පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ

 ඡායාරූපය:

පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ

සොබාදහමද එහි නිර්මිත මිනිසාද පුදුමාකාරය. හිරු දුටු විට වැහි බිඳු දේදුන්නක් බවට පරිවර්තනය වන්නේ සොබාදහම සුන්දරත්වයට පත්කිරීම පිණිසය. සොබාදහම මත උපන් සුන්දරත්වයන් මිනිසා ග්‍රහණය කරගන්නේ පළමු කොට දැකීමෙනි. මිනිස් ඇස පුදුමාකාර වන්නේ එබැවිනි. යම් මතුපිටක් මතට ගැටෙන ආලෝකයන් පරාවර්තනය කරගනිමින් මිනිස් මනසට සමීප කරයි. එය දැකීමකට එහා ගිය කියවීමකි. හැබැවින්ම මිනිසාගේ ආත්මයේ කැඩපත වන්නේ නේත්‍රාය. සොබාදහම සුන්දරත්වයෙන් පුරවා තබන්නේ තම දැකීම පිණිසය. එසේම අතරතුර හමුවන මිනිසාගේ පිළිබිඹුව තනන්නේද දැකීමෙනි.

මිනිසා තම ඇඳුම පැලඳුමේ සිට මිහිමත නිර්මාණය කරන බොහෝ බාහිර සුන්දරත්වයන් තම අභ්‍යන්තර සුන්දරත්වයේ ප්‍රකාශනයන්ය. ඔහු යම් රසයක් සොයා යන්නේද එය ඉටුකිරීමේ කාර්ය පැවරී ඇත්තේ තමන් සතු හැඟීම් දැනීම් අවශෝෂණය හෝ ප්‍රකාශනයන්ටය. එබැවින් මිනිසා යනු සහජයෙන්ම අපූර්වත්වය සොයා යා යුත්තෙකි. අපූර්වත්වය විඳීමද අපූරුය. යම් කෘතියක් කියවා අවසන යම් ප්‍රසංගයක් අවසන සිනමාවක් හෝ නාට්‍යයක් අවසන කවදාවත් අත්විඳ නැති තිගැස්සීම අත්විඳ තිබේනම් පෙර නොවිඳි දෙයක් ඔබ විඳ තිබේ. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට අනුව “කවදාවත් අත් නොවිඳි අත්දැකීමක් අප විසින් අනුභව කරන ලදැයි හැඟීම එම කලා කෘතිය අපූර්ව වස්තුවක් බවට පත් වීමකි.”

කිසියම් නිර්මාණයක් අපූර්ව යැයි පැවසිය හැක්කේ නිර්මාණ රැසක් රසවිඳ ඇසුරු කර පරිචය ලැබූවකුටය. යමකු ප්‍රකාශිත අපූරුයි වචනය තවකකුගේ අත්දැකීම අනුව අපූර්ව නොවී නිෂේධ වී යා හැකිය. සැමවිට යමක් හොඳ යැයි ප්‍රකාශ කරන්නේ සංසන්දනයෙනි. යම් නිෂ්පාදනයක් තමාට හොඳ වුවද ඒ පිළිබඳ පරිචයක් ඇත්තාට එය හොඳ නොවීමට හේතු විශ්ලේෂණය කරමින් ප්‍රකාශ කළ හැකිය. එය මිනිස් ගතිගුණයේ සිට භෞතික පරිසරය මෙන්ම කලාව සඳහාද පොදුය. කලාව රසවිඳීමේ මතවාද ප්‍රකාශ කිරීම සඳහා බොහෝ සෙයින් කලාව ඇසුරු කර තිබිය යුතුය. එවැන්නෝ තුලනාත්මක දෘෂ්ටියකින් රසභාවයන් ප්‍රකාශ කරති.

මිනිසා ස්වාධීනව සිතිය හැකි අයකු වුවද ඔහු වඩාත් වෙහෙසෙන්නේ අනෙක් මිනිසුන් සිතන ලෙස ජීවිතය හැඩගස්සවා ගැනීමටය. තමන් සතු සුන්දරත්වයන් පසෙක ලා අනුන් කරන දෑ අනුකරණය කරමින් අන් අයට සුන්දරයි යැයි සිතන අයුරින් ජීවත් වෙයි. ඉන් මිනිසා ලෝකය වඩා සුන්දර තැනක් කිරීමේ අවස්ථාව මඟහරවා ගෙන තිබේ. තම චින්තනය තුළ ක්‍රියාත්මක වීම පසෙකලා ප්‍රදර්ශනය උදෙසා කටයුතු කරමින් සිටියි. ඉන් සංස්කෘතියේ ගලා යෑම විචිත්‍රවත් වීම ඇනහිට තිබේ.

රැල්ෆ් ලින්ටන්ට අනුව සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ජීවත් වන මිනිසුන් අතර ඇතිවෙන පැතිරෙන දෙයකි. මුල් පරම්පරාවේ සංස්කෘතික ලක්ෂණ දෙවැනි පරම්පරාවේදී වෙනස්විය හැකි මෙන්ම ඇතැම් ලක්ෂණ නව පරම්පරාව අනුගමනය නොකරන්නටද පුළුවන. සංස්කෘතිය චර්යා ධර්ම පද්ධතියකි. එය එක් පරම්පරාවකින් ඉගෙනගත් දෙයකි. එබැවින් එය පෝෂණය වෙමින් වෙනස් වෙමින් ගලා යා යුතුය. අනුකරණය යනු එකම ආකෘතියක් යළි සෑදීමයි. ඇසූ පිරූ නැත්තෝ අනුකරණය අපූර්ව ලෙස සලකති. තාක්ෂණයෙන් පමණක් දියුණු මාධ්‍ය අනුකරණය කරපින්නාගෙන එය ජනප්‍රිය සංස්කෘතිය බවට පත් කරමින් සිටියි.

යම් කලා කෘතියක් ඇසුරු කරන විට එම මොහොතේ ලබාදෙන බාහිර අරුතෙහි ගීතවත් බවද එමඟින් ඇතිකරන චිත්ත රූප පෙළහරද ඒ ඔස්සේ ගොඩනැඟෙන අර්ථයද මිනිසා තුළ බුද්ධි කලම්බනයක් ඇති කරයි. එවන් නිර්මාණ ඇසුරු කරන මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව සොයා ගනී. රස විඳීම මිනිසා පුරුදු කරගත යුතු දෙයකි. එසේම ඊළඟ පරම්පරාවට කියා දිය යුතු දෙයකි.

භාෂාව දැනගත් පමණින් කලා නිර්මාණයක් ඇසුරු කළ පමණින් රසය නීරසය හඳුනා ගැනීම දුෂ්කරය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් පවසන පරිදි “වාසනාව ඇත්තවුන්ට නාට්‍ය රසයේ වින්දනයක් ඇතිවේ. වාසනාව නැති අය වනාහි නාට්‍ය ශාලාවේ තිබෙන ලී, ගල්, බිත්ති ආදියට සමානය.”

රස හඳුනන්නන් අල්පය. වින්දන ශක්තිය නොමැත්තා කෙතරම් කාලයක් කලා නිර්මාණ ඇසුරෙන් කාලය ගත කළද නියම රසය නොදැනෙයි. නොහඳුනයි. එබැවින් රස විඳින්නේ කෙසේදැයි කෙනකුට පුරුදු පුහුණු කර දියයුතු කාර්යභාරයකි. ජීවිතාවබෝධය පුළුල් වූ මිනිසුන් සමාජයට බිහිකළ හැක්කේ රසවිඳීමේ කුසලතා වැඩිවූ පමණටය. වින්දන කුසලතාව ඇත්තෙක් එක් කෘතියක් පරිශීලනයෙන් එක් මිනිසෙක් සිතන ආකාරය පිළිබඳ වැටහීමක් ලබා ගන්නා අතරම එය කෘතීන් සිය ගණනක් දක්වා විහිද ගිය විට සිය ගණනක් සිතන ආකාරයෙන් ඔහුට සමාජය පිළිබඳ වැටහීම සූක්ෂ්ම කර ගත හැකිය.

මිනිසුන් ජීවත් වන සමාජය මනුදම්වලින් පිරී පැවතිය යුතුය. මිනිසා අභියෝග දිනිය යුතුනම් පුළුල් සමාජාවබෝධයක් තිබිය යුතුය. “පලතුර අනුව නුඹලා ගස හඳුනා ගන්නෝය” යනුවෙන් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළහ. ඉන් උපදේශ කරවූයේ අන්තර් ඥානයෙහි වැදගත්කමයි. දකින මිනිසා කැඩපතක් සේ හඳුනාගත හැක්කේ මෙම කියවීමෙනි.

යමකුට කලා නිර්මාණයක් ඇසුරු කිරීමට වෙලාවක් තිබිය යුතුය; නිදහසේ ඇසුරු කිරීමට වෙලාව තිබිය යුතුය. සැනසිල්ලේ හිතන්නටද වෙලාව තිබිය යුතුය. එසේ නොමැති සමාජය දුප්පත්ය. මිනිසා බොහෝ තැන් වරද්දා ගන්නේ හදිස්සිය නිසාය. ඉන් මඟහැරෙන දේ බොහෝය. යම් දෙයකට යම් කාලයක් අවශ්‍ය බව හඳුනා නොගත්තෝ විඳීම අත්හැර විඳවමින් සිටිති. යමකුට හොඳ භාණ්ඩයක් තෝරා ගැනීම පහසුය. එහෙත් හොඳ කලා කෘතියක් වටහා ගැනීම අපහසුය. අපූර්වත්වය ඇත්තේ එතනය. එය දුර්ලභය.

 

මාතෘකා