මිනිස්සුයි යක්කුයි

 ඡායාරූපය:

මිනිස්සුයි යක්කුයි

පෙරපර ගලපා එක විට පිට කළ නොහැකි කම්පනයක් අත් විඳින කෝටි දෙකක මිනිසුන් එක්ක ඒ සසල කම්පනයෙන්ම හිත අවතැන්ව තිබෙනවා. මනුස්සකමේ උදාරත්වය දෙදරවා හැරිය ත්‍රස්ත ප්‍රහාර පොකුරකින් රටක හදවත් සිදුරු වී ගිහින් තිබෙනවා .

ටික දිනකින් ලබන්නට තිබූ වෙසක් වෙනුවෙන් ඉහළට නැංවෙන්න තිබුණේ පහන් කූඩු, බෞද්ධ කොඩි. ඒ වෙනුවට එසවුණේ සුදු කොඩි. අසන්නට වුණේ වේදනාවේ දුක් අඳෝනා.

තත්ත්පර ගණනකින් රටකට වූ විපත...

හැම බෞද්ධ විහාරයකම, හැම බෞද්ධ පිංකමකම සලකුණු රාවය ගේන්නේ ‘බෙග්’ මාස්ටර්. එතුමාගේ බරසාර උස් ස්වරය රටක් බැතියෙන් මන්මත් කරවනවා. ජීවිත කාලයම එතුමා ගායනා කළ ගීත අතර සීයට අනූවක්ම බෞද්ධ ගීත. සමහරු කියන්නේ එතුමා ඉස්ලාම් භක්තිකයෙක් කියලා. වෙන්න ඇති.., හැබැයි මට නම් හිතෙන්නේ එතුමා ‘බණ ගායනා කළ බෞද්ධ ඉස්ලාමිකයෙක්’ කියලා.

ඒ නිසා මට හැම මුස්ලිම් සහෝදරයෙක්ම ‘බෙග් මාස්ටර්’ කෙනෙක්.

මෑත කාලයේ අපි රටක් හැටියට ස්වාභාවික විපත් කිහිපයකින්ම බොහෝ අහිමිවීම්වලට මුහුණ දුන් අවස්ථා තිබෙනවා. සුනාමිය තමයි දරුණුම ව්‍යසනය. ඊට පස්සේ කොස්ලන්ද නාය යාම, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම, එක පිට ආව ගංවතුර මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සුණුවිසුණු කළා..

අපි අමාරුවෙන් ඔලුව උස්සන රටක්. එදා වේල වෙනුවෙන් වෙහෙසෙන මිනිසුනුත්, මාස් පඩියට වැඩ කරන අයත් දුක් විඳින්නේ එකම විදිහට. ස්වාභාවික විපත් කියන්නේ මිනිසාගේම ක්‍රියාකාරකම් නිසා කාලයත් එක්ක සිදුවෙන විනාශයක්.

ඒත්, පසුගියදා සිදුවීම ත්‍රස්තවාදී වැඩක්...

ත්‍රස්තවාදියෙකුට ජාතියක් තියෙන්න බෑ. ත්‍රස්තවාදියෙක් කියන්නේ මිනිස්කමට නිගා දෙන්නෙක්. ඒ නිසා කිසිම ජාතියක් ත්‍රස්තවාදීන් හදන්නේ නෑ. හැබැයි මිනිස්සු අතර ත්‍රස්තවාදීන් ඉන්නවා. එහෙම ඉන්න ත්‍රස්තවාදීන් මිනිසුන්වත්, ජාතීන්වත් නොවන බව මතක තබා ගැනීම වටිනවා.

පහුගිය දිනවල සිදුවූ විපතින් සසල වුණේ, කම්පා වුණේ මිනිස්සු. එහෙම කම්පා වූ තරුණයින් කිහිප දෙනෙකු මුහුණු පොතේ තමන්ගේ කම්පනය සටහන් කරලා තිබුණා. හද පෑරෙන ඒ සටහන් කිහිපයක් මට මතකයේ තිබෙනවා.

“නික්ම ගිය මිතුරාණනි.., ඉස්කෝලේ යනකොට එකට ගියේ අපි එකට...පන්ති යනකොට එකට ගියේ අපි එකට.. අපූරු රස්තියාදුවක යනකොට ගියේ අපි එකට.. ඒත් මේ ගමන ඔබ වෙනම. ඇයි මට නොකියා ගියේ?”

මේ සටහන තබා තිබුණේ කටුවාපිටියේ නව්රාන් කියන සොයුරා.

සහජීවනයේ අරුත අත්දුටු මිනිසුන් අපි. තරුණයින් සමඟ වසර ගණනාවක සමීප අත්දැකීම් අපිට එකතු කරන්නේ උදාර මිනිස්කමේ අරුත. විවිධ වැඩසටහන්වලදී අපි අත්දකින්නේ ‘තරුණයින්ගේ බලාපොරොත්තු පිරුණු සාමුහිකතවය.’ ඒ කිසි තැනක පටු පිල් බෙදීම් නැහැ. ජාති ආගම්, කුල මල භේද ඔවුන්ට නැහැ.

ආසන්නතම උදාහරණය අපිට සිහිපත් කරන්නේ ‘වීරවිල යොවුන් පුරය.’ එකට අත්වැල් බැඳගෙන, එකට දුක සැප බෙදා ගෙන තාරුණ‍්‍යයේ අසිරිමත් සිහින දැක්ක ෆාතිමාලා, මොහොමඩ්ලා, සෙල්වම්ලා, සරෝජලා, ජයන්තලා, පියල්ලා සේරම හීන ඇහින්දේ එකට. දින පහකින් පසුව නික්ම යන දා එකිනෙකා වැළඳගෙන ආදරයේ, සෙනෙහසේ, මිත්‍රත්වයේ, මිනිස්කමේ යහගුණ බෙදා ගත්තේ එකට. මඩකලපුවේ ෆාතිමාලා, මහනුවර ජයන්තලා, යාපනේ සෙල්වරාජලා කඳුළු සලමින් නික්ම ගියේ මිත්‍රත්වයේ සෙනෙහස පුරවගෙන. මිනිස්කමේ පාලම් පුපුරවා හරින්න පුළුවන්කම තිබෙන්නේ නොමිනිසුන්ට පමණයි.

‘හැරී පැච්’ යනු පළමු ලෝක යුද්ධයේදී සටන් වැදුණු අය අතරින් ඉතිරිව සිටි පිරිසෙන් දිගුම කලක් ජීවත් වූ සොල්දාදුවා. ඔහු වරක් කියනවා “යුද්ධය යනු සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයකි, අන් කිසිවක් නොවේ.”කියලා.

මිනිස් සංහාරයන් තුළින් ලබන උත්කර්ෂය කුමක්ද?

සුනිල් එදිරිසිංහයන් ගයන ගීතයක අන්තරා කොටසක් සිහි වෙනවා.

“උණු ලේ විෂ වී සිරුරේ

ඉසුරන් ගැටෙනා අතරේ

ගිනි මල් පිපිලා අහසේ

ඇවිලේ ගිනි දැල් සයුරේ

සා පවසින් ඉකි බිඳිනා

සුසුමෙන් යදියන් හෙළනා”

ඊ.ඩබ්. අදිකාරම් මහතා එතුමාගේ කෘතියක මෙහෙම සටහනක් තබනවා.

“දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නමැති දම්වැලේ අවසාන පුරුකය. එහෙයින් මාර්ගයේ ස්වභාවයෙන් තොර වූ අවසාන ප්‍රතිඵලයක් නැත. එහෙයින්ම හිංසාවෙන් කරුණාවවත් ලෝභකමින් ත්‍යාගශීලිභාවයවත් මුලාවෙන් ප්‍රඥාවවත් හටගැනීමට පුළුවන්කමක් නැත”

සාමය, ආදරය, දයාව සහ ප්‍රඥාව ඉගැන්වූ කිසිඳු ශාස්තෲවරයෙක් ‘ඝාතන සහ හිංසන වලින් දිනන්නට යමක් ඇති බව’ කියා නැත.

‘හැම දුකක්ම, හැම සතුටක්ම එකට බෙදා ගත්ත අසල්වැසියෝ වෙච්ච අපිට මේ අපරාද උහුලන්නේ නෑ. දෙවියන්ගේ නාමෙන් ඉල්ලන්නේ, සාතන්ගේ පුත්තු වෙන්න එපා.’

අසල්වැසි කතෝලික ලබ්දිකයාගේ වියෝවෙන් කම්පිතව හඬන ඉස්ලාම් ලබ්දික කාන්තාවක් කඳුළු පුරවගෙන ඉල්ලා සිටිනවා.

ඒ තමයි මිනිස්සු. එතකොට අර බෝම්බකරුවෝ? ඔව්. ඒ තමයි වැරදීමෙන් මිනිස් ලොවට ආ යක්කු.

මාතෘකා