මුදුවක් පැළැඳි ළමයා

 ඡායාරූපය:

මුදුවක් පැළැඳි ළමයා

අනෝමා කියන්නේ මා දන්නා අඳුනන හිතවත් ගුරුවරියක්. ඇය මා හමුවූ එක් දිනක ඇය මට පැවසුවේ තම පන්ති කාමරයේ ඇතිවූ ගැටලුවක් ගැනයි. ඇය ඒ වනවිට උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව උගන්වමින් සිටියා.

“හරිම කරදරකාරී ළම‍යෙක් සර්. කොයි වෙලාවකවත් පාඩමට හරියාකාරව ඇහුම්කන් දෙන්නේ නෑ. පාඩමේ අවධානය අනෙක් පැත්තට හරවන මොකක් හරි වැඩක් කරනවා. එහෙම නැත්නම් තනියම හිනා වෙනවා. එහෙමත් නැත්නම් කඩදාසි ගුළිවලින් ගහලා ළමයින් අවුස්සනවා. එහෙම කරලා ඉන්නේ හොර පූසා වගේ. ඇත්තටම මේ කොල්ලා මුළු පන්තියටම හිසරදයක්.”

“මම අද එයාට හොඳ වැඩක් කළා”

“ඒ මොකක්ද?”

“මම පාඩම කරමින් ඉන්නකොට ටක් ටක් ගාලා ශබ්දයක් ඇසුණා. මම සොයා බැලුවා ඒ හඬ ආවේ කොහෙන්ද කියලා. එතකොට තමයි මම දුටුවේ අර ළමයා ඇඟිල්ලේ දැමූ සුදු යකඩ මුද්දකින් ඩෙස් එකට තට්ටු කරනවා. මම වහාම එතනට ගිහින් මුද්ද ගලවා අතට ගත්තා.”

ඇය කීවේ තම අත් බෑගයෙන් රිදී පාට මුද්දක් ගෙන මට පෙන්වමිනි. මම සිනාව තද කරගෙන සිටියෙමි.

“මොනවද මන්දා මේ මිනිහට වෙලා තියෙන්නෙ. එයා මොන වගේ ළමයෙක්ද? හැම තිස්සෙම මේ විදියට කරදරකාරී ‍ලෙස හැසිරෙන්නෙ?” ඇය පැවසුවේ තරමක කෝපයෙන්.

ඇතැම් විට පන්ති කාමරවල මෙවැනි ළමයෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඔවුන් බොහෝ විට තමන්ගේම ලෝකවල සැරිසරන අය. ඒ අයගෙ හැසිරීම් තරමක් අසාමාන්‍යයි. නියපොතු සපමින් ඉන්නවා. තරමක් උදාසීනයි. එසේ නැත්නම් ගුරුවරයාගේ අවධානය දිනා ගන්න නොයෙක් ශබ්ද වගේ දේ කරනවා. එහෙත් එය පාඩමට බාධාවක් වුණාම ඒ ගැන සතුටු වෙනවා මිස දුක් වෙන්නෙ නැහැ. මේ අය දුස්සමාහිත සිසුන් හැටියටයි සැලකෙන්නේ. මගේ මිතුරු ගුරුතුමියට හමු වී තිබෙන්නේ මෙන්න මේ ආකාරයේ විශේෂ ගති ඇති සිසුවෙක්.

“ඇයි එයා මේ විදියට හැසිරෙන්නෙ?” අනෝමා ටීචර් ඇහුවා.

මේ වගේ ළමයි බොහොමයකට ඔවුන්ගේ අවශ්‍යතා පවුලෙන් හෝ සමාජයෙන් ඉටු වී නොමැති වීමෙන් ඔවුන් පීඩනයට පත්වෙලයි ඉන්නෙ.

මාස්ලෝ කියන අධ්‍යාපන මනෝ විද්‍යාඥයා මගේ සිහියට ආවා. ඔහු මෙයට හේතු 5ක් ඉදිරිපත් කරනවා.

1. ඉච්ඡා භංගත්වය.

බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන අහිතකර තත්ත්වය.

2. තර්ජනය.

ගුරුවරයා හරි හැටි ඉගැන්වීමේ කටයුතු නොකරන විට ඇතිවන කැළඹිලි තත්ත්වය.

3. ගැටුම.

අරමුණු දෙකක් එකවිට ඉටුකර ගැනීමට ආ විට ඇතිවන ස්වභාවය.

4. ක්ලමථය

එයින් අදහස් කරන්නේ පරිසරයට මුහුණ දීමේදී ඇතිවන අපහසුතාවය.

5. කාංසාව

තමා වැරදිකරු යැයි පරාජිතයකු යැයි යන හැඟීම.

සොයා බැලූ විට හෙළි වූයේ අර ගුරුවරියගේ සිසුවාගේ මව රෝගීව නිවසේ පසුවන බවත් පියා බීමට ඇබ්බැහි වී ඇති බවත්ය. කෙසේ වෙතත් ඇය පසුව ඔහුට අර මුද්ද ආපසු දී නැවත එසේ නොකරන සේ අවවාද කර තිබුණා.

මේ සිදුවීමේ අපූරු ජවනිකාව අසන්නට ලැබුණේ ඊට වසර කීපයකට පසුවයි. ඒ වනවිට ගුරුතුමිය විශ්‍රාම ගොස් තිබුණා. ඇය තමාගේ විශ්‍රාම වැටුප ගැන සොයා බලන්නට කොළඹ එම දෙපාර්තමේන්තුවට ගියේ මේ අතරයි. ඇය මට පසුව එම කතාව කිව්වේ මෙහෙමයි.

“මම විශ්‍රාම වැටුප් අංශයට ගියත් අවශ්‍යම කාරණාව ඉටු කරගන්න බැරි වුණා. ඇවිදලාම මම වෙහෙසට පත්වෙලයි හිටියෙ. මම එතන තිබුණු පුටුවක වාඩිවෙලා කල්පනා කරමිනුයි හිටියෙ. එතකොට තමයි කවුරු හරි මට කතා කරනවා දැනිල බැලුවෙ.

“මිස් මම සාගර. මොකක් හරි වැඩක් කර ගන්න තියෙනවද?”

හීන්දෑරි තරුණ ළමයෙක් මගෙන් ඇහුවා. මට මුහුණුවර මතක තිබුණත් ඒ කවුදැයි හරිහැටි මතකයට නඟා ගන්න බැරි වුණා. ඒත් මම ආපු කාරණේ එයාට කිව්වා. එයා මගේ අතේ තියන ලියුම් කවරෙත් ඉල්ලාගෙන “මිස් මෙතනම ඉන්න. මම ටක් ගාල එන්නම්” කියල අතුරුදන් වුණා.

මම ඒ කවුද කියල හිත හිතා ඉන්නකොට පැය භාගයක් විතර යද්දි එයා ආපසු ඇවිත් ඔන්න මිස්ගෙ වැඩේ හරි කියමින් ලියුම් කවරෙ මට දිගු කළා.

අනේ බොහොම ස්තුතියි පුතා. පුතා මාව දන්නවද? කියල ඇහුවම ඔහු නිහඬව සිනාසුණා. ඊට පස්සෙ යන්නම් මිස් කියලා යන ගමන් ආපහු හැරී මට දකුණත විදහා පෙන්නා “දැන් මුද්ද නෑ මිස්” කියලා යන්න ගියා.

මම එතනම ගල් ගැහිලා වගේ මෙහොතක් සිටියා. මට කතා කරන්න බැරිව ගියා. එදා අර මුද්ද ගැලවූ දරුවා නේද මේ. තවත් දරුවෙක් හැදුණා නේද කියලයි මට හිතුණේ.”

අනෝමා ටීචර් නිසි වෙලාවට සාගරගේ චර්යාව නිශේධනය කර තිබීම නිසා ඔහු යථා තත්ත්වයට පත්වී ඇති බව මා ඇයට පහදා දුන්නා.

මාතෘකා