කොකිලයාගේ කෝකිල නාදය

 ඡායාරූපය:

කොකිලයාගේ කෝකිල නාදය

තමන් නිර්මාණය කළ කලා කෘතීන් නිසා යමෙක් විශේෂ බලයක් ඇති බෙහෙවින් ගරු කරන තත්ත්වයට පත්වන්නේද, කීර්තිධර වන්නේද ඔහු එම නිර්මාණයන් උදෙසා ජීවිතයට ආදරය කළ අයකු වන්නේය. නිර්මාණවේදියා සුවිසෙස් ආත්ම විශ්වාසයකින් කටයුතු කරමින් මුළු ජීවිතයම නිර්මාණයේ වටිනාකම් සෙවීම පිණිස සිහින දකියි. කැපකිරීම් කරයි. එය ලුහුබැඳ යෑමකි. විටෙක ඇදවැටෙමින්, තවත් විටෙක මඟ පැටළෙමින්, මංපෙත් වරද්දා ගනිමින්, වෙහෙසට පත්වූවත් එය දරා ගනිමින්, බලහත්කාරයෙන් ගමනක යෙදෙයි. ජීවිතයේ අධිෂ්ඨානය බලයක් කරගත් කලාකරුවා විශ්මිත නිමැවුම්කරුවෙකි.

ලොව යම් කිසිවක් සිදුවීම කිසිවකුට කල් තියා හඳුනාගත නොහැක්කකි. නමුදු ලොව අබිරහස් න්‍යායන් ඇති බව හඳුනාගත හැක්කේ ස්වභාව ධර්මය මෙන්ම සොබා සෞන්දර්යයට ඇලුම් කරමින් ඒ හා අවබෝධාත්මක කලාවක නියැළි අයෙකුට පමණි. එහි නිහඬත්වය විඳින කලාකරුවා ස්වාභාවිකත්වයේම කොටසකි.

පුරෝගාමී මෙහෙවරක යෙදෙන කලාකරුවා යමක් නිර්මාණය කරන්නේ පළමුකොට තමන් සඳහාය. ඒ කෙසේද යත් පළමුව එය විඳින්නා එහි නිර්මාණකරුවාය. පළමුව තමන් තෘප්තිමත් වීමද එහි රසභාවයන් පිළිබඳ වග වීමද එවැන්නන්ගේ ගුණයන්ය. කිසිවිටෙකත් ආවාට ගියාට ඔවුන් දුර්වල කෘතීන් බිහි නොකරයි. එවැන්නක් හැඟුණහොත් වහා එය අත්හැර දමයි.

ඔවුනට කීර්තියක් සෙවීම අවශ්‍ය නොවේ. එය ඔවුන් සොයා එයි. එහෙත් එයට හුදෙකලාව සහ විවේකය අවශ්‍යමය. කලාකරුවා එහි අත්දැකීම විඳියි. එය පරිසරය හා බද්ධය. රෑ අහසක් යට, තුරු වදුලක, ගංගා ඉවුරක, තරු විමනක, හිස්ව සිටිනා මොහොතක එන යන සිතිවිලි කලාකරුවාට මහත් ආලෝකයක් සපයයි. ඕෂෝ සඳහන් කරන පරිදි උත්සාහය සමඟ සියල්ල හමු නොවේ. එහෙත් කරුණාව සුන්දරත්වය හරහා එය පැමිණෙයි. එය කලාකරුවා දේවත්වයට ඔසවා තබයි. එවන් සුන්දර මිනිසුන් ජීවිතයේ තමන්ට ලැබෙන ඉතා කෙටි කාලයකදී ගමනාන්තයට ළඟා වෙයි. එහි අරුත, ‘පවතින සහ නැවත නැති නොවන’ බවය. නැතහොත් සදාතනික නිර්මාණාත්මක ගමනක මඟ ජාතියකට නිර්ණය කර දීමය. එය පුරෝගාමී මෙහෙවරකි.

කෙනෙකුට සංගීතඥයකු විය හැකිය. එහෙත් අනන්‍යතාවක් ගොඩනඟා ගත හැක්කේ එහෙමත් සංගීතඥයකුට පමණි. තියඩෝර් ග්‍රාෂික් දාර්ශනික මතය අනුව ලාංකේය සංගීත දර්ශකයේද අනන්‍යතා රැසකි. එහෙත් එහි පුරෝගාමී මෙහෙවර සුනිල් ශාන්තයන්ය. තම සංගීත දිවියේ කිසිවිටකත් සංයමය ගිලිහී නොගත් සුනිලුන්, වඩාත් ප්‍රභාමත් නිර්මාණාත්මක නිමේෂයන් ගීතයෙන් ඉස්මතු කළේය. නූතන ලෝකය වෙනුවෙන් අපේම වූ සංගීත ආරක් නිමවූ මෙරට ප්‍රථම සුපිරි සංගීත තරුව වූයේ සුනිලුන්ය.

සංගීත් විශාරද උපාධි දෙකකින් ප්‍රථම පන්තියේ ප්‍රථමයා ලෙස ලබා පැමිණෙන සුනිල් ශාන්තයන්ට ලංකාවේදී ලැබෙන්නේ ‘සරඹ ගුරු’ පත්වීමකි. නමුත් සුනිලුන්ගෙන් රට ඉල්ලූයේ වෙනකකි. රටක සංගීතයට විශේෂ වූ ආරක්, දේශීය ගතියක්, පහළ වන්නේ රටේ මිනිසුන්ගේ උවමනාවන් අනුවය. ඒ උවමනාවන් ඔහු පිරිපුන් ලෙස ඉටු කළේය. මුල් වරට ලංකා ගුවන්විදුලිය ගී පටිගත කිරීම අරඹන්නේ ‘ඕලු පිපීලා..’ ගීය තැටිගත කරමිනි. පිරිසුදු සිංහල භාෂා ව්‍යවහාරය භාවිතයට ගෙන දේශීය සංගීතයක් උදෙසා කැපවූ සුනිලුන් ඇතිවූ බාධක පරයා තමන් ඇති කළ දේශීය ආරට රට පුරා ඇතිවූ ජනතා ආකර්ෂණය නතු කරගත්තේය. මහ පොළවේ තමන් දැන හඳුනාගත් සංස්කෘතික මූලාශ්‍ර, මෙවලම් පාවිච්චි කර අවේණික කලාවක් ඔහු නිර්මාණය කළේය. ජන විඥානය, අධිරාජ්‍ය විරෝධී දිශාවකට යොමුකරමින් දේශජ ලකුණ පැහැබර කරවීමට ඉන් සුනිල් ශාන්තයන් සමත් විය. ඔහුට උවමනා වූයේ හැමවිටම මතුවී පෙනෙන අපේ යැයි සංගීතයක් හැඩ ගසා ගැනීමය.

ආදරයේ වැදගත්කම ආදරය නොව, ආදරය ප්‍රධානය කිරීමයි. සුනිලුන් තම ගීතය තුළ මෙය අකුරටම රැකි අයෙකි. ‘ඕලු පිපීලා’ වැනි ගී එවන් කරුණු සඳහා නොකිලිටි උදාහරණයන්ය. ආදරය කුමක් විය යුතුද? එය කෙසේ ප්‍රදානය කරමින් විඳිය යුතුද යන්න ඔහුගේ ගීත අපට කියාදෙයි.

සුනිල් ශාන්ත වාග් ගේයකරුවෙකි. ඔහු ලියූ, තනු නිර්මාණය කර ගැයූ ගී අදද දරුවන්ගේ කැමැත්තය. රේඛාව, සංදේශය ගී තනු විඳීමේ සුරත් ඵලය. භාෂාව සහ රිද්මය අතර සබඳතාව හදුනා ගනිමින් මිනිසුන්ගේ හුරුපුරුදු ජීවිතය සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නිර්මාණ ඔහුගෙන් බිහිවිය. සොබාදහම සහ සෞන්දර්ය හේ උපරිම ලෙස වින්දේය. කලාකරුවෙක් ලෙස ඔහු ගෙවූයේ නිසංසල ජීවිතයකි. හෙළ ගී ආරක් ඇති කිරීම පිණිස, ගී පොත් පළ කිරීම, සංගීත පන්ති පැවැත්වීම, ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීමද කැපී පෙනෙයි. පණ්ඩිත් අමරදේවයන් පවා කලා කෘතියක් වීමේ අභාෂය සුනිල් ශාන්ත ගුරු ඇසුරයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රකාශ කරන පරිදි “කයිරාටික ජාවාරම්කාරයන්ගේ, අනීතික, අශ්ලීල, අසෝබන, අවකල් ක්‍රියා ඉවසමින් ගීතය නමැති බුද්ධිමය දේපළේ ශුද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටි, ඒ සම්බන්ධ අඛණ්ඩ, අනවරත, අභීත අරගලයක යෙදුණු ප්‍රථම ලාංකේය තනු රචකයා, ගායකයා, ගේය කාව්‍ය කර්තෘවරයා සුනිල් ශාන්තය. එවකට ගුවන්විදුලිය රතන්ජන්කර් පර්යේෂණය පිට දමා ඔහු ගුවන් විදුලියෙන් පිටමං කරවීය. ඉන් ජාතියට අහිමි වූ නිර්මාණ ප්‍රමාණය සුළුපටු නොවේ.

පරාජය බාර නොගත් සුනිල් ශාන්තයන්, දුබල වූ ආර්ථිකය ගොඩ ගනු පිණිස මේසන් වැඩ, වඩු වැඩ කරමින්, ඡායාරූප ශිල්පියෙකු ලෙස ගුවන්විදුලි කාර්මිකයකු ලෙස කරවල වෙළෙන්දෙකු, රෙදි වෙළෙන්දෙකු ලෙස රැකියාවන් සිදු කළේය. තම දරුවන්ට අතිශය ආදරය කළ ඔහු දරුවන්ට ලොවට බරක් නොවී ජීවත්වන අයුරු කියා දුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ ඉංජිනේරුවන් තිදෙනෙකු සහ වෛද්‍යවරිය ඔහුගේ ලෙයින් බිහිවීමය.

රජයෙන් ගෙයක් දෙනවිට, “නොමිලේ එපා, මුදල් ගෙවන්නම් යතුර මා ළඟට එවන්නැයි” කියන්නට, රතන්ජන්කර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන්නට ඔහුට කොන්දක් තිබිණ. බණ්ඩාරනායක ඝාතනය සිදුවන විට, අසීරු ජීවිතයක් ගතකළ සුනිලුන් කම්පනයට පත්ව ගුවන්විදුලියට පැමිණ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙනුවෙන් ගීතයක් ගැයීය. පටිගත කිරීමේ ශිල්පියා ප්‍රකාශ කළේ, ආශ්වාස ප්‍රශ්වාස හඬ පටිගත කිරීමේදී ඇසෙන බවයි. සුනිලුන් දුන්නේ අපූරු පිළිතුරකි. “කමක් නෑ, සුනිල් ශාන්ත තවමත් හුස්ම ගන්න බව රටේ මිනිසුන් දැනගනීවි.” යනුවෙනි. බක්මහ සුනිල් ශාන්තයන් මෙලොවට පැමිණි මෙන්ම නික්ම ගිය මාසයයි. ඔහු යටපත් කිරීමට තැත් කළ අවස්ථා අපමණය. එසේ වුවද සුනිල් ශාන්තයෝ අදද ප්‍රතාපවත්ව නැඟී සිට මංමුළා වූවන්ට මඟපෙන්වීම් කරති.

මාතෘකා