බඩේ ගින්දරේ බැරුවා

 ඡායාරූපය:

බඩේ ගින්දරේ බැරුවා

 

පාස්කු ඉරිදා දොහේ බත්ඩිංගක් කටට දාගන්ඩ ඉස්පාසුවක් නැතුං වැලපෙන මනුස්සයො දහක් දිහාවෙ බලාන මුළු රටේ හතීකොණ කොයි කවුරුත් විස්සෝපෙන් සුසුම් ලෑවා. මීගමු පළාතේ විතරක්යැ රටේ කොහෙත් කතෝලික ඇත්තන්ට තමන්නෙ ආගමේ උත්සව හැමෙකක්ම මගුල් ගෙවල් වාගෙ. මාත් ඉතිං ඔය පල්ලිවල විතරක් නෙමෙයි බදුල්ලේ බීස්කුන්නාන්සෙගෙ හෙවණෙන් පවා කාල බීලා තියෙනවානෙ. අනේ ඉතිං එදා විපතට පත්වෙච්ච ඇත්තන්ට තමුන්නෙ ඇදහිල්ලෙ හැටියට ස්වර්ගෙට දොරවල් ඇරෙන්ඩ ඕන.

මේ ආසානාසිය මෙහෙම වුණයි කියාලා එව්වට සම්බන්ධ නැති මරක්කල උන්දැලා මොනවා කරන්ඩද? ඇයි බොලල්ලා අපි උඹලගෙන් මනි පිට්ටුයි බාබතුයි කාපු උන් වෙච්ච කොට. කවදාවත් අපි කනකොට අපේ පංගුවේ ඌරු මාලු එහෙම තිබ්බොත් කල් ඇතුව කිව්ව උන් වෙච්ච කොට. එහෙව් අපෙත් බොලාගෙත් පංගු පේරුවක් තිබ්බෙ නෑ. දැන් ඉතිං දෙගොල්ල තුන්ගොල්ලම වෙච්ච දේට විස්සෝප වෙන ගමන් ආයෙ වංගියක් මෙයාකාර නොවෙන්ඩ වග බලාගමු. මේ වින්නැහියට මුල පුරාපු හැතිකරේ අල්ලලා දෙන එකත් අපි කාගෙ කාගෙත් වගකීමක්.

හා ඉතිං කොළ මැල්ලුම් ගැන කතා කිය කියානෙ හිටියෙ. අර දියබෙරලියත් දැක්කොත් අතාරින්ඩ එහෙම එපා. පොල්කිරි ටිකක් එහෙම එක්කාසු කරලා හදාගන්න නියඹලාව පංකාදුයි. අපේ කැටේපොල ජයසේන මාමා කියාලා දීපු මැල්ලුම් ඉවිලි ගොඩක් තව මයෙ හිත් මල්ලෙ තියෙනවා. හෙමිහිට එළියට දාන්නම්. ඔයි අපේ අම්මා කිව්වා අර හණ ඉවිල්ලට ගන්නෙ ඒකේ මැද්දවේ එන පොල්මල වාගේ සුදු ගොබේ කියලා. මේ කොයිකෙත් තව් මරන්ඩ උන්දැලා දැන උන්නා. ආං ඒ හින්දා කට කහයි කියලා හිතන්ඩ එපා. ඔය චින්නු යස අගේට උණ ගොබත් කන්නෙ. අපි පුංචි සන්දියේ පීල්ලෙ කැලේට වැදුණම කිතුල් පැලැහැටිවල සුදු ගොබ ඇද ඇද කෑවා. ඒක හරිම කිරි රහයි. හැබැයි දැන්නම් මං ඒ කාරිය කරන්නෙ නෑ ඕං. මොකද ඒ හැම ගොබයක්ම ගහක්නෙ. හා ඉතිං මෙව්වා කිව්වම කොළඹ මයෙ යාළුවෙක් නෝක්කාඩු කිව්වා මේ අඩුම කුඩුම හොයාගන්ඩ අමාරුයි කියලා. ඇත්ත තමයි මේ ජාති හුඟක් තියෙන්නෙ ගම්කරේ නෙව. හැබැයි ඉතිං වීරිය කෙරුවොත් උයා ගත්තැකි.

කනබොන දේවල වෙනස්කම් තිබ්බට මනුස්ස සංස්කෘති කොයිකෙත් කෑම අස්සෙ නෑකමුත් තියෙනවා. අරාබිකරේ මිනිස්සු වට්ටක්කා ගෙඩියට ආලවට්ටම් දාලා හදාගන්න කෑමක් කියන්ඩද? වට්ටක්කා ගෙඩියෙ නැට්ට හරියෙන් ඇස්සක් කපාගෙන පරිස්සමට ඇට මදේ හාරලා අයින් කරගන්නවා. දැන් අර හැදිච්ච බෙණේට මස්, හාල්, වතුර, කුලුබඩු එව්වා මෙව්වා දාලා කපාගත්ත ඇහිපියන ආයෙ තියලා කූරු ගහලා හයි කරනවා. දැන් ඔයි වට්ටක්කා ගෙඩිය පෝරනුවක දාලා පුලුස්ස ගන්නවා. එතකොට වෙන්නෙ ඒකෙ අස්සෙ තියෙන හරුබැස්ස ඉවෙන එක. ඉවුණට පස්සෙ ගෙඩිය පළලා අර ඇතුළෙ තියෙන දේයි වට්ටක්කෙයි ඔක්කොම කන්ඩ පුළුවන්.

ඕකම රජරට හේන් පුරාණෙ ලියපු කේ. බී. පොඩි අප්පුහාමි මහත්තයා ලියලා තියෙනවා, අපේ රජරට වන්නිකරේ උන්දැලා කෑ වග. හැබැයි ඒ අතුරුපසක් විදියට. උන්දැලා කෙරුවයි කියන්නෙ පොඩි රටවට්ටක්කා ගෙඩියක ඔයි වාගෙම ඇස්ස කපාලා ඇට මද අයින් කරලා අර මැද බෙණේට පොල්කිරි එක්ක මි පැණි හරි සීනි පුරෝනව. ඊටපස්සෙ වට්ටක්කෙ මොනවහරි තඩි කොළේක ඔතලා වළ දමාලා වළ උඩ ගින්දර මැළයක් ගහනවා. වරුවක් හමාරකට පස්සෙ ගොඩගත්තම දෙවි රහ අතුරුපසක්. බඩදරු අම්මලාට දොළදුක නිවෙන්ඩ පංගුවක් දෙනවලු අනිවාරෙම්ම. බලන්ඩ ඉතිං මේ දේස දීපංකරවල ඉන්න මිනිස්සු කාකොටා ගත්තට හිතන්ඩ බැරි තරම් සමානකම් කනබොන එව්වයෙං හරි මතුවෙන හැටි.

පොඩි අප්පුහාමි උන්නැහේ ලියාලා තිබ්බ තව පහසු කැවිල්ලක් කියන්නම්. මේක මුං පියලි සම්බෝලයක්. රජරට ඇත්තො කුරක්කන් රොටී කොටාබාන්ඩමලු හදාගත්තෙ. මං නම් හිතන්නෙ මෙයාකාර කැවිල්ලක් නරක නෑ කැකුළු බතක් බුදින්ඩ වුණත්. මේකට ඕන කරන්නෙ මුං පියලි. මුං ඇට බැදලා වනේ කොටලා නැත්නම් අඹරලා කුලු ගහලා පියලි කරගන්ඩ කවුරුත් දන්නවා නෙව. ආං ඒ මුං පියලි වතුරෙන් පොඟවගෙන පොල්, මිරිස්කරල්, ලුණු, ලුනු, දෙහි ඇඹුල් එක්ක තුනී වෙන්ඩ ගලේ අඹරගත්තම ඕං මුං සම්බෝලෙ. මාත් හිතුවෙ හදලා බලන්ඩ.

මාතෘකා