පිපිරීම

 ඡායාරූපය:

පිපිරීම

පිපිරුමක් බව ඇසුණි. මඳ වේලාවකින් ඇසුණේ තවත් පිපිරුමක් සිදුව ඇති බවය. එතැන් පටන් මාගේ ජංගමය නොනවත්වා නද දෙන්නට විය. ඒ මා සේවය කරන්නේ අත්‍යවශ්‍ය සේවා ස්ථානයක නිසාය. මට නිවාඩු දිනයක් වූ එදින මා සිටියේ කොළඹින් පිට මගේ නිවසෙහිය. කොළඹ දෙසින් පිපිරුම් සිදුවෙද්දී මා කඩි මුඩියේ සූදානම් වූයේ එහි යන්නටය.

එහි යන විටම දිස් වූයේ දහස් ගණනක් මිනිසුන් පිරී ඉතිරී යන රුධිර මධ්‍යස්ථානයයි. රුධිර සංචිතවල අඩුවක් විය හැකි හෙයින් රුධිර පරිත්‍යාග කිරීමට හැකිනම් එන්න යැයි කියා මොහොතකින් එතැන පිරී ඉතිරී ගියේ තවත් බෝම්බ පුපුරද්දීය.

හාත්පස එකම මිනිස් පොදියකි. අයෙක් තම වියදමින් වතුර බෝතල් රැගෙන ආවේය. තවත් කිහිප දෙනෙක් කිරි පැකට්, බනිස්, කෙසෙල්ගෙඩි රැගෙන පැමිණෙයි. එතැන සංවිධානය වූයේ මිනිසුන්ය. නන්නාඳුනන ගතක රුහිර බිඳුවක් වී ඒ ජීවිතය බේරා ගන්නට තම රුහිරු පරිත්‍යාග කිරීමට පෙරට ආ මිනිස්කම එසේ විය. ඒ අතර සියලුම ආගම් සහ ජාතීන්වල මිනිසුන් සිටියෝය.

“පහසු මඟ දෙවි කෙනකු වීම නොව දෙවි කෙනකුයැයි සිතා ගැන්මය. සිතා එලෙසින් දිවි ගෙවීමය” යනුවෙන් මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ පොතේ කවියක සඳහන් වේ. එදා සාතන් වෙස්ගත් නොමිනිසුන් අහිංසක ජීවිත තුන්සිය ගණනක් බිලි ගනිද්දී හාත්පසින් රැස්වූ දෙවි වෙස් ගත් මිනිසුන් ඒ මිනිසුන්ගේ ජීවිත බේරාගන්නට තමන්ගේ රුහිරු බිඳ දන් දුන්නෝය. ඒ අතර දුරකථනය ඔස්සේ ආ බොහෝ ඇමතුම්වලට කතාවත් කරන්නට බැරි තරම් අපි කාර්යබහුල වී සිටියෙමු. අහම්බෙන් දුටු ඇමතුමක එහා පැත්තේ සිටියේ හැඬුම්බර වේදනාබර මිතුරියකි. “අක්කේ, අයියගෙ දරුවා උදේ නැතිවුණා. දැන් අපේ අක්කා ජීවිතයත් මරණයත් අතර ඔපරේෂන් එකේ” ඇයගේ හැඬුම් හඬ මගේ හදවත කෑලිවලට කඩා බිම දැම්මේය.

“නොමළ ගෙයක් නැති තරම්.” ඒ ප්‍රදේශයේ සිටි තවත් යෙහෙළියක් කීවාය. බොහෝ මරණ අසමින් දකිමින් වෙද, හෙද, සුළු සේවක යන මේ සියල්ලන්ම එකාවන්ව රුධිර පරිත්‍යාගශීලීන් සමඟ එදින රාත්‍රී වන තුරු වැඩ කළෝය. හෙදියන් පස් හය දෙනෙක් රුධිරය බෙදා හැරීමේ කාර්ය තම උරමත පටවාගෙන වැඩ කළේ කෑමක් බීමක් ගැනවත් මතක් නොකරමිනි.

“එෆ්.එෆ්. පී සීයක්, ඒ බී ” එසැණින් ෆීසර් පුරවා තිබෙන ප්ලාස්මාව රැගෙන එයි. ගල් ගැහී ඇති ප්ලාස්මා පැකට් ග්ලවුස් දැමූ අතින් අල්ලාගෙන විස්තර සටහන් කරමින් ගනිනු ලබයි. හීතලට අත් හිරි වැටෙයි. එහෙත් එය නොදැනෙන තරමට ගල් ගැහී හිරි වැටී ඇති හිත්වලින් දැනෙන වේදනාව ඊට වඩා වැඩිය.

අවුරුදු දහයකට පසු නැවත අපි මරණ බිය අත දරා රැකියා සඳහා යන්නෙමු. එදා උතුරට යද්දී හෝ එහි සේවය කරද්දී මට මේ සා බියක් තැතිගැන්මක් ඇති නොවීය. මාස හතක ගැබිනියක වූ හෙදිය පට්ටිකා තොගයක් ශීත පෙට්ටිවල අසුරයි. දරු බර කුස දරාගෙන ඈ එහෙ මෙහෙ දිව යන්නේ දහවල් කෑම පවා අමතකවී ගිය සෙසු හෙදියන්ද සමඟය. තවත් බොහෝ අය නිවාඩු අමතක කර පැමිණ සිටියෝය. බොහෝ පිරිසක් රුධිර පරිත්‍යාගයට පැමිණි හෙයින් එතැන සියල්ල සෙසු හෙදියන්ගේ කර මතය. හදිසි අනතුරු ඒකක, ශල්‍යාගාර, වාට්ටු, ලේ බැංකු, මේ හැම තැනකම දෙවි වෙස් ගත්තේ මිනිසුන්ය. කිසිදු මැසිවිල්ලක් නොනඟා හෙදියන් සුළු සේවකයන් වෛද්‍යවරුන් කළ මෙහෙය අනූපමේයය.

“ මහත්මයාගේ ගෙවල් කොහේද ?” ඇඳිරි නීතිය දැමූ පසුද රුධිරය පරිත්‍යාග කරන්නට රැඳී උන් මහතකුගෙන් මම ඇසීමි.

“මම රත්මලානේ” ඔහු පිළිතුරු දෙයි.

“ඇඳිරි නීතිය නේද? කොහොමද දැන් යන්නේ?”

“මම ආවේ පැය පහකට කලින්. දැන් තමා ලේ දෙන්නේ, ඒ තරම් සෙනග. දැන් ඉතින් දීලම තමා යන්නේ කියලා හිතාගෙන හිටියේ. කර්ෆිව් දැම්මට කොහොම හරි ගෙදර යනවා.”

ඔහු පවසන්නේ මැදහත් සිතිනි.

ආපදාවලදී සමාජය දැනුවත් කිරීම හෝ මෙහෙයවීමට තොරතුරු සන්නිවේදන මාර්ග බොහෝ සෙයින් වැදගත්ය. සෑම කෙනකුගේම අතේ ජංගම දුරකථනයකි. එක් වතාවක සමාජ කැලඹීමක් සිදු කළේ සමාජ මාධ්‍ය ජාලාවලිනි. එහෙත් මිනිසුන් දැනුවත් කරන්නේද පවතින තත්ත්වය යාවත්කාලීන කරන්නේද සමාජ මාධ්‍ය ජාලාවලිනි. මිනිසුන්ගේ සන්නිවේදන මාධ්‍ය කපා හැරීමට එකඟ විය නොහැකි වුවද උගත් අතීත පාඩම් බොහෝය.

අප ඉපදුණේ, හැදී වැඩුණේ යුද්ධයක් පැවති රටකය. අවුරුදු විසිගණනක් නොමැරී නොපිපිරී ජීවත් වුණේ වාසනාවටය. යළිඳු මතකයට නැඟෙන්නේ ඒ අඳුරු යුගයක වළ දැමූ කඳුළුය. අප සිටියේ අසල්වැසියා ගැන බියෙනි. බස් රථයේ, කඩපිළේ නාඳුනන කෙනා ගැන සැකයෙනි. යළිත් අප ඒ අඳුරු යුගයේ සෙවණැලි දකිමින් සිටිති.

අන්තවාදයට ආගමක් නොමැත. එතැන ඇත්තේ ම්ලේචඡත්වයයි. තවත් ප්‍රාණයක් නසා අනුන්ගේ කඳුළු මතින් සොයා යන ස්වර්ගයක් නොමැති බව මොවුන් වටහා ගත යුතුය. එයට මේ ජන සමාජය එකිනෙකා කෙරෙහි විවෘත විය යුතුය. විනිවිදභාවයක් තිබිය යුතුය. වෙන්වීමට, සැඟවීමට ගියහොත් සිදුවන්නේ බෙදී නැසෙන්නට බව මේ සිදුවීම් මාලාවෙන් සියල්ලෝම වටහා ගත යුතුය. ත්‍රස්තවාදයට එරෙහි විය යුතුය. මේ සටහන ලියන්නේ මිනිස්කම් පිරි සමාජයක් වෙත ස්නේහයෙනි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා