නීතියේ පාලනය සහ රාජ්‍ය පරිපාලකයා

 ඡායාරූපය:

නීතියේ පාලනය සහ රාජ්‍ය පරිපාලකයා

පසුගිය සතියේ ලංකාවේ පරිපාලන සංස්කෘතිය ගැන කථා කරමින් අවධාරණය කරනු ලැබූ ප්‍රධාන කාරණය වූයේ රාජ්‍ය පරිපාලනය තම කාර්යයන් ඉටු කළ යුත්තේ නීති රෙගුලාසි සහ පටිපාටිවලට යටත්ව බවය. රාජ්‍ය පරිපාලනයේ මෙම භූමිකාව රටේ පුරවැසියන් විසින් වටහා ගැනීම අත්‍යවශ්‍ය බැවින් මේ ගැන අද කථා කරමි.

රටක නීතියේ පාලනය ඇති කිරීම රැඳී තිබෙන්නේ පරිපාලකයන් නීති සහ රෙගුලාසිවලට යටත්ව ක්‍රියා කරන ආකාරය අනුවය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල පාලනය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලන නායකයන් ක්‍රියා කිරීම පමණක් ප්‍රමාණවත් නැත. රාජ්‍ය පරිපාලකයා නීති සහ රෙගුලාසිවලට යටත්ව ක්‍රියා කිරීමද අවශ්‍ය වෙයි. ව්‍යවස්ථාව දිනපතා ක්‍රියාවට නැඟීම සිදුවන්නේ නීති, රෙගුලාසි සහ පටිපාටිවලට අනුව වැඩ කිරීම මඟින් පරිපාලකයා මහජනතාව වෙතට ලබාදෙන සේවාව මඟිනි.

රාජ්‍ය අංශයේ පරිපාලකයාට තිබෙන දුෂ්කරම කාර්ය වන්නේ මේ කාර්ය පටිපාටික වගවීමය. මේ අන්දමට පටිපාටික වගවීම මඟින් අපේක්‍ෂා කරන්නේ නෛතිකත්වය පරිපාලන ක්‍රියාව තුළ සහතික කිරීමය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය පරිපාලනයට කටයුතු කිරීමට අවසර දෙන්නා වූ හෝ එවැන්නකට බැඳීම් ඇති කරන්නා වූ රටේ පවත්නා කිසියම් නීතියක් වේද ඊට අනුකූලව පරිපාලනමය තීරණ ගතයුතු වන බවය. මේ නිසා පරිපාලනයේදී වඩා වැදගත් පැතිකඩ වන්නේ රටේ නීතියයි.

රාජ්‍ය පරිපාලකයන් මතක තබාගත යුතු තවත් කරුණක් වන්නේ තමන්ගේ ක්‍රියාවන් ඉහත සඳහන් කළ මූලධර්ම නිසා විමර්ශනය හා වගකීම්සහගත බව පිළිබඳ මූලධර්මයට යටත් බවය. පාලන තීරණ ගන්නා වූ හා පොදු සේවා සපයන්නා වූ නියෝජිතයන් ඔවුන් විසින් කරන ලද ක්‍රියාවන් හෝ නොකර හැරීම් පිළිබඳව වගවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වගකීම්සහගත විය යුතුය. රාජ්‍ය පරිපාලනයේ නියුතුව සිටින රජයේ සේවකයන්ගේ ක්‍රියාවන් පාරදෘශ්‍ය බවට පත්කරලීම සඳහා ඔවුන්ගේ ක්‍රියාවන් නීති හා රෙගුලාසි මඟින් පාලනය කරනු ලබන්නේ මේ නිසාය.

මේ සියල්ලේ උපවාදය වන්නේ පැමිණිලි කිරීම හා සහන සැලසීම රාජ්‍ය පරිපාලනය සමඟ බැඳී තිබීමය. පරිපාලන තීරණයන්ට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාව පවතින අතර මහජනතාවට සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටත් සහන ඉල්ලා සිටීමටත් වන්දි ඉල්ලා සිටීමටත් ඉඩ ප්‍රස්ථාව නීතියෙන් සලසා තිබේ. මේ නිසා රාජ්‍ය පරිපාලනයේ තීන්දු තීරණ විමර්ශනයට යටත් කළ හැකිවන අතර ජනතාව මඟින් නියෝජනය කෙරෙන්නාවූ රාජ්‍ය ආයතනයන් හරහා විභාග කිරීම කළ හැක.

ජනතාවගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට හා එම පැමිණිලි සඳහා ජනතාවට සහන ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාදාමයන් ස්ථාපිත කිරීම රාජ්‍ය පරිපාලනයේ ක්‍රියාකාරීත්වය තුළ අන්තර්ගත වියයුතු වඩා වැදගත් අංගයක් වේ. ඒ අනුව ජාතික අධිකරණ, ඔම්බුඩ්ස්මන් ධුරය, ජාතික මානව හිමිකම් කොමිසම සහ පරිපාලන විනිශ්චය සභාවන් වැනි ආයතනික යාන්ත්‍රණයන් පරිපාලන ක්‍රමයේ අත්‍යවශ්‍ය අංගයන් බවට පත්ව ඇත. තමන්ගේ සේවය ලබා දෙන දේශපාලන නායකයන් බලයේ සිටියදී තමන්ව ආරක්‍ෂා කළද යම් දවසක නීතිය සහ පරිපාලන පටිපාටි විසින් තමන්ව අධිකරණ පරීක්‍ෂාවකට ලක් කරන බවත් එදාට තමන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් වගවීමට සිදුවන බව රජයේ නිල දරන්නන් දැන සිටිය යුතුය.

අනිත් අතට මහජනයා විසින් තමන්ව ඡන්දයෙන් පත් කළ නිසා “අපට ජනතා වරමක් ලැබුණේ යැයි” සඳහන් කරමින් නීතියට සහ රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකරන ලෙස පරිපාලකයන්ට නියම කරන්නට විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ට නොහැකිය. ඔවුන්ට ලැබෙන ජනවරම පාවිචිචි කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් රටේ අනිකුත් නීති සහ අනුනීතිවලටත් යටත්වය. ඔවුන්ට නීතිය ඉක්මවා යෑමට මහජනතාවගෙන් බලයක් ලැබෙන්නේ නැත. බලය ගන්නා විට “මා ඔබගේ පාලකයා නොව බාරකරුවා යැයි” කියන්නට ඔවුන්ට සිදුවන්නේ එම නිසාය.

තමන්ගේ පක්‍ෂයට ආණ්ඩු බලය ලැබෙන්නේ සියලු පුරවැසියන්ට සේවය කිරීමට බව බලයට එන දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විසින් මතක තබාගත යුතුය. ව්‍යවස්ථාව නියම කරන්නේ ඔවුන්ගේ

වැඩසටහන්වලට සමාජයේ ජනප්‍රියතාව ලබා ගැනීමට පෙර රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මඟින් ඒවාට නීතිමය වලංගුතාවක් ලබාගත යුතු බවය. දේශපාලකයන්ගේ තීරණ ක්‍රියාවට නඟන, ඒ සඳහා රාජ්‍ය සම්පත් යොදවන, රාජ්‍ය පරිපාලනය නීති සහ රෙගුලාසිවලට යටත්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කර තිබෙන්නේ මේ නිසාය.

දේශපාලනය යනු මතභේදාත්මක සහ ගැටුම්කාරී ක්ෂේත්‍රයකි. එය මෙහෙයවන්නේ දේශපාලන සහ අනිකුත් ආසාවන් මඟිනි. පරිපාලනය යනු වෘත්තීය, ශිල්පීය සහ නිල යන ආකාරයන්ගෙන් රාජ්‍ය ප්‍රතිපත්ති බලාත්මක කරන සහ පරිපූර්ණත්වයට පත් කරන්නට අවශ්‍ය දේවල් ඉටු කරන ක්ෂේත්‍රය වෙයි. එම නිසා පරිපාලන ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න නොවේ යැයි අප සඳහන් කරන්නේ මේ නිසාය. පරිපාලකයාට දේශපාලන බලපෑම්වලින් තොරව තම තනතුර ඉටු කිරීමට දේශපාලනය විසින් ඉඩ ලබාදිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි තහවුරුවන්නේ දේශපාලනය සහ පරිපාලනය අතර ඇති මේ සියුම් වෙනස ආරක්‍ෂා කළහොත්ය. මෙය අප හඳුන්වන්නේ දේශපාලන සහ පරිපාලන පරස්පරය කියාය. අපේ රටේදී මෙම පරස්පරය දක්වා නැත. ඒ වෙනුවට පවතින්නේ දේශපාලනය-පරිපාලන සංයෝගයක් ඇතිවී අකාර්යක්ෂමතාව සහ දූෂණය පරිපාලනයේ රෝග ලක්ෂණ බවට පත්වී තිබීමය.

මාතෘකා