ආබාධිත උපාධිධාරීන් කපාහැරීම

 ඡායාරූපය:

ආබාධිත උපාධිධාරීන් කපාහැරීම

පසුගිය දින කිහිපය තුළ උපාධිධාරීන් 20,000කට උපාධි පත්වීම් රජය විසින් ලබාදෙන ලදි. ඒ බව පසුගිය සතියේ අගමැතිතුමාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. එම 20,000ක් වූ ප්‍රමාණයට බාහිර උපාධිධාරීන් 800ක ප්‍රමාණයක්ද අයත් විය. පසුගිය වසර තුළද සංවර්ධන නිලධාරී පත්වීම් 15,000ක් රජය විසින් උපාධිධාරීන්ට හිමිකර දුන් අතර ඒ අතරට විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන් 50කටත් වඩා පිරිසක්ද අයත් විය.

නමුත් කනගාටුවට කාරණය නම් මෙවර විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන් ඉහත පත්වීම් ලබාදීමේදී කපා හැරීමය. මෙවරද 50කට අධික විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන් පිරිසක් සංවර්ධන නිලධාරී පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති අතර පත්වීම් ලබාදීමට පෙර සිට ඔවුහු ආර්ථික කටයුතු අමාත්‍යාංශය සමඟ කළ සාකච්ඡාවලදී ඔවුනට පත්වීම් ලබාදෙන බවට පොරොන්දු වී ඇත. නමුත් අවසන් මොහොතේ ඒ සියල්ල වෙනස් වී ඇති අතර විවිධාකාර හේතු දක්වමින් මේ වන තුරුද ඔවුනට පත්වීම් ලබාදීම අමාත්‍යාංශය විසින් මඟහැර ඇත.

අගමැති කාර්යාලය සමඟ විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන් කළ සාකච්ඡාව ඔස්සේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පත්වීම් ලබාදීමට කටයුතු කරන මෙන් දන්වා තිබුණ ද එය ද මේ වන තුරු ඵලදායී වී නැත. ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර සිටින්නේ මේ ආකාර කතාවකි.

“ ගියසැරේ පත්වීම් දුන්න අයත් ස්ථිර කරන එක අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ අයට දෙන්න රාජකාරියක් හරිහැටි නැහැ. ඉතින් අපි කොහොමද අලුත් අයව ගන්නේ. ගිය සැරේ කට්ටිය ගන්නකොට නම් කැබිනට් අනුමැතිය ලැබුණා. මේ සැරේ අයට එහෙම කැබිනට් අනුමැතියක් ලැබිලා නෑ.”

මේ සියලු හේතු ඔවුහු අවස්ථා කිහිපයක දැක්වූ හේතුවේ. ඒ වගේම මෙම හේතු කොතරම් අසාධාරණ සහ අයුක්තිසහගත දැයි බැලූ බැල්මට අපිට පෙනී යන්නකි. ප්‍රධාන වශයෙන් ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් කියන ආකාරයට විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන්ට සංවර්ධන පත්වීම් ලබාදීමේදී විශේෂ කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ කාරණය ගත් විට එය ප්‍රහේලිකාවකි. රට තුළ සියලු උපාධිධාරීන් ලබන අධ්‍යාපන ඒ ආකාරයෙන්ම ලබාගෙන ඔවුහු මුහුණදුන් විභාගවලට ඒ ආකාරයෙන්ම මුහුණදී ඇත්නම් ඔවුනට රැකියා ලබාදීමේදී විශේෂ කැබිනට් අනුමැතියක් අවශ්‍යවන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්නයකි. එය එසේ නම් රජයක් වශයෙන් ඔවුනට කරන අසාධාරණයක් නොවේද ඒ?

මීළඟ කාරණය ලෙස ඔවුන් දක්වන්නේ ඔවුනට නිසි ආකාර රාජකාරියක් බාරදීමට නොහැකි වීම හා මීට පෙර පත්වීම් ලබා දුන් උපාධිධාරීන්ද කාර්යාලවල රාජකාරියක් නොමැතිව සිටින බව හේතුවක් කරගැනීමය. අපි මේ පිළිබඳව කළු අකුරු ඔස්සේම විමර්ශනය කර මීට පෙර අවස්ථා කිහිපයකම ලියා ඇත. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වුවද ඔවුනටද කළ හැකි රාජකාරී කොටසක් ඇත. ඒ වගේම ඔවුනටද හැකියාවන් ඇත. ඒවා නිසි ලෙස හඳුනාගෙන ඔවුනට යම් රාජකාරියක් පැවරිය හැකිය. ඒ වගේම ඒ පරිසරයට රාජකාරියට හුරු වීමට ඒ පරිසරය විසින් ඔවුනට අත්වැලක් ලබා දේ නම් ඔවුන් ඒ මඟ ඉන් පසුව යනු ඇත. නමුත් ඒ කිසිවක් නොකර, කිසිවක් අත්හදා නොබලා ඔවුන් වැඩ නොකරන බවටත් ඔවුනට බාරදිය හැකි රාජකාරියක් නොමැති බවටත් චෝදනා දක්වා රැකියා ලබා නොදීම මොනතරම් අයුක්තිසහගත වේද?

ඔවුහු ද මේ රටේ ඡන්ද බලය හිමි පුරවැසියෝ වෙති. එසේම රජයේ බදු මුදල් ගෙවන සාමාන්‍ය පුරවැසියෝ වෙති. එහිදී ඒ කිසිදු කාරණයක් මුල්වන්නේ නැත. එය එසේ නම් ඔවුනට රැකියා ලබාදීමේදී කිසිවෙක් සැලකිලිමත් නොවන්නේ මන්ද යන්න ගැටලුසහගත වේ. මේ වන විට රැකියා විරහිතව සිටිනා විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන් පිළිබඳව අවධානය යොමු කිරීමට ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඇතුළු සියලු බලධාරීන් අවධානය යොමු කළ යුතුය. විශේෂ අවශ්‍යතා සහිත පිරිස වශයෙන් ඔවුනට ඇති මූලික වියදම් වෙනත් පුද්ගලයන්ට වඩා වැඩිය. සුළු රැකියාවක් කිරීමට හෝ ඔවුනට හිමිවන්නේ අවම ඉඩකි. ඉදින් රජයෙන් පවා මෙවන් අසාධාරණයක් ඔවුනට වේ නම් ඔවුන් ලබන්නේ කාගේ සරණද?

ඒ වගේම මේ වන විට 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ ඉදිරිපත් වෙමින් සිටිති. ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ද ඉදිරිපත් කරමින් සිටිති. ඒවායේ මූලික අවධානයක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් හා ඔවුනට පවතින ගැටලු පිළිබඳව යොමු වේ නම් මෙරට වෙසෙන ලක්ෂ පහළොවකට අධික ඔවුනගේ ඡන්දය ඒ අපේක්ෂකයාට හිමිවනු ඇත. ඒ වගේම ඔවුන් පිළිබඳව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට එක් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව සිහි තබා ගත යුතුම කාරණයක් වේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුය. වැදගත්වන්නේ එයයි. ඡන්ද අපේක්ෂකයන්ගේ සාමාන්‍ය ස්වභාව වන රැවටීම් ඔවුනට ද නොකළ යුතුය.

නැවත වරක් සිහිපත් කර සිටින්නේ දැනට පත්වීම් ලබාදීමේදී කපාහැර ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිරිසට සාධාරණයක් ඉටු කිරීමට ජනපති, අගමැති ඇතුළු ආර්ථික කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතුය. වසර ගණනක් දුක් විඳ අධ්‍යාපනය ලැබූ ඔවුනට සාධාරණයක් ඉටු කළ යුතු නොවේද?

 

[සත්‍යා නිර්මාණි]

මාතෘකා