මගේ බෙංගාලි ළමා විය

 ඡායාරූපය:

මගේ බෙංගාලි ළමා විය

බංග්ලාදේශ ජාතික කිවිඳියක, ලේඛිකාවක සහ පුවත්පත් තීරු ලිපි රචිකාවියක වන තස්ලිමා නස්රිනාගේ නම නොඇසූ කෙනෙක් සාහිත්‍යයට ළැදි අය අතර නොමැති තරම්ය. ඒ ඇය දශක ගණනාවක සිට ආගමික අන්තවාදයට හා පුරුෂාධිපත්‍යයට එරෙහිව සිය නිර්මාණ ඔස්සේ සිදුකරන අනවර්ත අරගලය නිසාවෙනි.

70 දශකයේ මැද භාගයේ සිටම ලේඛනයේ නිරත වන ඇයගේ ජනප්‍රියතම මෙන්ම ආන්දෝලනාත්මක කෘතිය වන්නේ 1993දී ප්‍රකාශයට පත්වූ 'ලජ්ජා' නම් කෘතියයි. බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් හින්දු ජාතිකයන්ට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩත්වය හෙළිදරව් කළ එම නවකතාව නිකුත් වීමෙන් පසු මූලධර්මවාදීන්ගෙන් ඇයට මරණ තර්ජන එල්ල විය. ඉස්ලාම් මූලධර්මවාදය ක්‍රියාත්මක වූ පරිසරයක කුඩා කාලයේදී ඇය හැදීවැඩුණු බැවින් තස්ලිමාගේ ළමා කාලය එතරම් සොඳුරු නොවීය. ඇය පසුකාලයේදී සිය ළමාවිය ඇසුරින් මේබිලා (Meyebela) - මගේ බොංගාලි ළමාවිය නම් ග්‍රන්ථයක් ලියුවාය. එය ඇයගේ ස්වයංචරිතාපදාන මාලාවේ පළමුවැන්නද වේ. අද අහස් ගඟේ ලියවෙන්නේ එම ග්‍රන්ථයෙන් සහ තස්ලිමාගේ දේශනවලින් හෙළිවූ ඇයගේ ළමා අවදියෙන් බිඳකි.

තස්ලිමා උපත ලබන්නේ 1962 අගෝස්තු මස 25 වැනිදා නැඟෙනහිර පාකිස්තානයේ මයිමෙන්සිංග් නම් කුඩා නගරයේයි. ඇය සිය ළමාවිය ගතකරන්නේ බංග්ලාදේශ නිදහස් අරගලය ක්‍රියාත්මක වූ කාල සමයකය.

ඇයගේ පියා වෛද්‍යවරයෙකි. ඔහු උගත් නව ලෝකය පිළිබඳ අව‌බෝධයෙන් යුත් අයෙක් වුවත් සිය බිරිය සහ දරුවන් කෙරෙහි දැක්වූයේ දැඩි ප්‍රතිපත්තියකි. ඔහු සිය පවුලට සමීප වීමට උත්සාහ නොකළේය.

තස්ලිමාගේ මව සාම්ප්‍රදායික ගෘහණියකි. ඇය කුඩා කාලයේදී දක්ෂ ශිෂ්‍යාවක් වුවත් ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව නොලැබුණේ මවුපියන් විසින් ඉක්මනින්ම විවාහයක් කර දුන් බැවිනි. තම මව සිය ස්වාමිපුරුෂයා වෙනත් ස්ත්‍රීන් ඇසුරු කරන බව ඇය දැන සිටියත් කිසිදිනක එය සෘජුවම ප්‍රශ්න නොකළ බව මේබිලා කෘතියෙන් තස්ලිමා පවසයි. ඒ වෙනුවට ඇය කරන්නේ වඩාත් ආගමට යොමුවීමය. ඉවුම් පිහුම් කටයුතුවල නියැළීමයි.

කුඩා අවදියේදී තස්ලිමා සිය මාමා කෙනෙක්ගෙන් සහ බාප්පාගෙන් අතවරයට ලක්විය. එහෙත් ඇය ඒ ගැන මවුපියන්ට නොපැවසුවේ ඔවුන් එතරම් සිය දියණියට සමීපව නොසිටි බැවිනි.

තස්ලිමා කුඩා කල ඉගෙනීමට දක්ෂ දැරියක් නොවීය. ඇයට පාඩම් මතක තබාගැනීමට අපහසු විය. එහෙත් ඇය චිත්‍ර ඇන්දාය. මේ නිහඬ දැරිය හුදෙකලාව සිටි අතර ඒ නිසාම කියවීමට අබ්බැහි වූවාය.

තස්ලිමාගේ පියාට අවශ්‍ය වූයේ සිය දියණිය වෛද්‍යවරියක කිරීමටය. එහෙත් තස්ලිමාගේ පන්තියේ සිටි උසස් රැකියා කිරීමට සිහින දුටු බොහෝ මිතුරියන්ට එතරම් වාසනාවක් නොවීය. ඔවුනට වේලපහම විවාහ වීමට සිදුවිය.

'අපේ පවුලේ සමාජයේ කාන්තාවට හිමිතැන මම කුඩා කාලයේ සිටම දුටුවා. මගේ මිත්තණිය ජීවත්වුණේ වහලෙක් වගේ. කාන්තාවන්ව සැලකුවේ දරුවන් ප්‍රසූත කරන්න හදපු යන්ත්‍ර වගේ. මගේ මව මිත්තණිය ගත කරනවා වගේ ජීවිතයක් ගත කිරීමට මට කවදාවත් අවශ්‍ය වූයේ නැහැ. මගේ පියා ලෞකික මිනිසකු වුවත් මව හරිම ආගමිකයි. ඈ මට නිතරම අල්කුරාණය කියවන්නටත් යාච්ඥා කරන්නටත් පැවසුවා. ඒත් මට මා කියවන සෑම වචනයකම තේරුම දැන ගැනීමට ඕන වුණා. එවිට ඇය දුන්නේ මෙහෙම උත්තරයක්. ඔයාට අල්කුරාණයේ වචනවල අර්ථය දැන ගැනීමට අවශ්‍ය නැහැ. ඔයා අල්කුරාණය අරාබි බසින් කියෙව්වොත් අල්ලාහ් සතුටු වේවි'.

එහෙත් තස්ලිමා කුතුහලයෙන් පිරුණු දරුවකු විය. දිනක් ඇයට කුරාණයේ බෙංගාලි පරිවර්තනයක් ලැබිණි. එහි කාන්තාවන්ව නිර්වචනය කර ඇති ආකාරය හා ඔවුන්ව පහතට දමා ඇති ආකාරය දකින තස්ලිමා ඉස්ලාම් ආගම ඇදහීම නවත්වා දමයි.

ඇයගේ සොහොයුරා කවි ලියන අයුරු තස්ලිමා කුඩා කල දුටුවේය. ඇයටද එසේ නිර්මාණ කිරීමට හා සඟරා සංස්කරණය කිරීමට අවැසි වුවත් බංග්ලාදේශය තුළ ගැහැනු ළමයකුට එය එතරම් පහසු නොවීය. කෙසේ හෝ ඇය අවුරුදු 17ක් පමණ වන විට සාහිත්‍ය සඟරා මෙන්ම කාව්‍ය සඟරාවක්ද ප්‍රකාශයට පත්කර සංස්කරණය කළාය.

‘යම් කාන්තාවක් ලේඛනයට එළඹෙනවා නම් අපි ජීවත්වුණු සමාජය හිතන්නේ ඇයට මොනවා හරි ගැටලුවක් තියෙනවා කියලා. සමාජ මතය අනුව ගැටලු තියෙන කාන්තාවන් සියදිවි නසාගන්නවා. නැතිනම් ගණිකාවන් වෙනවා. එසේත් නැතිනම් ලියන්න පටන් ගන්නවා. මම ලියන්න පටන් ගත්තේ එවන් වටපිටාවකයි'.

තස්ලිමා කුඩා කල සිටම වැඩි නිදහසක් අපේක්ෂා කළාය. ඇයට අධ්‍යාපනය ලබාදීමට පියාට අවශ්‍ය වුවත් ඔහු ඇයට පිටතට යෑමට ඉඩ දුන්නේ නැත. සිනමා ශාලාවකට, රඟහලකට, ප්‍රසංගයකට හෝ මිතුරකුගේ නිවසට යෑමට ඇයට අවස්ථාව නොලැබිණි. එහෙත් තස්ලිමාගේ සොහොයුරාට නම් කැමති දෙයක් කිරීමටත් කැමති තැනකට යෑමටත් අවස්ථාව ලැබිණි. එහෙත් ඇගේ සොහොයුරියට එම අවස්ථාව හිමිව තිබුණේ නැත. 'මගේ ළමා කාලය පුරාම මම ගැහැනු ළමයින් හා කාන්තාවන් පීඩාවට පත්වන අයුරු අත්දැක්කා' තස්ලීමා පැවසුවාය.

තස්ලිමා මෙම සියලු බාධක මැද අධ්‍යාපනය ලබා 1984දී වෛද්‍ය උපාධිය හිමිකර ගනී. "ලජ්ජා" පළවීමෙන් අනතුරුව ඉස්ලාම් අන්තවාදීන් ඇයට එරෙහිව ෆැට්නා නීතිය ක්‍රියාත්මක කරන අතර ඇයගේ හිසට මිලක් නියම කරයි. මේ හේතුවෙන් තස්ලිමා වෛද්‍ය සේවයටද සමුදී විප්‍රවාසී වේ. ඇයගේ බොහෝ කෘති මේ වන විට ඉංග්‍රීසි හා වෙනත් භාෂාවන්ටද පරිවර්තනය වී ඇත. තස්ලිමාගේ එකම අරමුණ කෙදිනක හෝ සිය මවුබිමට පැමිණ නිර්මාණකරයේ යෙදීමයි.

මාතෘකා