදීද දක්නට ලැබේ. එනිසා මී උණ යැයි නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා ප්‍රතිදේහ හෙවත් MAT පරීක්ෂණය, ආසාදනයකදී ඉහළ නඟින සුදු රුධිරාණු මට්ටම සහ මුත්‍රා සමඟ ඇල්බියුමින් නම් ප්‍රෝටීනය පිටවීම යන පරීක්ෂණ සඳහන් කළ හැකිය.

මේ තරුණයා පුතුන් තිදෙනකු සිටි පවුලෙහි දැනට ඉතිරිවී සිටින එකම දරුවාය. වයස්ගත මවුපියන් රැක බලා ගන්නේ ඔහුය. ඒ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක රැකියාව කරමිනි.

“ගොවිපළ ආශ්‍රිත වැඩවල යෙදෙනවාද? වෙල් මඩ වතුර පෑගෙනවාද? කකුලේ තුවාල තිබෙනවාද?” අපි ඔහු වාට්ටුවට ඇතුළු කළ කාලයේම එම ප්‍රශ්න ටික ඇසුවා මතකය.

“ නෑ. මම බූට්ස් දාගෙන වැඩ කරන්නේ. කුඹුරුවල ඇවිදින්නට යන්නේ නෑ” ඔහු පවසයි. එහෙත් රෝග ලක්ෂණ සහ පරීක්ෂණවලින් මේ මී උණම යැයි පෙන්නුම් කරයි.

ප්‍රතිකාරය වන්නේ සුදුසු ප්‍රතිජීවකය සුදුසු මාත්‍රාව රුධිර නාල ඔස්සේ ශරීරගත කිරීමයි.

බොහෝ රෝගීන් මෙහිදී ඉක්මනින් සුව වී නැඟිට ගන්නා අතර මේ රෝගයේ ඊළඟ අදියර වන්නේ ලෙප්ටෝස්පයිරා නම් බැක්ටීරියාවට විරුද්ධව අප ශරීරය තුළ ප්‍රතිදේහ සෑදීමය. රෝගකාරක බැක්ටීරියාව සහ ප්‍රතිදේහ නිසා ඇතැම් රෝගීන්ගේ ඉන්ද්‍රිය අවයවවලට හානිකර අවස්ථා ඇතිවන අතර මේ තත්ත්වය ඇතිවන විට රෝගියාගේ මුත්‍රා යෑම අඩුවීම, ශ්වසන අපහසුතා මෙන්ම අක්මාව අඩපණ වීම නිසා ඇඟ, ඇස් කහ පැහැති වීම එමෙන්ම පෙණහලු තුළ රුධිර වහනය වැනි සංකූලතා ඇතිවිය හැකිය.

මේ තරුණයාගේද එවැනි ලක්ෂණ ඇතිවන විට දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර කළ යුතු වූයෙන් ඔහු වහා එවැනි පහසුකම් ඇති රෝහලක් වෙත මාරු කර යවනු ලැබීය.

මී උණ ඇති කරන රෝගකාරක බැක්ටීරියාව සම්ප්‍රේෂණය වන්නේ මීයන්, ගොවිපලවල සිටින සත්ත්ව විශේෂවල මුත්‍රා මඟිනි. අපේ ශරීරයේ තුවාලවලින් මෙන්ම ඒවා මිශ්‍රිත ජලයෙන් මුහුණ සෝදන විට ඇස්වල තැවරීමෙන්, මස් මාංස සකස් කරන අයවලුන් හට සතුන්ගේ මස් තරල ඔස්සේද සිරුරේ ඇසට නොපෙනෙන කුඩා කැපුම් සීරුම් ඔස්සේද ශරීරගත විය හැකිය. මේ සඳහා වැඩි අවදානමක් ඇති අය සඳහා අද වන විට එය වළක්වා ගැනීම හෙවත් prophylaxis ලෙස යම් ප්‍රතිජීවක මාත්‍රාවක් ලබා දෙන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකය. ගංවතුර වැඩි කාලවල වෛද්‍ය කඳවුරුවලට සහභාගි වීමට සිදුවී ගංවතුරට බහින්නට සිදුවූ අපටද එම ප්‍රතිජීවක

(doxycycline) ලබාගන්නට සිදුවිය.

ගොවි මහතුන්, වතු කම්කරුවන්, සත්ත්ව ගොවිපළවල වැඩ කරන අය ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිතව රෝහලට ඇතුළු වද්දීම ඒ මී උණ යැයි හඳුනා ගැනීමට තරම් එකල රෝහල් ගතවීම් ඉහළ යන්නට විය.

"මගේ ඉතිරි වුණ එකම පුතා බේරලා දෙන්න" කියමින් ඒ පියා කඳුළු සලමින් හැඬූ මතකය අදත් මසිතෙහි රැඳී තිබේ.

ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගකාරක බැක්ටීරියාව නිසා ඇතිවන සංකූලතා එකින් එකට එම තරුණයා ලක්වෙමින් සිටියේය. රුධිරයේ බැක්ටීරියා සහ ප්‍රතිදේහ සංකීර්ණ ඉවත් කරන ප්‍රතිකර්මය වන රුධිර ප්ලාස්මා හුවමාරුව අද වන විට මෙවන් සංකූලතා අවම කිරීමට ඉවහල් වී ඇත. එහෙත් මා මේ කියන කතාව සිදුවන කාලයේ එවන් ක්‍රමවේද ප්‍රචලිත වී තිබුණේ නැත.

සති කිහිපයක් ගිය තැන අප වාට්ටුවට පැමිණියේ ඉහත කී තරුණයාගේ පියාණන්ය.

"පුතා නැතිවුණා ඩොක්ටර්" කියද්දී අපට අදහාගත නොහැකි විය.

"දෙන්නෙක් යුද්ධෙන් නැති වුණා... මට හිටියේ එයා විතරයි. දැන් මම ඉඳලා මොකටද ?"

ඒ තාත්තා වාට්ටුවේ කෙටි තාප්පය අල්ලාගෙන ඉකිබිඳ හැඬූ අයුරු මට දැනුදු සිහිවේ.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා