‘ඍතුවක අග’ වසන්තය විය යුතුය

 ඡායාරූපය:

‘ඍතුවක අග’ වසන්තය විය යුතුය

[කපිල එම්. ගමගේ]

බොහෝ කවියන් කවියට අත්පොත් තබන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තෙරපෙන අතිපෞද්ගලික හැඟීම් දහරාවන් කවි බවට පෙරැලීමෙනි. ඒ නිසා කෙනෙකුගේ ඇතැම් කවි අතිශය පෞද්ගලික ස්වභාවයක් ප්‍රකට කරයි. නමුත් මේ පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් වීමට කිසියම් කාල විරාමයක් අවශ්‍ය වේ. එසේ නොවන විට කවිය පොදු රසිකයා ගෙන් පරිබාහිරව හුදකලා වන්නට ඉඩ තිබේ. මෙසේ තමන්ගේ අතිශය පෞද්ගලික අනුභූතීන් කවි බවට පෙරළුණ විට එහි දකින්නට ලැබෙන්නේ අන්තරාවර්තී ස්වරූපයකි. එනම් කවිය, කවියා තුළටම නැඹුරු වූ ස්වරූපයකි. අන්තරාවර්තී කවිය සැම විටම කවියාගේ ආත්ම භාෂණය වන්නේ එබැවිනි. එය ඔහුගේ ජීවන අත්දැකීමකින් ඔහු ලද රිදවුමයි.

අසිත ගීත් කුමාර ගේ ‘ඍතුවක අග’ නෑඹුල් කාව්‍ය සංග්‍රහය තමන් වෙතම හැරුණු කවි වලින් ගහණ කාව්‍ය එකතුවකි.

වසන්තය හැමදාම

කොහෙද මේ ඉර හඳ යට

දරන්නත් අමාරුයි

කොහෙන් ආවා ද

මේ තරම් දුරුතු හීතල

හලන කොට ගහකොළත්

ඔඩු දුවන හිස්කම

කවදාක පිපේවි ද

ආයෙමත් සිත්මල

(ඍතු - පිටුව 11)

'ඍතු' කවිය පුරාම දකින්නට ලැබෙන්නේ ජීවිතයේ නිස්සාර බව පිළිබඳ කවියා තුළ ඇති හැඟීමයි. මෙය වියෝ වේදනාවක මතක හා බැඳුණකි. ඒ නිසාම කවියා තුළ ඇති වූ කලකිරීමකි.

'සඳවතක අඳුරු හැඩ රුව' නිර්මාණයද එවැනිම අන්තරාවර්තීව පැසවෙන අත්දැකීමක කාව්‍යමය ප්‍රකාශන උත්සාහයකි.

විකසිත වෙන්න වෙනකොට

දුරු රටක විල් තෙරක සුදු නෙළුමකට

නොදැනුණා නොවෙයි

ගැහෙන හදකට

සඳවතක අඳුරු හැඩ රුව

(සඳවතක අඳුරු හැඩ රුව - පිටුව 13)

මෙවැනි අන්තරාවර්තී වේදනාවන් රැසක් කාව්‍ය නිර්මාණ ලෙස එළිදැක අසිත ගීත් කුමාරගේ ‘ඍතුවක අග’ ප්‍රථම කාව්‍ය සංග්‍රහයේ දකින්නට ලැබේ. 'අතරමඟ දබරව', 'සිතුවමක හිස්තැන', 'පුණ්‍ය','තරු මැද්දේ තනි වුණි','කාලය'වැනි නිර්මාණ තුළ අසිත කවිකරන්නේ තමන්ටම ආවේණික වූ වේදනාවන් ය. එය විටෙක ශෝක රසයත්, තවත් විටෙක කරුණා රසයත් දනවයි. නමුත් එම නිර්මාණවල දක්නට ඇති දුර්වලතාවක් වන්නේ පොදු රසිකයාටද එයට අනුගත වී බෙදාගත හැකි මට්ටමට අත්දැකීම මෝරා නැතිකමයි. අනෙක් අතට ඇතැම් අත්දැකීම්වල මුළු හැඩය සඟවා තබන්නටද අසිත උත්සාහ ගන්නා අයුරු පෙනේ. එය කවියකට ආභරණයක් වන ව්‍යංගය නොවේ. කිසියම් ආකාරයකට තේරවිලි ස්වරූපයකි. නමුත් එයින් සිදුවන්නේ කවියේ රස ජනනයට බාධා පැමිණවීමයි. ඒ නිසා බොහෝ විට රසිකයා කවිය මතුපිටින් කියවා අත්හැර දමයි. එය නිර්මාණය හරහා රසිකයා ලබන ජීවිතාවබෝධයට බාධාවකි.

නමුත් අසිත තුළ සැඟව සිටිනා කවියා මතුවන නිර්මාණ කිහිපයක්ද මෙහි එයි. 'වෙන්වීම' ඉන් එකකි. මව සහ දරුවා අතර ඇති අතිසියුම් මානුෂීය බැඳීම දෙස වෙනත් පර්යාලෝකයකින් බලන්නට අසිත මෙහි දී උත්සාහ ගනී. මවු කුසේ වැඩෙන දරුවා මව සම්බන්ධ වන්නේ පෙකෙණි වැලෙනි. ඒ සම්බන්ධතාව භෞතිකව තිබෙනතාක් කල් මවට දරුවා දැනේ. නමුත් බිළිඳා මෙලොවට බිහි වී පෙකෙණි වැල සිඳදැමූ පසු මවට දැනෙන්නේ දරුවා හා තමා අතර තිබූ සියුම් මානුෂීය බැඳීම විසන්ධි වූ බවයි.

දැනගත්ත දවසෙ

ආව කියලා දෙව්ලොවින්

දරා ගන්න බැරිවුණා

ඒ හැඟීම්වල බර

පිළිසිඳුම මව ප්‍රමෝදයට පත් කරන්නේ එලෙසිනි. නමුත් දස එකඩ මසක් ගෙවූ තැන දරුවා බිහි වූ පසුව මවට දැනෙන්නේ වියෝව පිළිබඳ හැඟීමකි.

දිනුව නුඹ

ඇඬුණ මට

මගෙන් උඹ වෙන්කළ

කිරි කිරි හඬට

සුවඳ ලේ තැවරුණ

කැත ම කැත කතුරේ

(වෙන් වීම - පිටුව 30)

මෙම කවියේ වුවද අසිත සිදුකරන්නේ සිදුවීම පැවසීම පමණි. එයට අවශ්‍ය ගැඹුර ලබාදීමට ඔහු අසමත් වේ. එයට හේතුව ලෙස දැනෙන්නේ ඔහු උපයුක්ත භාෂාවයි. දරුවෙක් හා මව අතර ඇතිවන, වෙනත් කෙනෙකුට හරියටම අවබෝධ කරගත නොහැකි, ඉතා සියුම් ආත්මීය බැඳීම ඔහු උපයෝගී කරගන්නා බසින් දැනෙන්නේදැයි යළි විමසා බැලිය යුතුය.

'ස්වයංජාත' වැනි කවියක අත්දැකීම අසිත පවසන ආකාරය කිසියම් නැවුම් බවක් දනවන්නකි. පැලවෙන්නට කැමති මල් පැළයක් ඒ සඳහා සුදුසු බිමක් සොයා යන ආකාරය කවියේ මතු පිට අර්ථය වුවද, ප්‍රේමය පුද කිරීම සඳහා සුදුසු සිතක් සොයා යන පෙම්වතෙක් මේ නිර්මාණය තුළින් මතුව පෙනේ. කවියට ආභරණයක් වන ව්‍යංගය එහිදී අසිත අපූරුවට භාවිතා කරයි.

පැතුම් මල් නෙලුම් වද බැස

ගිරෙත් තද කරන් උඩ යට

ගහක් ගලක් වගෙ ඉබේම

අපායේ ගිනිත් බිඳගෙන

ස්වයංජාත මල් පැලයක්

කාන්තාර මුඩු බිම් මැද

තෙතක් සොයනවා.

(ස්වයංජාත - පිටුව 22)

'හෙටත් ඉර පායනවා' කාව්‍යයේ අසිත යොදන ඉතාම නැවුම් කාව්‍යාත්මක රූපකයක්ද අපට හමු වේ.

දිරාපත් කඳ අග ද

නැවුම් බිම් මල් තාම පූදින

කෙසේ වෙතත් අසිත ගීත් කුමාර නම් වූ නැවුම් කවියා සතුව කාව්‍යමය අදහස් ගොන්නක් තිබේ. අත්දැකීම් මුහුකුරා යන්නට ඉඩ හැර තව දුරටත් රූපකාර්ථවත් කවි බසක් උචිතානුචිත ලෙස සකසා ගන්නේ නම් ඔහු අපට කියන ‘ඍතුවක අග’ වසන්තය එනවා සත්තය.

මාතෘකා