බතක වත

 ඡායාරූපය:

බතක වත

අර කාත්තන්කුඩියෙ මහ පල්ලියෙ මහ බුරියානි බත ගැන ලියාලා ඒ විදියට නැතත් පාසු වෙන විදියකට බුරියානි හදාගන්න හැටිත් ලියව්වා නෙව පහුණු සුමානේ. ඊට පස්සෙන් පහු ඒ සම්මෙට උයාගත්ත ඇත්තොත් කතා කරලා පංකාදුයි කිව්වා. ඔයි අතරෙ තමයි මං දැක්කෙ කසුන් පුස්සෙවෙල මලයා අමුතු බතක් උයාගෙන කාලා ඒකෙ පින්තූර ඇන්න මුහුණු පොතේ අලවලා තිබ්බා. උන්දැගෙ වට්ටෝරුවේ පෙනුමෙ හැටියට නං ආයෙ කියන්ඩ කාරණා දෙකක් නෑ රස වෙන්ඩම ඕනි.

ඒ අව් අස්සෙ අපේ තව ඇත්තෙක් කුකුළු මස් දමාලා උයාපු බුරියානි බතක් කන්ඩ සූකර මසක් උයාගෙන තිබ්බා කළුවට හාල් පොල් කළුවෙන්ඩ බැදලා කුඩු කරලා එව්වා දමාලා. හා ඉතිං මේ බුරියානි නං ඉත්තේරුවෙම්ම කියන්ඩ ඇහැක අරාබි කරෙන් ආපු පස්සෙ අපේ වෙච්ච මරක්කල උන්දැලා අඳුන්නලා දීපු කෑමක් කියලා. අපේ මැලේවරු ළඟත් මේ වාගේ අමුතු බත් තියෙනවා. එව්වට සමහරු නාසිගුරාන්ග් නැත්තං නාසිගුරානි කියලා කිව්වට හැබෑ නාසිගුරානි මං කෑවෙ ඉන්දුනීසියාවෙ ජකර්තා නුවරදි. ඒ වචනෙත් තේරුම කුළු බඩු දාලා හදාපු බත කියන එක වාගෙ මට මතක. මං වැරදි නං පෙන්නලා දෙන්ඩ හොඳයි.

හැබැයි ඉතිං දැන් අපේ උන්නැහේලා හන්දියක් හන්දියක් ගාණෙ ඇරගෙන හැකරැල්ලො වාගෙ සත්තු ඉන්න බෝඩ් ලෑලිත් එල්ලාන ඉන්න කඩවල තියෙන්නෙ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් කියලා ජාතියක්. එව්වා හදන්නෙ රසකාරක දාලා මිසක්ක හැබෑ රසක් එන්ඩ කුළුබඩු පදමට දාලා නෙවෙයි. හැබැයි ටික දොහක් චීනෙ කරක් ගහලා ආව අපේ දියතලාව ඉසිපිරිතාලෙ දැන් ඉන්න මහ දොස්තර දසනායක මහත්තයා කිව්වා ඔය කියන ජාතියෙ බත් බැදිල්ලක් චීනෙ නැතිය කියලා. අමුතු පහේ බත් චීන්නු කෑවට ඒ මේ අපේ උන් සවිද ලුණු වාගේ කුඩක් ඉහලා හදන එකක් නෙවෙයි ඕං. හා ඉතිං දැන් මං මේ කියන්ඩ තැනුවෙ අපේ ගම්රටවල මිනිස්සුත් නිකම්ම බත් කෑවා නෙවෙයි එක එක පන්නෙට බත් කන්ඩ දැන උන්නා කියලා.

ඔය අල්ල පනල්ලෙ තෛපොංගල් උත්සව කාලෙට දෙමළ මනුස්සයො හදලා බෙදන පොංගල් බතේ රහත් මතක් වුණා කියන්ඩකො. ඒකට කඩල, මුං ඇට, හකුරු, වේළිච්ච මිදි, රට ඉඳි එහෙමත් දාලා අප්පේ රහ. ඉතිං නිකම්ම කිරිබත් කන්නෙ නැතුං ඒ වාගෙ බතක් හැදුවොත් කාගෙ කාගෙත් දරු මල්ලො කන්ඩ මනාප වෙයි. දවසක්දා මං අපේ අශෝකන් එක්ක පිටරත්මලේට යද්දි කාලි කෝවිලක පොංගල් එක්කම කාඩි බතක් බෙදුවා. ඒකට එක්කාසු කරලා තිබ්බෙ මිරිස්, රතු ලූනු, ඇඹුල් ජාති එහෙම. රහ ටිකක් කටුකයි. අපි ඉතිං කිරිබත් කද්දි මුං ඇට එහෙම දාලා උයා ගන්නවානෙ.

ඒ වාගෙ ඇට බත් ජාති ගොඩක් ඌවෙ තිබ්බා. ඉරුං බත, කොල්ලු බත විතරක් නෙවෙයි පමණක් උදවිය බොංචි ඇට දාලාත් බත් උයාගත්තා. මේව්වා මෙහෙම ඉව්වෙ වෙනසකටම නෙවෙයි පිරිමහගන්ඩත් එක්ක. දරු රෑන් ඉන්න පවුල්වල ඇත්තො වේල පිරිමහ ගත්තෙ බතෙම්ම නෙවෙයි. බත් කද්දිත් තව මොනා හරි මුහු කරගන්ඩ තිබ්බනම් අහක බැලුවෙ නෑ. හැබැයි ඒකෙ කිසි දොසක් නෑ ගුණක් මිස. ඇයි ඉතිං කළවම් කරන ජාතිවල වෙනම රහක් ගුණක් තිබ්බනෙ. මුං ඇටයි පැණියි පොල්කිරියි දාලා හදාපු කිවාඩි බත් විතරක් නෙවෙයි ඇල් කැකුළු බතට මී කිරි හරි නැවුං කිතුල් පැණි හරි දාලා කන සිරිතකුත් තිබ්බනෙ. දං කුඩෙන් කාපු දිය බත ගැන මෙයින් ඉස්සර කිව්වා මයෙ හිතේ. ඔය දං කුඩේම කුඩු කරලා පොල් කිරියි පැණියි දාලා රත් කරලත් කන්ඩ පුළුවන්. අපේ අම්මලා හීලි බතට මිරිස්, ලූනු, තක්කාලි, ලුණු දාලා තෙම්පරාදු කරලත් දුන්නා. එව්වා කඩේ ෆ්‍රයිඩ් රයිස්වලට වැඩිය රහයි.

ඉස්සර උන්දැලා කාපු දුන්තෙල් බත් ගැනත් මී තෙල් බත් ගැනත් අද හිට කතා කරන්නෙ උජාරුවෙන්. ඇත්ත නේන්නං ගිතෙල් දාලා උයාපු බත රාජ භෝජනයක්. කහ ඩිංගක් දාලා උයන බත පස්සෙ ගිතෙල් රත් වෙද්දි ලූනු කරපිංචා එහෙම තෙම්පරාදු වෙන්ඩ ඇරලා ඒකට කලවම් කරලා හදාගන්නත් පුළුවන්. බත උයද්දිම ගිතෙලේ සුවඳ කුළුබඩු එව්වා මෙව්වා තෙම්පරාදු කරලා ඒකට හාල් දාලා උයා ගන්ඩත් පුළුවන්. ඒක හරියට අර මොංගෝලියාවෙත් තියෙන අපේ සුනිල් අයියා අසර්බයිජානෙදි කාපු පිලාෆ් රයිස් වගේ විදිහක්. ඉතිං ඔය පුරාණ පොත්වල තියෙන්නෙ මොනර මස් මුහු කරලා ගිතෙලින් තෙම්පරාදු කරගත්ත රත්ඇල් හාලෙ බත් ගැන. රස බත්, ඇඹුලු බත්, පැහි බත් කියලා ඒ වාගෙ ජාති ගොඩක් ගැන පුරාණ කතා තියෙනවා. රස බත් කියලා තියෙන්නෙ මස් දාලා උයාපු බත්වලට. කාඩි නැත්තං ඇඹුලු ජාති දාලා උයන බත තවත් එකක්. පැහි බත එළවළු වර්ග එහෙමත් දාලා තෙම්පරාදු කරගත්ත එකක්. මෙහෙම බැලුවම හිතෙන්නෙ නැද්ද ආයිබෝං චයිනීස් වෙන්ඩ කලිං අපිටත් ජාති බත් වරිග තිබිලා කියලා. හැබැයි එව්වට අර කුඩු අහුරු පිටිං දාලා නෑ. හා මං කියන්ඩද රහසක්. ෆ්‍රයිඩ් රයිස් ගෙදරම හදාගන්ඩ. අහවල් කුඩ දාන්ඩ ඔනැන්නෙ නෑ ඔය සමහරු වාගෙ සුප් කැටවත්. ඒ රහ සොබාවිකව හැදෙනවා ඉඟුරුයි, සුදු ලූනුයි, කරපිංචයි සමොසමේ අඹරලා හදාගන්න තලපෙ තෙම්පරාදුවට දැම්මම.

මාතෘකා