හිනාවෙන්නේ කාටද?

 ඡායාරූපය:

හිනාවෙන්නේ කාටද?

මිත්‍රවරුනි,

මීට මාස කිහිපයකට කලින් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ මන්ත්‍රීවරුන් සිරවීම නිසා අලුත් විදුලි සෝපාන සවි කිරීමට සති දෙකක් ඇතුළත වර්තාවක් කැඳවා කිසිදු සද්දයක් කෑගැසීමක් විරුද්ධ වීමක් නොමැතිව තට්ටු තුනක් යාමට මිලියන සීයක් වෙන් කළා මතකද..?

මිත්‍රවරුනි,

සැප වාහන- තීරු බදු රහිත සැප වාහන ගෙන්වා ගැනීමට මිලියන ගණන් මුදල් වෙන් කරන විට පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ විරුද්ධ වූවාද? දෙපැත්ත බෙදී කෑගැහුවාද.. නැත.

මිත්‍රවරුනි, සිදු වූ මහා ඛේදවාචකය ගැන සාකච්ඡා කිරීමට ඊයේ පාර්ලිමේන්තුව රැස් විය.

රටට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවී 300කට වැඩි ජීවිත හානි සිදුවී, පන්සීයකට වැඩි පිරිසක් තුවාල ලබා, තවමත් අවිශ්වාසනීය තත්වයක සිටින, හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති මොහොතක පාර්ලිමේන්තුව රැස් වී සිටි ආකාරය ඔබ දුටුවාද.?

උන් හිනාවෙන්නෙ කාටද..?

උන් මේසෙට තට්ටු කරන්නෙ මොකටද..?

දෙපැත්ත බෙදිලා ආතල් ගන්නෙ ඇයි උන්..?

ඒ කෑගහන්නෙ අපි වෙනුවෙන්ද.?

නායකයින් හිනාවෙන්නේ ඇයි? අහිංසක මිනිස්සු තුන්සිය විසි දෙනෙකුගේ අවමංගල්‍යය සිද්ධවන මොහොතක නායකයින් පාර්ලිමේන්තුවේ හිනාවෙන්නේ ඇයි..? බුද්ධි අංශ දැන්වූ වාර්තාවෙන් මේ ප්‍රහාරය ගැන කලින් දැන සිටි, කිසිදු පියවරක් නොගත් ආණ්ඩුවට මේ මොහොතේ හිනාවෙන්නට ඇති හේතුව කුමක්ද..?

ඔවුන්ගේ කර මත පැටවී ඇති රටේ මිලියන 22 ක ජීවිතවල වගකීම හරි හැටි ඉටු නොකිරීම නිසා ජීවිත 300ක් නැති වී ඇති මොහොතක ඔවුන් හිනාවෙන්නේ ඇයි? මාධ්‍ය සාකච්ඡාවලදී ඇමතිවරුන් හිනාවෙන්නේ ඇයි.? ඇමතිවරයකුගේ ගේ තාත්‍තා දැන සිටි දේ සාමාන්‍ය මහජනතාවට කියන්නට බැරි වුණේ ඇයි..?

ඊයේ පාර්ලිමේන්තු සැසියේ දී ඔබ දුටුවේ කුමක්ද..?

වහාම මන්ත්‍රීවරුන් සියල්ලම එක් රැස් වී එකම මණ්ඩලයක් බවට පත්වී රටේ හදිසි තත්වය කළමනාකරණය කරන ආකාරයද..? ත්‍රස්තවාදී මර්දනය කිරීම, ආරක්ෂාව තහවුරු කිරීම, මේ සම්බන්ධයෙන් මීළඟට සිදුවිය යුත්තේ කුමක්ද ගැන සාකච්ඡා කිරීමද ? එසේත් නැතිනම් මීළඟට එල්ලවිය හැකි මෙවන් තර්ජනයකින් වැළකෙන්නේ කෙසේද, ඊට මුහුණ දෙන්න අප සූදානම්ද... මේ ප්‍රහාරයේ වගකීම කාගේද... මෙය අපට නවත්වාගන්නට බැරි වුණේ ඇයි වැනි කරුණු විශ්ලේෂණය කිරීමද..?

නැත.

මළ සිරුරු විකුණාගෙන කමින් ඒ මළසිරුරු තමන්ගේ ගිණුම් වලින් අනුන්ගේ ගිණුම් වලට බැර කර බෝල පාස් කිරීම් සහ ඒ මළ සිරුරු තමන්ගේ බල අරමුණු වෙනුවෙන් විකුණාගෙන කන්නේ කෙසේදැයි කියා කෑගසා ගැනීමක් පමණි.

හිරිකිත නැද්ද..? අපේ මහජන නියෝජිතයන් අපේ ලේ මත සිටගෙන මේ හැසිරෙන ආකාරය හිරිකිත නැද්ද..?

සෝපානයේ සිර වී කැගැසූ ආකාරයේ කලබලයක් මිනී තුන්සීයක් වෙනුවෙන් තිබුණද..?

ක්‍රයිස්ට් චර්ච් පිපිරීමෙන් පසු නවසීලන්ත ජනාධිපතිනිය හැසිරුණ ආකාරය ඔබට මතකද..?

ඇය විපතට පත්වූවන් බදාගෙන හැඬුවා ඔබට මතකද.?

මීට අවුරුදු දෙකකට කලින් මීතොටමුල්ල ඔබට මතකද..?

මේ සිදුවීම සේම කලින් දැන සිටි කලින් අනතුරු හඟවා සිටි නායයෑම සිදුවී මිනිසුන් පණපිටින් වැළලූ පසු කිසිවක් නොවූ ලෙස ආණ්ඩුවේ වියදමින් පාංසුකූලය දී අත පිහදාගත් ආකාරය මතකද..?

දැන් වෙන සිදුවීම් සහ ඒ සිදුවීම් අතර වෙනසක් තිබෙනවාද..?

මෙය කියවන ඔබ මීළඟට ඡන්දය දෙන්න ඉන්නේ කාටද..? ඒ අය ඊයේ අපේ ලේ මත සිට අපිටම හිනා වෙන ආකාරය ඔබ දුටුවාද..? ආයෙ ඡන්දය දෙන්නේ කාටද.. ඔබම තීරණය කරන්න. ඒ සියලු දෙනාගේම අත්වල මේ ලේ තැවරී ඇති බව ඔබ නොදන්නවා සේ ඉන්නවාද? නැත්නම් කැමති එකාගෙ ලේ පමණක් සෝදා ආයෙත් කතිරය ගහනවාද..?

තවදුරටත් අපි බෙදිලා තේරුමක් තියනවද..?

මතක තියාගන්න.

එතන දෙසිය විසි පහයි. අපි මිලියන විසි දෙකයි..!! අර මැරුණ මිනිස්සුන්ගෙ ජීවිත තුන්සීයයි..!!-

[සුජිත් ප්‍රියන්ත]
[චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා