මතක වස්සානයේ සුන්දරම මතකය ඇයය

 ඡායාරූපය:

මතක වස්සානයේ සුන්දරම මතකය ඇයය

කාලය හෝ ජීවිතය නැවතී නැත. ඒ සියල්ල එක හැල්මේ ඉදිරියට ගමන් කරයි. මම මොහොතකට අතීතය දෙස බලා හිඳිමි. බොහෝ සිදුවීම් මතක කඳු මෙන් අතීතයේ හිඳ මා දෙස බලා හිඳියි. එහෙත් දැන් නවතින්නට කාලය උදා වී ඇතැයි මට සිතෙයි. ජීවිතය වෙහෙසය. එහෙත් නැවතීමක් නැත. ජීවිතය ගලා යයි. ජීවිතයේ අසීමාන්තිකව ආදරය කළ අය අහිමි වූ පසු දැනෙන මේ හිස් හැඟුම ඔබත් විඳ ඇතිවා යැයි මට සිතෙයි. මිනිසුන් ආදරය කළ බොහෝ ලියවිලි ලියද්දී මගේ ඇස් තෙත් වන මොහොතක මා ළඟින් හිඳ තෙත් වන ඇස්හි තෙත පිසින්නට උපකාරී වූ ආත්මය දැන් මා හැර ගොසිනි. දැන් ඇයද වස්සාන මතකයක්ම පමණකි. මතකයක් පමණක් නොව එදවස මෙන්ම අදද ඇය මගේ ජීවිතයමය. හිමි අහිමි වීම එයට බාධාවක් නොවේය. එබැවින් ඇගේ මතක මගේ පපුවට බරවෙයි. මට හෂාන් අබේගුණවර්ධනගේ කවියක් සිහිවෙයි.

“මල් පිපෙන්න පුළුවන් නේද

මද නළ හමනකොට

අතු කඩා වැටෙන්න පුළුවන් ඔබ

හයියෙන් හමනකොට

කල් ඇතුව කියන්න තිබුණා නේද?

ඔබ මට බණිනකොට

ඔබම රැකබලා ගත් මල් තැලී වැතිරී

මම ගිහින් බලනකොට...”

දැන් එදා උන් ඇය නැත. ඇත්තේ ඇය සීරුවෙන් තනා දුන් ජීවිතයේ මතක සිලිලාරය පමණි. එදවස මා අතින් සිදුවන වරදින් මගේම ජීවිතයට හානි සිදුවෙන කළ ඇය මට බැණවැදී ආදරණීයව මගේ ජීවිතය එකලස් කළ අතීතයක් මට ඇත. එහෙත් ඇගේ ඇනුම් බැණුම්ද ආදරණීය විය. එදා ආදරයෙන් ඇමතූ ඒ හඬ අද මෙතරම් රළු වන්නේ කෙසේදැයි මම මගෙන්ම අසමි.

ප්‍රේමය ගිලිහුණු කළ වේදනාව දැනීම බැඳීමේ පරිමාවට සාපේක්ෂ වෙයි. මම එය විශ්වාස කළෙමි. එය අද මම මගේ ජීවිතයේ හා බැඳීමේ ස්වභාවයෙන්ම විඳ ගමි. ඇය සමඟ ගැට ගැහුණු ජීවිතයේ ඇයත් මාත් අතර පැවැති බැඳීම අසීමාන්තිකය. අප්‍රමාණය. ඉඳින් ඇය වෙන්ව ගිය කළ දැනෙන වේදනාවද එතරම්මය.

මා අප්‍රමාණවම ප්‍රේම කරන අනෙක් කවියක්ද මෙහි අමුණමි. ඒ රුවන් බන්දුජීවයන්ගේ කවියකි.

“සුදු වලාකුළු කිහිපයක් සහ

කන්ද මුදුනේ උන්නු පුරසඳ

කපා ගත්තෙමි කතුරකින්

හෙන්දිරික්කා මල් වගේකුත්

කඩා ගත්තෙමි පඳුරකින්

කලු පැහැති කඩදාසියක් මත

ඉහළ කෙළවර ඇළෙව්වෙමි සඳ

වලාකුළු සහ මල්ද අලවා

තබමි තැන තැන පුංචි පිනි කැට

පාට කූරක් අරන් ඇවිදින්

මෙන්න මේ කඩදාසියේ මැද

ඇඳල දෙනවද මතක හැටියට

හිටපු හැටි අපි දෙන්නා සඳ යට

මේ බොහෝමයක් කවිවල ඇත්තේ ප්‍රේමයේ සුන්දරත්වය හෝ විරහවේ වේදනාවයි. අදද මේ සොඳුරු කවියන්ගේ නේක වූ කවි අරුත් විඳින සඳ මට දැනෙන්නේ ඇයයි. ඇගේ මතකයයි. දැන් ඉතින් මට මේ මතක පමණක් සිත පුරා රඳවාගෙන ඇය විඳින්නට ඉසවුවක් අවැසිය. එබැවින් මම නිහඬ වෙමි. අදට මෙන්ම හෙටද මගේ සිතට වලංගු වන සේකරයන්ගේ කවියක් මෙසේ ලියා අද මතක වස්සානයෙන් සමු ගනිමි.

“දහස් ගණනක් සෙනඟ අතරේ

මහා තනියක් මට දැනේ”

[ගයාන් අබේසිංහ]

මාතෘකා