තුමන්ලාගේ තාප්ප

 ඡායාරූපය:

තුමන්ලාගේ තාප්ප

‘තාප්ප’ කියූ සැණින් ඔබේ මතකයට බොහෝ දේ පැමිණේවි. ඒ බොහෝ දේ අතර සැඟවූ සංක්ෂිප්තය ‘ආරක්ෂාව’ ලෙසද ඔබ වර නඟාවි. ඒ තාප්ප තුළ ඔබ ආරක්ෂා කරන ‘වරදාන’ කාගේද යන්නද ඔබ දනී. එය එසේ වන්නේ ඔබ ‘උරුමකරුවා’ බව කියා, එහි ‘මුරකරුවා’ කළ ‘තුමන්ලා’ නිසාවෙනි. මේ කතාව ‘තුමන්ලාගේ තාප්ප’ වූ ඔබ ගැනය.

හේනට දඬු වැට ගැසූයේ භවබෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. උස් ගස් මුදුනක පැලක් අටවාගත්තේ අනතුරු දුරදීම පළවා හැරීමේ දුර දැක්ම වෙනුවෙනි. ගිනිමැලයක් දල්වාගත්තේ ආලෝකය උදෙසා පමණක්ම නොවේ. රාත්‍රියක් උණුසුම් කළ යුතු නිසාවෙනි. එමෙන්ම සීපද කීවේද කට කසනවාට නොවේ. පාළුව, කාන්සි‍ය තුළ මතුවන නින්ද පළවා හැරීමටය. නින්ද තුළ හොර රහසේ පැමිණෙන විනාශයෙන් අත්මිදීමටය. මැදුරක් ඇති බවට වහල පමණක් මතුව පෙනෙනා තාප්ප ඇත්තේ ඇයි? තාප්ප පෘෂ්ඨය දිගේ වීදුරු කටු, කම්බි ඇණ ගසා ඇත්තේ ඇයි? අට්ටාල මත අවි ගත් ආරක්ෂකයන්, සී.සී.ටී.වී කැමරා පද්ධති, ස්වයංක්‍රීය ගේට්ටු ඇත්තේ ඇයි? ඔව්, ආරක්ෂාව සඳහාය. කාගෙන් කවුරුන්වද? ඔව්, අපෙන් ඔවුන්වය. ඔවුන් අපේ කවුරුන්ද? තාමත් ඔවුන් අපේ උතුමන්ලාය. අපි ඔවුනගේ තාප්පය.

අප වීදී බැසිදා ඔවුන්ගේ තාප්පවලටත් එපිටින් ‘බැරියර්’ තැනෙන්නේ නොවේද? අප රැස්වු තැනට වතුර, කඳුළු ගෑස්, බැටන්පොලු පහර දී, බැරිම වුණොත් උණ්ඩ හෝ එවා අප විසිරුවා හරින්නේ නොවේද? ඒවාට ඔවුන්ම තනා, ඔවුන්ම හදිසියේ සම්මත කරගත් නීතී පනවා නැත්තේද? අයුතු ජන රාශී, මහජන කැළැඹීම්, අවම බල වැනි දිව උළුක් වෙන වචනවලින් අපටම තලන්නේ නොවේද? මේ කා වෙනුවෙන්ද? ඔවුනගේ වචනවලින්නම් අපේ ආරක්ෂාව වෙනුවෙනි. ඒ සියල්ලම කර අවසන ඔවුනගේ රථ පෙළට, සයිරන් හඬට අප මරබියෙන් කාණුවල බඩ නොගාන්නේද..? ඔව්, ඒ අපේ ආරක්ෂාව වෙනුවෙනි. ඔවුනගේ ජීවිත අපට එතරම් වටිනා බැවිනි. ඔවුන් ආරක්ෂා කළ විට අප ආරක්ෂා කරාවිය යන විශ්වාසය හේතුවෙනි. එතුමන්ලාගේ තාප්පය අප බව අප තාමත් සිතනා නිසාවෙනි.

කස තලන හඬින් ඔබට පෙරහැරේ ආශ්වාදය විඳින්නේ නොවේද? බෙර හඬට, නැටුමට, වැයුමට ඔබ පෙරමඟ බලන්නේ නොවේද? ඒ ඔබට කරඬුව දකින්නට ඇති හිතය. එය ඔබට දකින්නට වෙන්නේ බොහෝ නිළමෙලා ඒ ඉදිරියෙන් ඇවිද ගිය පසුය. ඇතකු පිට එය හොවා එද්දී ඔබ දෑස් නිවා නොගන්නේද? ඒ ඔබ ඇස පිනවන නිසාය. බොහෝ පෙරහැරවල් සරසන්නේ පොඩි මිනිසුන්ගේ ශ්‍රමයෙනි. ඔවුන්ගේ අප්‍රමාණ කැපවීමෙනි. දහඩියෙනි. එහෙත් ඔල්වරසන්, ප්‍රීතීඝෝෂා, සාධු නාද අයිති ලොකු මිනිසුන්ගේ තේජසටය. ශ්‍රද්ධාව මනස මූලික වූවකි. මේ සියලු මූලික කාරණා සපුරද්දි අශුද්ධ බොහෝ දේ පසුකර පැමිණිය යුතුය. පෙරහැර කසකාරයන් දැක නිමා නොවෙති. එමෙන්ම, මේ ගමනද පෙරගමන්කරුවන් හරහා කියවිය යුතු නැත. ඔබව තාප්පය කොට ගමනේ යන පෙරහැර ඉදිරියේ, කරඬුව රැගෙන යන ඇතා ඔබ යැයි පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්න. ඔවුන්ගේ සතුට ඔබේ පෙරහැර නොව, ඔබේ සතුට ඔබේ පෙරහැර කරගන්න.

ඔබ ඔබේ බිත්තිය කපරාරු කිරීම ප්‍රමාද කළද ඒ මත ‘ජයවේවා’ කියා පෝස්ටරයක් ඇලවීම ප්‍රමාද නොකරයි. එසේ ඇලවූ පෝස්ටර්වල පාප්ප බිත්තිය මත බදාම වී තිබේ. ඔබ පරාජයේ කුස්තුර ඊළඟ පෝස්ටරයෙන් වසමියි සිතා සිටී. අතීතයේ සිට මේ දක්වා කපරාරුව වෙනුවට පෝස්ටරය ඔබේ බිත්තියේය. ඔබ ඇලවූ පෝස්ටරයෙන්, ජය පැතූ ඔල්වර හඬින්, එතුමා ඔබෙන් ආරක්ෂා වීමට තාප්පයකුත් ගසා අවසන් කොට තිබේ. මෙනෙහි කරන්න. තුමන්ලා වටා ඇති ඒ තාප්ප. ඒ තාප්පවල ඔබට පාප්ප ගැල්විය නොහැකිය. ඊළඟ පෝස්ටරයත් ඒ තාප්පයේම ගසා ‘හුරේ’ දැමීමට තාමත් සිත ගත නලියන බව දැනේනම් කරුණාකර තාප්පයක හිස ගසාගන්න.

ඔවුන්, ඔබ ඒකරාශී වෙන තැන බෙදා වෙන්කර තාප්ප ගසා, ප්‍රීතියෙන් ඔවුනොවුන් එකතුවෙන කැත ඔබට පෙනුණාද? ඔබට ජාති, ආගම්, භාෂා මායිම් පෙන්වා ‘සීමාමායිම්’ නැති ඔවුනගේ ‘පට්ට ලව්’ එක දුටුවාද? තාම ලැජ්ජා නොදැණුනේද? ඔවුන් නිකාය, කුලක, ප්‍රභේද, ප්‍රතිශත පෙන්වන්නේ ඔබට පමණි. ඔවුන් බිල්ලන්, භූතයන්, රාස්සයන් මවන්නේද ඔබට පමණි. ඔවුන්ගේ එකම කුලය අපේ බලය ඔවුනතට ගැනීමය. ඒ බලය වෙනුවෙන් ඕනෑම යකෙක් ඔවුන්ට දේව දූතයෙකි. ඔබට වැසෙන ගේට්ටු, ඔබට වැටෙන බැරියර්, ඔබට පෙන්වූ භූතයන් ඔවුනට ‘සුර දූතයන්’ වූ දවසට නැත. ඒ භූතයන් එළවන්නැයි ඔබ වීදී බැසිදා ඔබට එල්ලවූ කඳුළු ගෑස්, බැටන්පොලු, ජල ප්‍රහාර ඒ ‘බිල්ලන්’ තුමන්ලාගේ තාප්ප විනිවිඳ ගොස් රොඳ බැඳද්දී ඔවුනට එල්ල නොකළ බව ඔබ දුටුවේද මිත්‍රවරුනි..?

මේ රොද බැඳීම් හෝ පිල් බෙදීම් මූලික කරගත් බල දේශපාලනයේ තාප්පය කඩා බිඳ දැමිය යුතු කාලයයි. අසල්වැසියා දෙස පාට කණ්ණාඩියෙන් බලා ඌට තලන චූන් එකෙන් මිඳී සමාජ දේශපාලනයට විතැන් විය යුතු සමයයි. එහි තිබිය යුත්තේ එකම එක කඳවුරයි. එකම එක පවුලයි. ඒ කඳවුර සමාජ සුබසාධනය උදෙසා වෙහෙස වන කඳවුරයි. ඒ පවුල ශ්‍රී ලාංකේය චින්තනය ලෝකය ඉදිරියේ ගෞරවනීයව තබන පවුලයි. අප බලය ඒකරාශී කළ යුත්තේ මේ කඳවුරු දෙක ශක්තිමත් කිරීම සඳහා පමණි. අපේ බලය යෙදිය යුත්තේ මේ කඳවුරු දෙක මැදින් අවස්ථාවාදී තාප්ප ඉදිකරන බලලෝභී කඳවුරු පරාජය කිරීමටයි. විකල්ප නැතැයි හඬමින්, තවත් කල්පයක් එතුමන්ලාටම බලය තාප්පවලින් වටකොට දිය යුතු නැත. ඕනෑම විකල්පයක් බලය යෙදීම හරහා ශක්තිමත් කළ හැකිය. ඒ වෙනුවෙන් ඔබ සමඟ, ඔබට සමාන්තරව ඇවිදින ඔබේ පන්තියේ මිනිසකු අවැසිමය. තවදුරටත් ‘තුමන්ලාගේ තාප්ප’වලට හේත්තු නොවී ‘ජන බලය’ අප වෙත ඒකරාශී කොට, අපේ තාප්පය අපි වෙනුවෙන් බඳින ශක්තිය ඇති ඒ මිනිසා සොයා යමු සහෝදරවරුනි...

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා